
අන්තර්ජාලය මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයේ නැතුවම බැරි අංගයක් වී තිබෙනවා. මේ නිසාම විවිධ රටවල මැවෙන අරුම පුදුම පුවත් ඉතා ඉක්මනින් ලොව පුරා පැතිරී යනවා. එවැනි පුවත් මෙම විශේෂාංගය මඟින් ඔබ වෙත ගෙන එන්නේ අයහපත් පුවත් මවන කලබලකාරී සමාජය තුළ තිබෙන සුන්දර පුවත් ඉස්මතු කර දැක්වීමටයි. සෙල්ෆි ගැනීම යනු තාක්ෂණික දියුණුවත් සමඟ සීඝ්‍රයෙන් පැතිරී ගිය උන්මාදයක් ලෙස හැඳින්විය හැකියි. විශේෂයෙන්ම තරුණ ප්‍රජාව අතර මෙම සෙල්ෆි ඡායාරූප ගැනීම ඉතාම ප්‍රසිද්ධ වී තිබෙන අතර විටෙක එය කලාවක් බවට පත්වන්නේ නිර්මාණාත්මක සෙල්ෆි ඡායාරූප නිසායි. අද මෙම පිටුව වෙන් වන්නේ සෙල්ෆි ඡායාරූප අන්තර්ජාලය තුළ ප්‍රසිද්ධ වීම නිසා ලොව පුරා අවධානයට ලක්වී සිටින පුද්ගලයකු ගැන පැවසීමටයි.
නමින් ඇලන් ඩික්සන් (Allan Dixon) වන ඔහු අයර්ලන්තය ජාතිකයකු වනවා. වයස අවුරුදු 29ක් වන මොහු වර්තමානයේ ජීවත්වන්නේ ඕස්ට්‍රේලියාවේ. අපි හැමෝම දොස්තර හොඳ හිත කතාව නරඹා ඇතැයි මා සිතනවා. එම කතාව නරඹන විට අපිටත් සතුන් හා කතා කරන්නට හැකියාව තිබුණානම් කියාමට මෙන්ම ඔබටත් සිතෙන්නට ඇති. ‘Animal whisperer’ එනම් ‘සතුන්ට කොඳුරන්නා’ යන නම මෙම ඇලන් ඩික්සන්ගේ අන්වර්ථ නාමයයි. සැබැවින්ම සතුන් හා කතා කිරීමට මොහුට කිසිඳු හැකියාවක් නොමැති නමුත් ඔහු සමඟ සතුන් ඡායාරූප වලට පෙනී සිටීම නිසා ඔහුට මෙම නාමය පටබැඳී තිබේ.
ලොව පුරා සංචාරය කරමින් නිදහස් ජීවිතයක් ගත කරන මොහු ඡායාරූප ගැනීමට අතිශයින්ප්‍රිය කරයි. මෙලෙස ඔහු විසින් ගන්නා ලද ඡායාරූප අතර විවිධ සතුන් සමඟ ගන්නා ලද සෙල්ෆි ඡායාරූප සඳහා විශේෂ ස්ථානයක් හිමිවන්නේ එම ඡායාරූප වල සතුන් කැමරාව සමඟ සිනාසී ඇලන් සමඟ පෙනී සිටින ආකාරයටයි.
ඔහු පවසන ආකාරයට මෙලෙස සෙල්ෆි ඡායාරූප ගැනීම ඉතාම සැලකිල්ලෙන් කළයුතු ක්‍රියාවක්. බොහෝ අවස්ථාවල දී සතුනට ආරක්ෂාකාරී හැඟීමක් ඇති වීමට නොසෙල්වී සිටි අවස්ථා පවා තිබූ බව ඔහු පවසනවා. කැමරාවේ ආලෝකය හා ශබ්දය විසන්ධි කර ඡායාරූප ගන්නා ලෙස තවදුරටත් පවසා සිටින ඔහු කැමරාවත් අතැතිව නිසොල්මනේ සිටින්නේ සතුන් ඔහු හා කැමරාව කෙරෙහි තිබෙන බිය දුරුවී ඒ වෙත පැමිණෙන තුරුයි. ඉන්පසුව හොඳමඅවස්ථාව බලා එය කැමරා කාචයේ සටහන් කරගන්නා ඡායාරූප ‘ඉන්ස්ටර්ග්‍රෑම්’ සමාජ අඩවිය හරහා අන්තර්ජාලය වෙත මුදා හරින්නේ එය නරඹන ඕනෑම කෙනකුට ඊර්ෂ්‍යාව හා ආශාව යන හැඟීම් දෙකම ඇති කරමිනි. සතුන් බිය වුවහොත් ඔවුන් පහරදීමට හා පලා යාමට උත්සාහ කරන නිසා මෙලෙස ඡායාරූප ගැනීම තරමක් අවදානම් ක්‍රියාවක් වුවත් සතුන් සමඟ හොඳින් මිතුරු වීමට දන්නා ඇලන්ට නම් එහි කිසිම අවදානමක් තිබෙන බවක් පෙනෙන්නට නැත.
ඉන්ස්ටර්ග්‍රෑම් (Instagram) හෝ ෆේස්බුක් (Facebook) භාවිතා කරන ඕනෑම අයකුට ඇලන් ඩික්සන්ගේ නම ඔස්සේ ගොස් ඔහුගේ මෙම අරුම පුදුම සත්ත්ව සෙල්ෆි ඡායාරූප නරඹන්නට හැකිය. එසේම ඔබටත් නිවෙසේ සුරතල් සතුනට හානියක් නොකර ඔවුන් සමඟ සෙල්ෆියක් ගැනීමටද හැකියාව තිබේ.