
ජනප්‍රිය රංගන ශිල්පිනී - තිසුරි යුවනිකා
අමතක නොවන මතක විශේෂාංගයට මෙවර මතකය අවදිකරන්නේ නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වන තිසුරි යුවනිකා. කලා පවුලකින් පැවත එන තිසුරි තම ජීවිතයේ අමතක නොවන සිඳුවීම් රසඳුනට පැවසුවේ මෙසේයි.
පෙර පාසල් ගිය දවස හැම කෙනකුටම හැමදාම මතකයේ තිබෙන විශේෂ දවසක්. ඒත් මටනම් පෙර පාසල් ගිය එක ඒ තරම්ම සුවිශේෂි වුණේ නෑ. ඒකට හේතුව ගෙදරට ආසන්නයේම පෙර පාසල තිබුණ නිසයි. ඉතින් මට ගෙදර ඉන්නවා වගේ හැඟීමක් තමයි පෙර පාසලේදීත් දැණුනේ.
මුලින්ම පාසල් ගිය දවසනම් කවදාවත් අමතක වන්නෙ නෑ. නුගේගොඩ අනුලා විද්‍යාලයට මුලින්ම ගිය දවසෙ අඬපු තරමක්. අම්මා නෑ කියලා ඇඬුව හැටි අදත් මතක් වෙනකොට ලැජ්ජයි. යාළුවෙක් ලේන්සුව දුන්නා කදුළු පිහදාගන්න. පස්සෙ කාලෙක එයා තමයි හොඳම යාළුවා වුණේ.
තට්ටු තුනක වහලයක් උඩ
තාත්තා විදේශ රටක නැවක සේවයකළ නිසා ඔහු වැඩිහරියක් අප සමග සිටියේ නෑ. අම්මයි මමයි ගෙදර හිටියේ. එතකොට මට අවුරුදු හතරක් විතර ඇති.
අපේ ගෙදර අල්ලපු ගෙදර ඉන්නවා යාළුවෙක්. එහෙ මම සෙල්ලම් කරන්න යනවා.
සිද්ධිය වු දවසෙ අපි දෙන්නා ඒ ගෙදර තට්ටු තුනක්. උඩම තට්ටුවේ වහලය උඩ එල්ලි එල්ලි යනවලු. කවුරුහරි ඒක දැකලා අම්මට කියලා. කොහොම හරි අම්මා මාව රවට්ටලා බිමට බස්සවාගත්තා. ගෙදර එක්කන් ගිහින් තාත්තත් ගෙදර නෑ, වැටුනනම් කාටද කියන්නේ කියමින් හොඳටම ගැහුවා. එදා තමයි ජීවිතේ වැඩිපුරම ගුටිකාපු දවස.
මුල්ම රංගනය
රඟපානවා කියන එක මට අලුත් දෙයක් නෙමෙයි. මොකද පොඩි කාලයේ ඉඳලම අම්මත් එක්ක රූපගතකිරීම්වලට යනවා. මට මුලින්ම රඟපාන්න ලැබුණේ මගේ අම්මාගේම දුවක් ලෙසයි. ඒ දරුවන්ගේ අම්මලා චිත්‍රපටයට. එය විකාශය වුණාට පස්සෙ පුංචි නංගිලා මල්ලිලාගෙන් ලියුම් ආවා. ඒ අතර තිබුණා කුරුලු පිහාටු ඇලවු ලියුමක්. ඒව දැක්කම මට හිතුණා රඟපෑම කොච්චර හොඳයිද? අම්මව විතරක් නොවෙයි දැන් මාවත් ගොඩක් අය දන්නවනේ ... මට හැමෝම ආදරෙයිනේ කියලා. ඒ ලියුම් අදටත් මගේ ළඟ සුරක්ෂිතව තිබෙනවා. ඒ සිතුවිල්ල තමයි මාව රංගන ශිල්පිනියක් කළේ.
බසයේදි හමු වු ප්‍රේමවන්තයා
එතකොට අපි පදිංචි වෙලා හිටියෙ මත්තෙගොඩ. මම මත්තෙගොඩ ඉඳන් නුගේගොඩට ඉස්කෝලෙ යන්නෙ ස්කූල් වෑන් එකෙන්. නමය දහය වසරවලදි විතර මගේ පස්සෙන් හරියට පිරිමි ළමයි ආවා. ඒ කාලෙ මට දිග කොන්ඩයකුත් තිබුණා. අමතර පන්ති තියෙන දාට තාත්තා එනවා. මොකද මම කවුරුහරි කතාකළත් බයයි. තනියම යනකොට කවුරුහරි බැලුවත් බයයි. ඒ නිසාම මාව ස්කූල් බස් එකට දැම්මා බය නැතිවෙන්න කියලා. ඊට පස්සෙ යාළුවො ආශ්‍රය කරන්න ගත්තට පස්සෙ බය ටික ටික ඇරුණා. දවසක් පන්ති ඇරිල බස්එකේ වාඩිවෙලා ඉන්නකොට පිරිමි ළමයෙක් ඇවිත් ළඟින් වාඩිවුණා. මම පාසල් නිළ ඇඳුමෙන් සිටය නිසා කවුරුහරි දකියි කියා බයත් එක්ක. වාඩිවෙලා කොල කෑල්ලක් දික්කරමින් මේක ගන්න call කරන්නලු. මම ගත්තෙ නෑ. නොගත්තොත් ගෙදරට එනවා කිව්වා. මම කිව්වා ඉතින් එනවා ඒක වැඩිය හොඳයි කියලා. ඒක තරහට කිව්වට මෙන්න මේ ළමය මගේ පස්සෙන්ම එනවා. මම බහින තැනින්ම බස් එකෙන් බැස්සා. මම දැක්කා අම්ම මම එනකන් පාරටවෙලා බලන් ඉන්නවා. කව්ද මේ කියල අම්මා ඇහුවා, මම පස්සෙන් එන කියනකොටම අම්ම මොකක් කියාගෙන ඒ ළමයගෙ ඇඟට කඩන් පැන්නා. ඒ ළමය එතන හිටපු අය පෙරළගෙන දුවපු හැටි මට අදත් මතකයි. ආපහු නම් කවදාවත් ආවෙ නෑ. මත්තෙගොඩ අය දැනුත් හිනාවෙනව ඒ කාලෙ තිසුරිගෙ පස්සෙන් මත්තෙගොඩ කොල්ලො ආපු තරමක් කියලා.
පළමු සම්මානය
සුදත් දේවප්‍රිය මහතාගේ උඩු ගං යාමය චිත්‍රපටයේ ඩිංගිරි කියන චරිතයට වසර 2005දි ජනාධිපති කුසලතා සම්මානය හිමිවුණා. එතකොට මම ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටි වසර. ඒ වනවිට මම දිගටම රඟපානවා කියන සිතුවිල්ලේ සිටියෙ නෑ. ඒත් ලැබුණු සම්මානයත් එක්ක ඉගෙනුමට බාධාවක් නොවන පරිදි රංගනයේ යෙදෙනවා කියා සිතාගත්තා. මට මතකයි ඒ සම්මානය ගත්ත දවසෙ අම්මයි තාත්තයි සතුටු වුණු තරම.
පළමුවැනි විදෙස් සංචාරය
තාත්තා විදේශගතව සිටියත් මට කවදාවත් රටකට යන්න ලැබුණේ නෑ. ඒ ඉගෙනුමට බාධාවක් වෙයි කියලා. මගේ බලවත් ඉල්ලීමට අම්මත් එක්ක ස්ව්ට්සර්ලන්තයට ගියා මාස එකහමාරකට. එහිදී මුහුණ දුන් නව අත්දැකීම්වලට අද වගේ මතකයි. කවදාවත් අමතක වන්නෙ නෑ.
මාරක අනතුරක්
අපේ ගෙදරට අලුතෙන් ගත්ත කාර් එකෙන් අපි විනෝද චාරිකාවක් ගියා නුවරඑළියෙ. ආපහු එනවිට කාර් එක අනතුරකට ලක්වුණා. එ වෙලෙහි ඇති වු බිය අදටත් දැනෙනවා. අලුතෙන් කාර් එකක් ගත්තොත් හිතට එන්නෙ අර වෙච්ච අනතුරමයි. මම පුංචි කමට අඬපු තරම හොඳටම මතකයි.
පස්සෙ කාලයේදි ආපහු මරණ බිය දැනුනේ මහිංසා ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වුණු අවස්ථාවක. ගඟේ ගසාගෙන ගිහින් ඇල්ලට වැටෙන දර්ශනයක් රූගත කරන්නයි තිබුණේ.. තාත්තත් ගියා මාත් එක්ක එම ස්ථානයට. ගඟේ ගසාගෙන ගිහින් ඇල්ලට වැටෙනවාත් සමගම මාව ඇදලා ගන්න හිටියත් ගොඩට ගන්න බැරිව ඇල්ලට වැටෙන්නම ගියා. යන්තමට බේරුණේ සුපුන් අයියා සහ මේකප් කළ අයියා මාව ඇදලා බේරාගත් නිසයි. එදා මට මොනව වරි වුණානම් කියල දැනුත් බියක් දැනෙනවා.
හොඳම නිළිය වෙන්න වරම්
වයස අවුරුදු විසි හතරෙදි හොඳම නිළියට හිමි සම්මානය ගන්නවා කියන එක හීනයක්. ඒත් මම සුළඟ මත මොහොතක් ටෙලිනාට්‍යයට කළ රඟපෑම වෙනුවෙන් 2015දි හොඳම නිළිය සම්මානය ලබාගත්තා. මගේ ලොකු හීනයක් තිබුණා මේ ක්ෂේත්‍රයෙන් අයින් වෙන්න කලින් කවද හරි හොඳම නිළිය සම්මානය ලබාගන්නවා කියලා. ඒත් මේ තරම් අඩු වයසකදී ලැබෙයි කියලා හිතුවේ නෑ. මගේ අම්ම තාත්ත හැම තිස්සෙම කියන්නෙ කරන දේ හරියට කරන්න . චරිතෙට සාධාරණයක් ඉටුකරන්න කියන එක.. ඒ කියමන හැම විටම මම ආදර්ශයක් කරගන්නවා. බොරළුපාර ටෙලිනාට්‍යයයේ රඟපෑම වෙනුවෙනුත් සුමති සම්මාන උළෙලේදි හොඳම නිළියවන්නට ලැබුණේ ඒ නිසයි.