මැදි විදු­හ­ල­කදී ජන­ප්‍රිය සිනමා සම්මාන | Page 3 | සිළුමිණ

මැදි විදු­හ­ල­කදී ජන­ප්‍රිය සිනමා සම්මාන

ඉන්ද්‍රචාපගේ සමීපරූපාවලිය පුරා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සිනමා සම්මාන උලෙළ සම්මානලාභී නළු නිළියන්, චිත්‍රපට අධ්‍යක්ෂවරු ඇතුළු ශිල්පීන් ගේ මෙන් ම ජනප්‍රිය නළු නිළියන්ගේ මුහුණු ද ඇ‍ඳේ. සම්මාන උලෙළ අපූරු ජවනිකා ද ඒ සමඟම ඇ‍ඳේ. දීපශිඛා සම්මාන, සරසවි සම්මාන ජනාධිපති සිනමා සම්මාන උන්ඩා (OCIC) සම්මාන උලෙළ මෙන් ම, මෑතක සිට ටෙලිවිෂන් ආයතන (දෙරණ - හිරු) ඇරැඹූ සිනමා සම්මාන උලෙළ ද ඒ අතර පෙනේ. එක් එක් උලෙළ විනිශ්චය මණ්ඩල තීරණ අනුව සම්මාන ලැබූ පිරිස් මෙන් ප්‍රේක්ෂක, පාඨක කැමැත්තෙන් ජනප්‍රිය නළු නිළි කිරුළ හිමි කරගත්, දීර්ඝ කාලීනව හිමිකරගෙන සිටි නළු නිළි මුහුන ද ඒ අතර වේ.

සරසවිය චිත්‍රපට උලෙළ ජනපිය නළු නිළි සමීපරූප ඇරැඹෙන්නේ ගාමිණි ෆොන්සේකා, ජීවරාණි කුරුකුලසූරියගෙනි. ගාමිණි - අනුලා කරුණාතිලක, ගාමිණි - මාලිනී ෆොන්සේකා, විජය කුමාරතුංග - මාලිනී - සබීතා පෙරේරා, ගීතා කුමාරසිංහ, සනත් ගුණතිලක - ගීතා ජීවන් කුමාරතුංග - සබීතා, ෆ්‍රෙඩී සිල්වා - ගීතා, ශෂී විජේන්ද්‍ර - දිල්හානි ඒකනායක, රන්ජන් රාමනායක - සංගීතා වීරරත්න, චන්න පෙරේරා - සංගීතා, විජයනන්දසිරි - සංගීතා ආදීහු ජනප්‍රිය කිරුළ දැරුවෝ වෙත්. ගාමිණි - මාලිනි, විජය - මාලිනි, ගාමිණි - අනුලා, රන්ජන් - සංගීතා ජනප්‍රිය කිරුළ බොහෝ කල් දැරුවෝ ලෙස ඉන්ද්‍රචාප දකී.

පසුගිය 27 වනදා, කොළඹ අවට මධ්‍ය විද්‍යාලයක දී පැවැත්වූ සිනමා සම්මාන උලෙළක සමීපරූප ඉන්ද්‍රචාපට පෙනේ. පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ මාධ්‍ය ඒකකය සාරාර්ථ 2017 සිනමා සම්මාන උලෙළ රූපාවලියයි මෙවර ඉන්ද්‍රචාපගෙ සමීපරූප අතරට එක්වන්නේ. වසර ගණනාවකින්, දීර්ඝ කාලීනව පවත්වාගෙන එනු ලැබූ සිනමා සම්මාන උලෙළ එනම් සරසවිය හා ජනාධිපති සම්මාන උලෙළ පසුගිය කාලය පුරාම නිද්‍රාවකට වැටී තිබුණු බව ඉන්ද්‍රචාප දකී. සරසවිය සිනමා උලෙළ 2010 න් පසු පැවැත්වුනේ වසර හයකට පසුවයි.

ජනාධිපති සම්මාන උලෙළ ද දිගු නිහැඬියාවකින් පසු ඉදිරි දිනෙකදී යළි පැවැත්වෙන බවට පළවන පුවත් ඉන්ද්‍රචාප දකී. සම්මාන උලෙළක් නොපැවැත්වෙනවාය යන්නෙන් අදහස් වන්නේ අදාළ වර්ෂයක, ඇගැයීමට ලක්විය යුතු සිනමා, නිර්මාණකරුවන් රැසක ගේ දක්ෂතා, ජනප්‍රිය බව ඇගයීම නැවත ලබා ගැනීමට නොහැකි අවාසනාවන්ත තත්ත්වයකට පත්වීමය.

එබඳු තත්වයක් යනු විනිශ්චය මණ්ඩලයකින් ඇගැයීමට ලක්වන චිත්‍රපට නිර්මාණකරුවන්ට මෙන් ම නවක හෝ ජනප්‍රිය නළු නිළියන්ට ද ඔවුන්ගේ නිර්මාණ හෝ රංගන ජීවිතයට දැඩි ලෙස බලපාන, ඔවුන් අධෛර්යයට පත්කෙරෙන කනගාටුදායක තත්වයකි. එවැනි පසුබිමක පාසලක සිසු දරුවන් දැරියන් විසින් යත් පිරිසෙයින් ජනප්‍රිය නළි නිළියන්, චිත්‍රපට ගීතය හා චිත්‍රපටය වෙනුවෙන් හෝ සම්මාන පිරිනැමීමට ඉදිරිපත්වීම ඉන්ද්‍රචාගේ පැසසුමට ලක්වේ.

පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය මාධ්‍ය ඒකකය, මෙවර මාධ්‍ය දිනය වෙනුවෙන්, සිනමාවේ ජනප්‍රිය අංශ හතරකට සම්මාන පිරිනැමීමට අමතරව. SINEROO නමින් ප්‍රකාශනයක් ද නිකුත් කොට තිබෙනු ඉන්ද්‍රචාප දුටුවේය. සිනමාව හෝ සිනමා සම්මාන පිළිබඳ එකදු ලිපියක් හෝ නොවීම එහි වූ මූලික අඩුපාඩුවයි.

මේ අතර, විදුහලේ විදුහල්පති දර්ශන උඩවත්තගේ, මාධ්‍ය ඒකකය භාර සහකාර විදුහල්පති කුලවර්ධන ලේකම්ගේ හා ප්‍රදීපිකා ජයලත්, වයි.එම්.එස්.කේ. යාපා ගුරු පියවරු හා මවුවරුන්ගේ ද උදා හිරු සේනානායක (සභාපති) හා දේවින්දි හංසිකා, හෂිනි කේතුමාලිකා (ලේකම්වරු) සිසු දරුවන්ගේ සමීපරූප ද ඉන්ද්‍රචාපට පෙනේ.

මෙවැනි කාලීන අවශ්‍යතාවක් පිළිබඳ සිසු දරුවන් දැනුවත් කොට ඔවුනට මඟ පෙන්වූ විදුහල්පතිතුමා මෙන්ම මාධ්‍ය ඒකකය භාරව සිටි කුලවර්ධන ලේකම්ගේ ගුරුතුමා ඇතුළු ඔහුගේ කණ්ඩායම ද පාසල් මාධ්‍ය ඒකකයේ නිලධාරි මණ්ඩලය ද දිවියනේ අනෙකුත් පාසල් මාධ්‍ය ඒකකවලට ආදර්ශයක් විය යුතු යි ඉන්ද්‍රචාප සිතයි.

2015 වර්ෂයේ තිරගත වූ චිත්‍රපට අතරින් ජනප්‍රිය සිනමා නිර්මාණ දහයක් ද ජනප්‍රිය ගීත පහක් ද, ජනප්‍රිය නළුවන් දහයක් හා නිළියන් නවදෙනෙකු නිර්දේශ කිරීමෙන් අනතුරුව ජනප්‍රිය සම්මානලාභීන් සිව්දෙනකු නම් කොට තිබිණ. නිර්දේශිත නාම ‍තෝරාගත් සමීක්ෂණ ක්‍රමවේදය නිර්ණායක කුමක් ද යන්න සඳහන් නොවීම ඉන්ද්‍රචාපගේ විමතියට හේතු වූ බව කිව යුතුය.

දිනාගත් පිරිස අතර, ජනප්‍රිය ම චිත්‍රපටයේ අධ්‍යක්ෂ, ඩොනල්ඩ් ජයන්ත, ජනප්‍රිය ම ගීතය ලෙස හෝගානා පොකුණේ ගීතය, නළුවා හෝ නිළිය ලෙස දිනක්ෂි ප්‍රියසාද් හා උද්දික ප්‍රේමරත්න ගේ නම් ගම් කියැවිණ. හෝගාන පොකුණේ සම්මානය, චිත්‍රපටය වෙනුවෙන් ජගත් චමිල ලබා ගත් අතර, ඩොනල්ඩ් ජයන්ත, දිනක්ෂි ප්‍රියසාද් හා උද්දික ප්‍රේමරත්න වේදිකාව මතදී සම්මාන ලබා ගත්තේ උලෙළේ ප්‍රධාන ආරාධිතයා වූ සේවාර්ජිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර අතිනි.

මාධ්‍ය ඒකකයේ ශිෂ්‍ය ශිෂ්‍යාවක් ම ඉංග්‍රීසි හා සිංහල දෙබසින් ම උලෙළ මෙහෙයවමින්, උලෙළ අලංකාරවත් කිරීමට විශේෂාංග, එනම් ගායනා හා නර්තන ද එක්කරමින් හෝරා තුනකට ආසන්න කාලයක් ප්‍රේක්ෂකාගාරය රඳවා ගැනීමට උත්සාහ ගෙන තිබිණ. වැඩසටහන පෙළ ගැස්මෙහි අසංවිධානාත්මක බව කැපී පෙනුණ අඩුපාඩුවක් වීය.

ජනප්‍රිය නළුවා උද්දික, (මහරජ ගැමුණු) ජනප්‍රිය නිළිය දිනක්ෂි (මේ වගේ ආදරයක්) ඔවුන් රංගනය මතු නොව ගායනයෙහි ද හපනුන් බව ඔප්පු කරමින් ගැයූ යුග ගායනවා, සම්මාන උලෙළට එක්වූ අපූර්ව ආලෝකයක් ලෙස ඉන්ද්‍රචාපගේ සමීපරූප අතර රැඳී ති‍ෙබ්. උද්දික මෙන් ම දිනක්ෂිත් ජනප්‍රිය නළු කිරුළට සුදුස්සන් බව ඉන්ද්‍රචාපගේ ද ‍තේරීමයි. 

Comments