තරු තොරතුරු | Page 5 | සිළුමිණ

තරු තොරතුරු

වැදුණූ පාරට දතකුත් ගැලවිලා

ඕෂදී හිමාෂා මේ දිනවල ආශාවරී ගීතයට ටෙලි නාට්‍ය හා චිත්‍රපට කිහිපයකටම දායක වෙනවා. මේ රඟපෑම් අතර ඕෂදීට නොහිතපු අකරතැබ්යකටත් මුහුණ පාන්න සිදුවෙලා. ඒ ගැන අපිට ආරංචි වුණේ මේ විදිහට. නවතම චිත්‍රපට රූගත කිරීමකට ඕෂදී සමඟ රොෂාන් රණවනත් දායක වී තිබෙනවා‍. රූ ගත කරන්නට තිබී ඇත්තේ සටන් ජවනිකාවක්. කොහොමින් හෝ රොෂාන් සමඟ සටන් කරන විට අත්වැරැදීමකින් රොෂාන්ගේ අත්පහරක් ඕෂදීගේ කම්මුලේ වැදිලා. ඒ පහරේ බරපතලකම කොච්චරද කිව්වොත් කම්මුල තඩිස්සි වෙලා හක්කේ දතකුත් ගලවන්න සිද්ධ වෙලා. ඕෂදීට බෙහෙත්පවා ගන්න සිදුවෙලා. ඒත් කම්මුල මොනතරම් වේදනා දුන්නත් චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා ඇය වෙලාවටම රූගත කළ ස්ථානයට එන්න අමතක කරලා නැහැ.

කැපුවේ- වැව්වේ රඟපාන්න

දිනෙත් ද සිල්වා මේ දවස්වල ජනප්‍රිය රංගන ශිල්පියෙක්. දිනෙත් ගැන අපිට දැන ගන්න ලැබෙන අලුත්ම ගොසිප් එක තමයි ඔහු අපූරුවට වවාගෙන තිබුණු කොණ්ඩය කපා දමා තිබීම. මේ ගැන දිනෙත් ගෙන් විමසුවාම දිනෙත් දුන්නේ අපූරු උත්තරයක්.‘මම මේ දිනවල තිරගතවන සහ තිරගතවී අවසන් වූ චිත්‍රපට කිහිපයක්ම වෙනුවෙන් මගේ කොණ්ඩය වැව්වා. ඒ කොණ්ඩෙට දැන් අවුරුදු තුනක් පමණ වෙනවා. සිරි පැරකුම්, ආලෝකෝ උදපාදී වගේම ජැක්සන් ඇන්තනීගේ සී රජ ටෙලි නාට්‍ය- ෙයත් රඟපාන්න මම කොණ්ඩෙ වැව්වා. නමුත් හර්ෂ උඩකන්දගේ ‘‍ෆේස් ටු ‍ෆේස්‘ ක්‍රියාදාම චිත්‍රපටයේ රඟපාන්න මට කොණ්ඩය කපාදමන්න සිදු වුණා. හිතේ දුකක් නැහැ. මම කොණ්ඩය වැව්වෙත් සිනමාව වෙනුවෙන්. කොණ්ඩය කැපුවෙත් සිනමාව වෙනුවෙන් නිසා.

ලියාරා ට දහ නවයයි

වසර දහනමයක් කියන්නෙ සංගීත කණ්ඩායමකට බෙහෝ සේ සතුටු විය හැකි කරුණක්. ඒ සතුට මෙරට සංගීත කණ්ඩායම් අතර ඉදිරියෙන්ම සිටින ‘ලියාරා ‘ සංගීත කණ්ඩායම මේ දිනවල නොඅඩුවම බුක්ති විඳිනවා. අවුරුදු දහනමයක් පුරා සංගීත කණ්ඩායමක් පවත්වාගෙන එනවා කියන එක තරමක් දුරට අභියෝගාත්මකයි. ඒ අභියෝගය සාර්ථකව, එකාවන්ව , සමඟියෙන් ජයගත්තා කියල හිතෙන කොට ලියාරා සංගීත කණ්ඩායමේ සාමාජිකයන්ට දැනෙන් නේ පුදුමාකාර සතුටක්. ආත්ම ශක්තියක්. ඒ සතුට වදන්වලට ලියාරා සංගීත කණ්ඩායම් නායක ප්‍රසන්න ගුණසේකර පෙරළුවේ මේ විදිහට. ‘ සංගීත කණ්ඩායම් කිහිපයක වාදකයෙක් විදිහට කටයුතු කරපු මට ඒ අත්දැකීම් ලියාරා සංගීත කණ්ඩායම පටන් ගන්න මුලික අඩිතාලම දැම්මා. මට මතකයි සංගීත කණ්ඩායමක් පටන් ගන්න ඕන කියලා හිතුවත් එයට සුදුසු නමක් ගන්න මම අරිසෙන් අහුබුදු මහත්මයා හමු වෙන්න ගියා. රාත්‍රී 9.15ට තමයි මට ‘ලියාරා ‘ කියන නම දුන්නේ. ඒ අනූව ගොඩ නැඟුණු ලියාරා මේ වන විට සෑහෙන දුර ගමනක් ඇවිත් තිබෙනවා. එයට අපේ කණ්ඩායම් හැඟීම නොඅඩුව බලපෑවා. 1999 දී ලියාරා බෑන්ඩ් එක ට මහේශ් නිශ්ශංක මහතා මෙහෙය වූ ජාතික රූපවාහිනියේ ‘මන්දාකිණි‘ වැඩසටහනට එක්වෙන්න අවස්ථාව ලැබුණා. එතන දී ලියාරා බෑන්ඩ් එක ජනතාව අතර ජනප්‍රියත්වයට පත් වුණා. එතැන්පටන් බොහෝ අභියෝග දුක් කම්කටොළු මැද මේ ගමන අපි නොසැලී ඉදිරියටම ආවා.

කාලෙන් කාලෙට විවිධ සංගීත කණ්ඩායම් බිහි වුවත් ලියාරා ගමන්මඟ ස්ථාවර බව ප්‍රසන්න පවසන්නේ සතුටිනි. ‘කාලෙන් කාලෙට විවිධ සංගීත කණ්ඩායම් නිර්මාණය කරගනිමින් කරලියට එනවා. ඉතා ඉක්මණින්ම බිඳවැටෙනවා. ඕනම දෙයක් පටන් ගන්න ලේසියි. නමුත් ඒවා පවත්වාගෙන යාම අපහසුයි. මොකද සංගීත කණ්ඩායමක් කියන්නේ කණ්ඩායමක් එක්වී ගොඩනඟන දෙයකට. එතැන තිබෙන්නේ විවිධ අදහස් උදහස් සිතුම් පැතුම්වල සංකලනයක්. ඒ සියල්ල තේරුම් අරගෙන බෑන්ඩ් එකට නායකත්වය දීම තමයි කණ්ඩායම් නායකයකුගේ වගකීම.

රටේ පවත්නා සංගීතයට අනුගතව වෙනස්වන සංගීත ලෝකයේ නැව්ම් ඉසව් සොයා යන්නට පෙරමුණගෙන සිටින ලියාරා සංගීත කණ්ඩායම සතුව නව පරපුරේ ජනප්‍රිය ගායකයින් කිහිපදෙනකු ද වෙනවා.‘ දැනට වසර 19 කට පෙර පැවැති සංගීතයට හාත්පසින්ම වෙනස් සංගීතරටාවක් තමයි දැන් පවතින්නේ. ඒ කාලෙ කණ්ඩායමක් වශයෙන් අපි ගායක ගායිකාවනට සංගිතය සැපයුවා. නමුත් දැන් ඒ තත්වය වෙනස්. දැන් ලියාරා බෑන්ඩ් එකටම කියලා ගායකයින් සිටිනවා. අපේම ගීත තිබෙනවා. ප්‍රසංගවල දී ලියාරා බෑන්ඩ් එකේ ගීතවලට රසිකයන් විශාල කැමැත්තක් දක්වනවා. ලියාරා බෑන්ඩ් එකේ ඉන්දික ප්‍රසාද් සහ ගයාන් සංකල්පගේ ගීත මේ දවස්වල ජනප්‍රියයි. ඒ අතර ‘සිත අතරමං කළා...‘ ගීතයත් ‘සුදෝ මං ආදරෙයි...‘ ගීතයන් ප්‍රධානයි. ඒ වගේම ඉදිරියේ දි ඉන්දික ගයන ‘ගෙදර බුදුන් අම්මා...‘ ගීතය රිලිස් වෙන්නත් තිබෙනවා. මතින් නිදහස් රටක් සංකල්පය වෙනුවෙන් නිර්මාණය වූ ‘යෞවන කාලය ‘ ගීතය ලියාරා කණ්ඩායමේ ගායනයෙන් වාදනයෙන් ඉදිරියේ දී රසිකයන් අතරට එක්වේවි. ඒ වගේම ලබන අප්‍රේල් මාසයේ අලුත් තාලෙට අලුත් දෙයක් අහන්න දකින්න තේමාව යටතේ අති නවීන අධි තාක්ෂණික ශබ්ද විකාශන යන්ත්‍ර හා අධි නවීන විදුලි ආලෝක යටතේ එළිමහන් ප්‍රසංගවේදිකාවේ වෙනසක් කරන්න ලියාරා අපි සූදානම්. මොකද අපි කවදත් අභියෝග බාර ගත්තා. ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවේ එකවර ගායක ගායිකාවන් 50 දෙනෙකුට අපි සංගීතය සැපයුවා. ඒ නාමල් උඩුගම අසනීප වූ අවස්ථාවේ. ඔහු වෙනුවෙන්. එය ලොකු වගකීමක් වුණා. අපි හරිම සතුටින් ඒ අභියෝගය ජයගත්තා. එලැබෙන ලියාරා උපන් දිනය වෙනුවෙන් ලියාරා කණ්ඩායමේ විශාල වර්ණ පෝසටරයක් රසිකයන් වෙනුවෙන් නොමිලේ තිළිණ කරන්න අපි සූදානම්. ඒ වගේම ඉදිරියේදී නවතම ගී ඇතුළත් සීඩී තැටියක් සහ කැරොකේ ඩීවීඩී පටයක් නිකුත් කරන්නත් අපි සූදානම්. ඒ සඳහා නර්තන කණ්ඩායම් සහ රඟපෑමට හපන්කම් දක්වන්නන්ට අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ප්‍රසන්න පවසන්නේ සතුටිනි.

 

නො.39, බණ්ඩාරනායක මාවත, බියගම පාර, කැලණිය ලිපිනයෙන් ඔබට ලියාරා අමතන්න පුළුවන්.

  

Comments

පිටු