රන් සයුර මගේ ජීවි­තය වෙලා | Page 4 | සිළුමිණ

රන් සයුර මගේ ජීවි­තය වෙලා

 ප්‍රවීණ සටන් නළු වසන්ත කුමාරවිල

“මෑත කාලයේ රිදී තිරයේ දුටු හොඳම සටන් ජවනිකාව දක්නට ලැබෙන සිනමා පටය කුමක් ද?,, කියා අප ඔබෙන් පැනයක් ඇසුවොත්? එයට ඔබ දෙන පිළිතුර ‘රන් සයුර’ චිත්‍රපටය බව කිසිදු සැකයක් නැත. ඒ තරම්ම ඔහුගේ සටන් කලාව තාත්විකය. සටන් ජවනිකා තුළ ඔහු හා සමකළ හැකි මෑත යුගයේ බිහිවුණු තවත් රංගන ශිල්පියෙක් නොමැති තරම්ය. ඔහු වසන්ත කුමාරවිලයි. ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද තිරගත වන රන් සයුර චිත්‍රපටයේ ‘මයිකල්’ගේ චරිතයට පණ පොවන ඔහු රසඳුන සමඟ කළ කතාබහකි මේ.

• කොහොමද රන් සයුරට ලැබෙන ප්‍රතිචාර?

අධ්‍යක්ෂවරයාගේ සිට රන් සයුරට සම්බන්ධ වුණු සියලු දෙනාගේ සාමූහික උත්සාහයේ ප්‍රතිඵල අද අපි භුක්ති විඳිනවා. හරිම සන්තෝෂයි. ඇත්තටම ඉතා හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා.

• එහි ඔබේ චරිතය ගැන කෙටියෙන් කතා කළොත්...

වැල්ල තම ජීවිතය, සාගරය තම ආත්මය කොටගත් මිනිසුන්ගේ ජීවිකාව කේන්ද්‍රීයව ‘රන් සයුර’ කතාව දිගහැරෙනවා. එහි ‘මයිකල්ගේ’ චරිතයට පණ පොවන්නෙ මමයි. ඔහුගේ මුළු ආත්මයම, ආදරය, ජීවිතය වන්නේ ද වැල්ලයි.

• මෙහි නිෂ්පාදනයට ද ඔබ සම්බන්ධ වෙනවා නේද?

ඇත්තටම නිෂ්පාදකවරයා කියන නමට මම එතරම් කැමැති නෑ. නමුත් මූල්‍යය වශයෙන් චිත්‍රපටයට දායක වෙන්න මට ලැබුණා. මොකද මේ චිත්‍රපටය ගොඩනැ‍ඟෙන්නෙ මගේ සහෝදරයෙක් වගේ ඉන්න සුදේශ් වසන්ත පීරිස් සහ මගේ අදහසකට අනුවයි. ඒ අනුව වසර 1 1/2 පමණ කාලයක් සිට මෙවැනි නිර්මාණයක් කරන්න අදහස තිබුණා. එහෙම හිතලා මගේ හිතවත් නිහාල් ප්‍රේමචන්ද්‍රට කියලා තිර පිටපත ලියාගෙන පසුව සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න ධනංජය සහ තවත් සහෝදරයෙක් එකතු වෙලා පිටපත OK කරගත්තා. එකී පසුබිම උඩ තමයි නිෂ්පාදනයෙන් මා දායක වෙන්නෙ.

• නිෂ්පාදනයට අතගැසු ඔබ අධ්‍යක්ෂණයට පිවිසෙන්නට අදහසක් නැතිද?

මම හිතන්නෙ ඒ සඳහා මට තව කල් තියෙනවා කියලයි. ඒ සඳහා තවදුරටත් අත්දැකීම් ලැබිය යුතුයි කියන අදහසෙයි මා ඉන්නෙ... සටන් අධ්‍යක්ෂවරයෙක් විදිහට මට විශාල අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් කවදාහරි අධ්‍යක්ෂණ කර්තව්‍යයට අතගැසු දවසක මට අත්වැලක් වේවි කියලයි මා හිතන්නෙ.

• ‘වසන්ත කුමාරවිල’ කියන ඔබ ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වෙලා තියෙන්නෙ සටන් චරිතයක් විදිහට?

මෙහෙමයි වසන්ත කුමාරවිල කියන චරිතය තුළින් ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වෙන්නෙ ඒ තාත්වික සටන් චරිතයයි ඉතිං ඒ චරිතයට මම ප්‍රිය කරනවා.

• මෑත ඉතිහාසයේ අප දුටු තාත්විකම සටන් ජවනිකාව ‘රන් සයුරේ’ සිනමා පටයේ අප දුටුවා... මේ අභියෝගය ඔබ ජයගත්තෙ කොහොම ද?

වසන්ත කුමාරවිල කියන්නෙ අභියෝගවලට අභියෝග කරන කෙනෙක්... ඉතින් ‘රන් සයුරේ’ ඒ අභියෝගයත් මම ඉතා සාර්ථකව ජයගත්තා. මොකද? මුල සිටම සටන් කරුවෙක්, සටන් අධ්‍යක්ෂවරයෙක්, ප්‍රධාන සටන් නළුවෙක් කියන භූමිකා කළ කෙනෙක්... ඒ සියල්ල එක්ක නව තාක්ෂණික සටන් ජවනිකාවලට වඩා තාත්විකව, මම කරපු ‘රියැලිටි’ සටන් ජවනිකාව, ඉතා සාර්ථකව ජයගත්තා කියන්න පුළුවන්.

• මෙවැනි කටයුත්තක් කිරීම එතරම් ලෙහෙසි පහසු නෑ. මේ තරම් හොඳට සටන් කලාව කරන්න ඔබ ඒ පිළිබඳ හැදෑරීම් කරන්නට ඇති?

මම අවුරුදු දහයේ ඉඳලා තමයි සටන් කලාව ඉගෙන ගන්නෙ. අවුරුදු 16ක අත්දැකීම් මත පසුකාලීනව සටන්කරුවෙක් විදිහට සිනමාවට සම්බන්ධ වෙනවා. පසුව ඒ සටන්කරුවා උත්සාහ කරනවා කොහොමද සටන් නළුවෙක් වෙන්නෙ කියලා. ඒ සඳහා රංගනය තුළ හැදෑරීම් කරන්න පටන්ගත්තා. ඒ අතර සිනමාව තුළ වැඩ කරද්දී තමයි මට විදේශීය චිත්‍රපටවල සටන් නළුවෙක් විදිහට සම්බන්ධ වීමට ලැබුණේ... ඒ ලබපු අත්දැකීම් සමඟ තමයි අද වන විට වසන්ත කුමාරවිල කියන සටන් ජවනිකා රංගන ශිල්පියා බිහිවෙන්නෙ.

විශේෂයෙන් කියන්නට කැමැතියි ඇමෙරිකාව, ඉතාලිය, ජර්මනිය, ඉන්දියාව, පාකිස්ථානය වැනි රටවල්වල සටන් නළුවන් සහ අධ්‍යක්ෂවරුන් ඇසුරු කරන්නට ද මට වාසනාව ලැබීම ආශිර්වාදයක් වුණා.

• ඔබේ මුල්ම රංගනය මතක ද?

සටන්කරුවෙක් විදිහට සහභාගිවූ මගේ පළමුවැනි සිනමා පටය තමයි ‘කියලා වැඩක් නෑ’ චිත්‍රපටය. ඉන් පසුව තවත් චිත්‍රපට දෙකක පමණ සටන්කරුවෙක් විදිහට දායක වුණා. එදා සිට අද දක්වා සටන් නළුවෙක් විදිහට රංගනයේ යෙදෙනවා... නමුත් ලංකාවේ රංගන ක්ෂේත්‍රය තුළ වසන්ත කුමාරවිල කියන චරිතය රංගන ශිල්පියකු ලෙස මුලින්ම ජනගත කළේ ඉන්දීය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු වන සුඛී ජයරාම්ගේ නෙරංජනා ටෙලි නාට්‍ය හරහායි.

• රංගනයේදී සටන්කාමි චරිතයක් වන ඔබ සැබෑ ජීවිතයේ...

කතා කළ යුතු තැන කතා කරන, නිශ්ශබ්ද විය යුතු තැන නිශ්ශබ්ද වන කෙනෙක්. හැබැයි, නිවටකමට නෙමෙයි. වසන්ත කුමාරවිලගේ සැබෑ චරිතය එහෙමයි.

• ඉදිරියේදී ඔබ දක්නට ලැබෙන නිර්මාණ මොනවා ද?

මේ දවස්වල මගේ ජීවිතයම වෙලා තියෙන්නෙ ‘රන් සයුර’යි. ඉතිං මේ වෙලාවේ මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මම ආරාධනා කරනවා, ‘රන් සයුර’ නරඹන්නට එන්න කියලා. මොකද රන් සයුර කියන්නෙ මගේ ප්‍රේක්ෂකයන් රවටන්න කරපු තවත් නිර්මාණයක් නෙමෙයි. ඔන්න අපි දෙයක් කරලා තියෙනවා... ප්‍රේක්ෂක ඔයාලා වෙනුවෙන්ම... තාමත් රන් සයුර නොබැලුවේනම් නරඹන්නට යළි යළිත් මා ඇරැයුම් කරනවා. 

 

Comments