ටෝනි, දොස්තර සරත් ලෙස දොරට වැඩුම හෙටයි | සිළුමිණ

ටෝනි, දොස්තර සරත් ලෙස දොරට වැඩුම හෙටයි

ජීවන්ත දයානන්ද විසින් විරචිත අභිනව සිනමා සාහිත්‍ය කෘතිය ‘ටෝනි, දොස්තර සරත් ලෙස’ (අහසින් පොළොවට සොඳුරු සිනමා ආවර්ජනය) කොළඹ 7, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේදී හෙට (13 වැනි දා) සවස 3 ට ජනගත කෙරේ.

මහා සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ අධ්‍යක්ෂණයෙන් ඔපවත්ව යූ. ඩබ්ලිව්. සුමතිපාල ගේ නිෂ්පාදනයක් ලෙස 1978 දී තිරගත වූ අහසින් පොළොවට සිනමා කෘතිය දේශීය සහ විදේශීය සම්මාන රැසකින් පිදුම් ලැබීය. ප්‍රථම ජනාධිපති සම්මාන උළෙලේ ප්‍රථම හොඳම නළුවා ලෙස සම්මානනීය. ප්‍රතිභාපූර්ණ සිනමා රූපණවේදී ටෝනි රණසිංහයන් රඟ පෑ දොස්තර සරත්ගේ චරිතය අරඹයා ටෝනි රණසිංහ සමඟ කළ දීර්ඝ සංවාදයක් ද එම චරිතය විචාරශීලී විමසුමකට ලක්කරන ලිපි පෙළකින් ද කෘතිය සමන්විත ය. එදින උත්සවයේදී ‘ආදරණීය ටෝනි අයියා’ ලෙස ප්‍රවීණ සිනමා රූපණවේදී සහ සිනමාවේදී සනත් ගුණතිලක මහතා විසින් කෙරෙන සෙනෙහෙබර සැමරුම් දෙසුමක් ද ටෝනි, දොස්තර සරත් ලෙස’ නමින් සබරගමු සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් කෙරෙන විචාරාත්මක දෙසුමක් ද සිදුකරනු ඇත. පූරක ලෙස ප්‍රවීණ ගීත රචක විදුර ඩයස් අභයගුණවර්ධන කටයුතු කෙරේ.


උපුල් නුවන් විදහා ඔබ සිනා සුණා

මිල්ටන් මල්ලවආරච්චි 19වැනි ගුණ සැමරේ

ප්‍රවීණ ගායන ශිල්පී මිල්ටන් මල්ලවආරච්චි මහතාගේ බොහෝ ගී පද සංකල්පනාවල ආත්මය බවට පත් වී තිබුණේ ප්‍රේමයයි. ප්‍රේමය අහිමිව විරහ වේදනාවෙන් ළතැවුණු අව්‍යාජ යොවුන් හදවත්වලට මිල්ටන් මල්ලවආරච්චි මහතා විසින් ගායනාකළ බොහෝ ගීත මහත් අස්වැසිල්ලක් ගෙන දුන්නේය. ඔහු විසින් ගායනාකළ ඇතැම් ගී පද සංකල්පනාවල අර්ථයටත් වඩා, ඔහුගේ ළයාන්විත හඬ යොවුන් හදවත් හී විරහ වේදනාව උච්චතම ස්ථානයට රැගෙන ගියේය. යොවුන් හදවත් අසීමිත ලෙස සනහාලීමට තරම් වු කවර ස්වරූපයක හෝ ගීතයක් ගායනා කිරීමට අවස්ථාවක් ලදහොත් එය භාග්‍යයක් ලෙස සැලකූ මේ කලාකරුවා එම ගීතයට උපරිම සාධාරණත්වයක් ඉටු කිරීමට ද යුහුසුළු විය.

මදු මල ලෙස මෘදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි..යන ගීතය මිල්ටන් මල්ලවආරච්චි මහතා වඩාත්ම ඇළුම්කළ ගීතයක් වන්නේද ඒ නිසාය.

වර්ෂ 1969දී කරුණාරත්න අබේසේකර සූරීන් ගේ ගී පද සංකල්පනාවකට අනුව මො‍හොමඩ් සාලි මාස්ටර් විසින් සංගීතවත්කළ ඔරුවක පා වෙන රෑ ගණ අදුරේ..ගීතය ගායනා කරමින් ගුවන්විදුලියේ ගායනයට පිවිසි මිල්ටන් මල්ලවාරච්චි වසර තිහකට අධික කාලයක් පුරා දේශිය සංගීත ක්ෂේත්‍රයෙහි වු බොහෝ සංගීතවේදීන්ගේ අලංකාර වු ගීත සමුදායක් නිර්මාණය කර ගැනීමට සමත් විය.

රිදී තිරයේ ද පසුබිම් ගායනයට පිවිස චිත්‍රපට 150කට ආසන්න ප්‍රමාණයකට දායක වී තිබේ.

රිදී තිරයේ දස්කම් පාමින් වැඩිම ගීත ප්‍රමාණයක් ගායනාකරනලද්දේ සිනමා සක්විති ලෙස විරුදාවලියලත් ආචාර්ය ගාමිණී ෆොන්සේකා මහතා වෙනුවෙන්ය. එමෙන්ම ඈතින් ඈතට චිත්‍රපටියෙහි කැන්දන් යන්නම්, රන්මල් මාලා දාලා, ගීතය ගායනාකළ මිල්ටන් මල්ලවාරච්චිට 1984වර්ෂයේදී හොඳම ගායකයාට හිමි සරසවි සම්මානයද හිමිවිය.

දශක තුනකට අධික කාලයක් තිස්සේ ඔහු ගායනාකළ දහස් ගණනක ගීත සමුදාය අතුරින් බහුතරයක් අයත් වන්නේ ප්‍රේමය සහ විරහව නිමිතිකරගෙනය. ජනප්‍රියත්වය හමුවේ තමන් කෙතරම් කාර්යබහුල වුවත් ගායකයකු වශයෙන් ප්‍රවේශවීමට අතහිතදුන් ප්‍රවීණයන් ද කිසිදිනක අමතක නොකළේය. එමෙන්ම දීර්ඝ කාලයක අභිමානවත් ගායන දිවිය තුළ කිසි විටක මුදලට ගැති වී තම ප්‍රතිපත්ති පාවා නොදුන් මිල්ටන් මල්ලවාරච්චි මහතා රසික රසිකාවියන් අතර අදත් ජනප්‍රිය ගායකයෙකි.


ප්‍රේමය නම් විචාර

සම්මන්ත්‍රණයක් හෙට

කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ විසින් අධ්‍යක්ෂණය කරන ලද ප්‍රේමය නම් චිත්‍රපටය පිළිබඳ විචාර සම්මන්ත්‍රණයක් හෙට (13) ප.ව 3.30ට මහවැලි කේන්ද්‍ර යේදී පැවැත්වේ.

ගාමිණී වියන්ගොඩ, උපුල් ශාන්ත සන්නස්ගල, සුමිත්‍රා රාහුබද්ද යන මහත්ම, මහත්මීහු මෙහිදී ප්‍රධාන දෙසුම් පවත්වති.


කුඩා පරිමාණ ස්වයං රැකියාලාභීන්ට හා ගෘහණියන්ට කාන්තා ඇගයීම් සම්මාන උළෙලක්

මෙවර කාන්තා දිනයට සමගාමීව ස්වයං රැකියාවල නියුතු කාන්තාවන් ඇගයීමට සමාජ විසඳුම් (මානසික හා චර්යාමය) ආයතනය කටයුතු සදානම්කර ඇත. මෙහිදී කුඩා පරිමාණයේ ස්වයංරැකියාලාභී කාන්තාවන්ට සහ විශේෂයෙන් තම කාර්යභාරය නිර්මාණශීලිව හා උද්යෝගයෙන් කරන ගෘහණියන්වද ඇගයීමට ලක් කිරීම මෙහි අරමුණයි.

අරපිරිමැස්ම, ගෙවතු වගාවන්, දරුවන්ගේ සහ සැමියාගේ කටයුතු උද්යෝගයෙන් කිරීම තුළ ලබාඇති ජයග්‍රහණ හා සාර්ථකත්වය ඇගයීමට ලක්කිරීම තුළින් ඔවුන්ගේ සැඟවුණු කාර්ය භාරය සඳහා වටිනාකමක් ලබාදීමෙන් තවදුරටත් ධෛර්යමත් කිරීම හා ඉන් ඔබ්බට ඔවුන් යොමු කිරීම මෙහි අරමුණයි. මේ පිළිබඳ උනන්දු අය 2017, මාර්තු 15ට කලින් තම ලිපිනයැති මුද්දර කවරයක් සමඟ සමාජ විසඳුම් (මානසික සහ චර්යාමය) ආයතනය, csdp 70/b/14/sp,y.m.b.a. ගොඩනැගිල්ල, බොරැල්ල, කොළඹ 08 ලිපිනයට යොමු කිරීමෙන් විස්තර එවීම සඳහා වි‍ශේෂයෙන් සකසා ඇති අයදුම්පතක් ලබා ගත හැක. එසේම [email protected] විද්‍යුත් තැපෑලෙන්ද විස්තර ලබාගත හැක.


සිංහල සිනමාවේ සමාරම්භක සින්දු

ග්‍රන්ථය හා තැටිය 70 ‍වැනි සැමරුමට

සිංහල සිනමාවේ සමාරම්භක සින්දු ග්‍රන්ථය හා තැටිය දැන් නිකුත්ව ඇත.

1949 කඩවුණුපොරොන්දුව සිට 1956 රේඛාව දක්වා තිරගත චිත්‍රපට දහයක ගීත 103 ක් ඇතුළත් ග්‍රන්ථයෙන් සිංහල සිනමාවේ උප්පත්ති කතාව හා සිංහල සිනමාවේ සමාරම්භය හඳුන්වා දෙයි.

ප්‍රවීණ සිනමා ලේඛක ‍රූපසේන සිල්වා විසින් සම්පාදිත සිංහල සිනමාවේ සමාරම්භක සින්දු සමඟ එහි මුද්‍රිත වසර 70 එපිට චිත්‍රපට ගීත සහිත දිගු ධාවන ශ්‍රව්‍ය සංයුක්ත තැටිය (ACD – AUDIO COMPACT DISC – MP3) ලබා ගැනීමට ලැබීම විශේෂත්වයකි.

ග්‍රැමෆෝන් තැටි මඟින් උපුටා ගත් එම ගීත මුල් හඬින් හා සංගීතයෙන් අසන්නට ලැබීම ආනන්දනීය වින්දනයක් ගෙන දෙනු නිසැකය. ප්‍රේම් දිසානායක කවර නිර්මාණය කළ ග්‍රන්ථය ඩබ්ලිව්. ජයසේන ද අල්විස්ගේ ප්‍රකාශනයක් වන අතර ගීත තැටිය ජයනන්ද බෙදාහැරීමක් ලෙස ජනගත කරයි.

 


සුජාත දියණි යළි පැමිණෙයි

ජාතික රූපවාහිනියෙන් විකාශය කළ අතිශය ජනප්‍රිය ව‍ූ ‘සුජාත දියණි’ ටෙලිනාට්‍ය මාලාව යළිත් සුවහසක් ඉල්ලීම් මත සතියේ දින පහේ පස්වරු 6‍‍.30 සිට පස්වරු 7.30 දක්වා විකාශය කෙරේ.

පුංචි තිරයේ ජනප්‍රියම හෝරාවක් බවට එම හෝරාව පත්වුණේ සුජාත දියණිය විකාශය කිරීමත් සමඟ ය. දිරියෙන් දිවිය ජය ගැනීමට ආදර්ශ රැසක් සපයන මේ නාට්‍ය මාලාවට කේන්ද්‍ර වී ඇත්තේ කොරියාවේ තේ චංගුම් නම් සැබෑ වීර කාන්තා චරිතයකි. ‘එරට ජුවෙල් ඉන් ද පැලස්’ ලෙසින් විකාශය වූ නාට්‍යමාලාව සිංහලින් හඬ කවා ‘සුජාත දියණි’ විකාශය කෙරිණි.


සොඳුරු අතීතය

ගී ප්‍රසංගය 17වැනිදා

ටී.එම් ජයරත්න මහතාගේ සොඳුරු අතීතය ස්වරාභිනන්දන සජීවි ගී ප්‍රසංගය ලබන 17 (සිකුරාදා) සවස 6.30ට මහරගම ජාතික තරුණසේවා යොවුන් රඟහලේදි පැවැත්වේ.


වේදිකා නාට්‍ය

කලියුග කෝලං හැටන්හි දී..

මහින්ද පතිරගේ නාට්‍යය නිර්මාණ කලියුග කෝලං අද (12)දින ප.ව 3.30ට සහ 6.45ට හැටන් වයි. එම්. බී. ඒ සංස්කෘතික මධ්‍යස්ථානයේදි රඟ දැක්වේ.

කෝලම් නාටකය මහව දී..

ප්‍රියන්ත රංජන් නිෂ්පාදනය කරන පහතරට සාම්ප්‍රදායික කෝලම් නාටකය ලබන 14දින ප.ව 2.30ට සහ ප.ව 6.30ට මහව සයිමන් නවගත්තේගම රඟහලේදි රඟ දැක්වේ.

 

විකෘති හසලක

සෝමලතා සුබසිංහගේ විකෘති නාට්‍ය ලබන 15දින පෙ.ව 10.30ට සහ ප.ව 2.30ට හසලක සිනමා ශාලාවේදී වේදිකා ගත කෙරේ.

රත්නාවලී ගම්පොළ

ලලිතා සරච්චන්ද්‍රයන් අධ්‍යක්ෂණය කරන රත්නාවලී නාට්‍යය ලබන 16දින පෙ.ව 9.30ට සහ ප.ව 12.00ට ගම්පොළ වික්‍රමභාහු විද්‍යාලයීය රඟහලේදි රඟ දැක්වේ.

සිංහබාහු මතුගම

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ටතම නාට්‍ය නිර්මාණය සිංහබාහු ලබන 17දින පෙ.ව 8.30 සහ පෙ.ව 11ට මතුගම ශ්‍රවණාගාරයේ දී රඟදැක්වීමට කටයුතු යොදා ඇත.

මල් වඩම්

අනවශ්‍යයි රටවටා

ප්‍රියන්ත රංජන් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කරන ලද මල් වඩම් අනවශ්‍යයි නාට්‍යය ලබන 18දින ප.ව3.00ට සහ ප.ව 6.45ට කුරුණෑගල නගර ශාලාවේදීත්, 19දින ප.ව 3.00ට සහ ප.ව 6.45ට ගාල්ල හෝල් ඩී ගෝල් ශාලාවේ දීත්, 24දින ප.ව 3.00ට සහ ප.ව.6.45ට ගලේවෙල නගර ශාලාවේදිත්, 26දින ප.ව 3.00ට සහ ප.ව.6.45ට මරදාන ටවර් රඟහලේදීත් වේදිකා ගත කෙරේ. 

 

Comments