ගොඩක් අය මාව හඳු­නන්නේ සරා­ගයේ ගීත­යෙන් | Page 2 | සිළුමිණ

ගොඩක් අය මාව හඳු­නන්නේ සරා­ගයේ ගීත­යෙන්

 සනුක වික්‍රමසිංහ

මේ දිනවල ඇසෙන ගීත අතරින් ‘සරාගයේ’ ගීතය ගැන වැඩිපුරම කතා වෙන්න පටන් අරන්. රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර එක්ක අපි සිතුවා මේ ගීතයේ අයිතිකරුවා සොයාගෙන යන්න. කාර්යබහුලත්වයත් එක්ක ඔහුත්, ඔහු ගේ සංගීතයත් සමඟ ගෙවුණු සුන්දර කාලය හරිම අපුරු එකක් වුණා. කලා පවුලකින් එන නුතන පරම්පරාව නියෝජනය කරන මේ තරුව ඔහු සනුක වික්‍රමසිංහ.

අද ගෙදර වගේ ?

දැන් මේ වැඩකට ගිහින් ආවේ.

ඒ කියන්නේ සනුක කාර්යබහුලයි ගොඩක්?

මේ මාසේ කාර්යබහුලයි. ෂෝස් තියනවා. එක දිගටම ෂෝස් ගොඩක් තියෙනවා.

‘සරාගයේ’ ගීතයට ඉහළ ප්‍රතිචාර ලැබෙනවා කියලා ආරංචියි.

ඔව්.. ප්‍රතිචාර හොඳයි. ඉතාමත් ඉහළයි. වීඩියෝ එකට You Tube views ලක්ෂ 10 පැන්නා. හුඟක් අය හොඳ කියලා තියෙනවා. සරාගයේ ගීතය පද රචනය කළේ මනුරංග විජේසේකර අයියා. එයාගේ ඔළුවේ තිබුණු අදහස තමයි වීඩියෝ එකෙන් ගත්තේ.

සනුක ගේ පාසල් කාලයත් එක්ක ගෙවුණු සංගීතය ගැන කියමු.

මම මුලින්ම ගියේ ගම්පහ ගෝතමී කනිෂ්ට විද්‍යාලයට. එතැනදී මට ගායන තරග සඳහා සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සේ 5 වසරේ ශිෂ්‍යත්වයෙන් කොළඹ රාජකීය විද්‍යාලයට ගියා. එහිදී මට අවස්ථාව ලැබෙනවා ‘ස-ග’ ප්‍රසංගයේ ගයනා කරන්න. ඉස්කෝලේ ගිය දවසේ පටන්ම ‘ස-ග’ ප්‍රසංගයට සහභාගී වෙලා තියෙනවා. පාසලෙන් out වුණත් මේ පාරත් මට ආරාධනා කළා ගායනා කරන්න. මියුසික් හදාරන කාලය තුළදී කැලැසිකල් ගිටාරය හදාරලා තියෙනවා,අමරනාත් රණතුංග සර් ළඟ. ඒ වගේම ගායනය මගේ සීයා,දයා වික්‍රමසිංහයන් ළඟ මම ඉගෙන ගත්තා පොඩි කාලයක්.

සනුක කියන කෙනා බිහිවෙන්නේ සහ හඳුනා ගන්නේ ‘ස-ග’ ප්‍රසංගය හරහාද?

ක්ෂේත්‍රයට මම ආවේ එහෙම නෙමෙයි. ඒක පාසලේ දෙයක්. ඒක ලිමිටඩ් ක්‍රවුඩ් එකකට එන්නේ. මම o/l කරන කාලේදී මුලින්ම ‘අම්මා’කියන ගීතය you tube එකේ රිලීස් කළා. ඊට පස්සේ ‘මල් වියන්’ ගීතය 2015 දී රිලීස් වෙනවා. ‘මල් වියන්’ ගීතය යම්තාක් දුරකට රසික රසිකාවියන් වැළඳගත්තා. නමුත් ‘සරාගයේ’ ගීතය හරහා තමයි ගොඩක් අය මාව අඳුන ගත්තේ.

මේ දේවල් එක්ක උසස් අධ්‍යාපන කටයුතු කොහොමද කරගෙන යන්නේ ?

දැනට මම තොරතුරු තාක්ෂණ උපාධිය හදාරනවා. ඒක ඉවර නැහැ.මගේ සංගීත කටයුතුත් එක්ක ඒක කරගන්න අමාරු වුණා. දැන් ඉවර වෙන්න නියමිතයි.

ඇයි සංගීතය පැත්තෙන් ඉදිරියට යන්නේ නැතුව මේ වගේ දෙයක් තෝරා ගත්තේ?

music පැත්තෙන් ඉදිරියට යන්නයි මගේ ප්ලෑන් එක තිබුණේ. නමුත් මට අම්මයි,තාත්තයි සහ මගේ ලොකු මාමා තුන්දෙනා එකතුවෙලා කිව්වා,music විතරක් කරන්න එපා, මේ දේත් කරන්න කියලා. ඉතිං ඒකට මාව දැම්මා.ඉතිං ඊට පස්සේ මම ඒ දේ කළා .

සනුකට වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ ගැහැනු ළමයිගෙන්ලු නේද?

හ්ම්....එහෙම ඉතිං කියන්න බැහැ.එක එක ගීත වලට එක එක ප්‍රතිචාර ලැබෙන්නේ. එහෙම මට වෙනසක් නැහැ. ගැහැනු ළමයි ගෙන් වගේම පිරිමි ළමයින්ගෙනුත් ප්‍රතිචාර ලැබෙනවා.

ඔය අතර විශේෂ කවුරුත් තවම මුණ ගැහිලා නැද්ද?

විශේෂ අය මුණගැහිලා තියෙනවා.

විශේෂ එක්කෙනෙක් කියලා නැද්ද?

මම විශේෂ කරගෙන නැහැ.

නදිමල්,සජිත්,කෞෂාන්....මේ හැමෝම කලා පවුලකින් එන,ඔබ ගේ පරම්පරාව නියෝජනය කරන අය. මේ පරම්පරාව මොනවගේ දෙයක් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවද?

මගේ යාළුවෝ නිසා කියනවා නෙමෙයි.සජිත්,නදිමල්, කෞෂාන් ,දිල් පෙරේරා,එරන්ද මේ සියලු දෙනාටම ඒ හැමෝටම එකිනෙකට අනන්‍ය වූ විශේෂතා මම දකිනවා. අපි හැමෝම හමුවුණේ එක්තරා පුවත්පතක cover photo ක් නිසා. එදා ඉඳන් තාමත් අපි කතා කරනවා,අපි හැමෝම සංගීතයත් එක්ක ඉන්න නිසා,කලාවත් එක්ක ඉන්න නිසා අපේ අදහස් හුඟක් ගැලපෙනවා. ඉතිං ඒ යාළුකම,සහෝදරකම ඇසුරෙන් නොයකුත් නිර්මාණ බිහිවෙනවා. එහි ප්‍රතිඵලයක් තමයි,සජිත්,නදිමල් ගෙන් බිහිවුණු mashup එක .මේ දේවල් ඇසුරෙන් හොඳ නිර්මාණ බිහිවෙනවා. අපි හදන්නේ පුළුවන් තරම් හොද නිර්මාණ බිහි කරන්න.

ඒ වගේ කළ නිර්මාණ මොනවද?

මම සංගීත් විජේසූරිය අංකල් ගේ පුතා කෞෂාන් විජේසුරියට ගීතයක් කළා ‘සොයන්නේ අපේ ආදරේ’කියලා.දැන් ඒක මියුසික් වීඩියෝ එකත් එක්ක එළියට ඇවිල්ලා තියෙනවා. ඒ ගීතයේ පද රචනය සහ සංගීතය මම කළේ.ඊට පස්සේ අමල් පෙරේරා අංකල් ගේ පුතා නදිමල් පෙරේරාට ගීතයක් කළා, ‘මායම් කලාවේ’ඒ නිර්මාණයේ සංගීතය,තනුව,පද රචනය තුනම මගේ.එහි වීඩියෝ එක ලෑස්තියි.ඒ ගීතයත් ළඟදීම රිලීස් වෙනවා. ඒ වගේම ‘ස්වර්ණපාලි’ කියලා සජිත් ඇන්තනි ට ගීතයක් කළා,ඒ ගීතයත් ඉදිරියේදී එනවා. මම හැම වෙලාවකදීම වෙනස් දෙයක් කරන්න හිතන්නේ. මියුසික් කියන දේ තුළ සාර්ථකත්වය රඳාපවතින්නේ,ඒක කීදෙනෙක් වැළඳ ගන්නවා කියන එක මත.

සනුක ගායකයෙක් වගේම, ගී පද රචකයෙක් නේද?

ගායකයෙක් විදියට ඇවිල්ලා අවුරුදු 5 ක් වගේ කාලයක් වෙන්නේ.මට ලොකු අත්දැකීමක් නැහැ සිංදු ලියන්න. මගේ ‘මල් වියන්’ගීතයන් තමයි සිංදු ලියන්න පටන් ගත්තේ. ඒ අනුව ඒ දේ අධ්‍යයනය කරමින් ,ඉගෙනුම ලබමින් හෙමින් සැරේ යන ගමනක් තමයි.

ෂෝස් වලදී,වගේම එළියට ආවට පස්සේ රසිකයන් ඔබෙන් වැඩිපුරම ඉල්ලන්නේ මොනවගේ ගීතද?

ආ ...සෙල්ෆි තමයි වැඩිපුරම ඉල්ලන්නේ.

ගෙදරින් ලැබෙන සහයෝගය ගැන මතක් කරමු.

ගෙදරින් ලැබෙන ප්‍රතිචාර හොඳයි. ලැබෙන සහයෝගය කියලා නිම කරන්න බැහැ.ඒකට මගේ අම්මාටයි, තාත්තටයි (සංගීත් විත්‍රමසිංහ) බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.

ඇත්තටම සනුක කියන්නේ මොනවගේ කෙනෙක්ද?

හ්ම්...ඒක මමවත් දන්නේ නැහැ.

සනුක ගායකයෙක් නොවුණ නම් කවුරු වෙයිද ?

ගායකයෙක් නොවුණ නම්.......අනේ.. මන්දා..සොරි තමා ඉතිං. හැබැයි මගේ අධ්‍යාපන කටයුතුත් එක්ක බලනකොට මම තොරතුරු තාක්ෂණය පැත්තෙන් ඉදිරියට යයි.

ළඟදීම සනුක රසිකයන්ට අලුත් තෑග්ගක් දෙනවලු නේද?

ඔව්.මගේ අලුත්ම මියුසික් වීඩියෝ එක රීලිස් කරන්න ඉන්නවා.වෙනස්ම සංගීත ශෛලියකට නිර්මාණය වුණු නිර්මාණයක්. ඕනෑම වයස් පරතරේ කෙනෙකුට රසවිඳින්න පුළුවන් ගීතයක් තමයි එන්න නියමිතව තියෙන්නේ. ළඟදීම ප්‍රේක්ෂකයන්ට බලාගන්න පුළුවන් වෙයි.

මොනවද ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ ?

මගේ ගීත වලට කමෙන්ට්ස් දෙන්න ඕන නම් මගේ FB page එකට message කරන්න පුළුවන්.Instagram එකෙන් මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මේ තරම් කාලයක් මාත් එක්ක හිටිය වගේ,මගේ සංගීත දිවියේ ඉදිරියට මට ආදරේ කරන රසික රසිකාවියන්ට මාත් එක්ක හැමදාම ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ. 

 

Comments