ඈත රන්වි­මන් ගීතය රිදී ජුබි­ලිය සම­රයි | සිළුමිණ

ඈත රන්වි­මන් ගීතය රිදී ජුබි­ලිය සම­රයි

 මේ ගීතය ලියනකොට මම පාසල් ශිෂ්‍යයෙක්

ප්‍රවීණ ගීත රචක ෂෙල්ටන් වීරරත්න

මෙරට ගීත ක්ෂේත්‍රයේ පුරා දශක පහක් ජනප්‍රියත්වය බිඳකුඳු අඩු නොවී පැවැති ගීතයක් පිළිබඳවයි මේ සටහන. අවුරුදු 50ක් සපිරෙමින් රිදී ජුබිලිය සමරන මේ ගීතය එදාට වඩා අද අපේ ගීත ලෝලී රසික රසිකාවන් වැළඳගෙන ඇත.

 

‘ඈත රන් විමන් දොරින්

පාට සේලයෙන් සැදී....//

සීත කඳු මුදුන් අතරින්

එබී බලනවා...

රෑට තරු දහස් ගණන්

ඈත සුරපුරෙන් එබී

නීල සීත ලෝහිත පෑ

ඈත දිලෙනවා...

මේ ලොවින් එහා සිටන්

ඈත ලෝකයෙන් ඇවිත්

අද රෑට අද රෑට...

අද රෑට දිලෙනවා...

ගීත රාවයෙන් සැලී

රෑට ආදරෙන් වෙලී

ඔබ කීව පෙම් කතා ඇසුරින්

ගීත මැවෙනවා...

 

මේ ගීතයේ පද රචකයා ප්‍රවීණ ගී පද රචකයකු වන ෂෙල්ටන් වීරරත්නය. ඔහු මෙම ගීතය රචනාකොට ඇත්තේ සැටේ දශකයේ අග භාගයේදී වන අතර ප්‍රථමයෙන් ම ගීතය පටිගත කොට ඇත්තේ 1967 අප්‍රේල් මාසයේදීය. එවකට ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ D මැදිරියේදී පටිගත කළ‍ මෙම ගීතය මුලින් ම ගායනා කර ඇත්තේ මූන්ස්ටෝන් සංගීත කණ්ඩායමය. මූන්ස්ටෝන් සංගීත කණ්ඩායම ආරම්භ වී ඇත්තේ ද 1967 දීය. එසේ නම් මේ ගීතය ඔවුන්ගේ ප්‍රථම ගී එකතුව සඳහා එක් කර ගත්තක් වී ඇත. මූන්ස්ටෝන් සංගීත කණ්ඩායමේ එවකට ආරම්භක සාමාජිකයින් 04 දෙනෙකි. ඒ ක්ලැරන්ස් විජේවර්ධන, ඇනස්ලි මාලේවන, මොන්ටි වත්තලෙදනිය හා ධම්මික විජේසිංහය. ආරම්භයෙන් මාස කීපයකට පසු තවත් සාමාජිකයින් දෙදෙනෙකු ඊට ඇතුළත් විය. ඒ ෆෙරෝස් ඇස්මූන් සහ උපාලි උබේසේකරය.

ෂෙල්ටන් ඈත රන් විමන් ගීතය ලියා දී ඇත්තේ මූන්ස්ටෝන් කණ්ඩායමේ ක්ලැරන්ස් විජේවර්ධනය. එවකට එහි මුඛ්‍ය ගායකයා වී ඇත්තේ ඇනස්ලි මාලේවන වුවත් මේ ගීතය ගායනා කර ඇත්තේ ක්ලැරන්ස් විසින් වීම විශේෂත්වයකි. අනෙක් සුවිශේෂ ම කරුණ වන්නේ කණ්ඩායම් සංගීත ඉතිහාසයේ ප්‍රථම වතාවට ගීතයක් සඳහා සිතාරය යොදාගෙන ඇත්තේ මෙම ගීතය වෙනුවෙනි. මූන්ස්ටෝන් කණ්ඩායම අලුතින් එක්වූ උපාලි උබේසේකර මෙහි සිතාර් වාදකයා වී ඇත. ගීතයේ අන්තර් වාදනය සඳහා ගිටාර් වෙනුවට සිතාර් භාවිතා කර ඇත. එකල වෙළෙඳ සේවයේ බොහෝ ඉංග්‍රීසි වැඩසටහන් සඳහා මෙම ගීතය ප්‍රචාරය වී ඇති අතර ගුවන් විදුලි ශ්‍රාවකයන් අතර විශාල ජනප්‍රියත්වයක් දිනාගෙන ඇත. ඉන් වසර 10 ට පමණ පසු එනම් 1977 දී ක්ලැරන්ස් විසින් මෙම ගීතය ප්‍රියා සූරියසේනට ගායනය කරන්නට ලබා දී ඇත.

“ඇත්තට ම ක්ලැරන්ස් මේ ගීතය ප්‍රියාට දෙනකොට මගෙන් ඇහුවා. මගේ වැඩි කැමැත්තක් තිබුණේ නෑ. ඒකට හේතුව මේක පොප් ගීත ආරේ එකක් නිසා මට හිතුණා ප්‍රියා ගේ හඬ මේකට නොගැළපෙයි කියලා. ප්‍රියා මේක 1977 දි gemtone OMF 1034 කියන තැටියට තැටිගත කළා. මේ ගීතයට ඉතාම විශාල රසික ආදරයක් ලැබෙන්න පටන් ගත්තේ 2001 වසරේදි. සිරස සුපර් ස්ටාර් ගායක අපිත් බණ්ඩාර මේ ගීතය ගායනා කළාට පස්සේ. ගීතයේ ඉතිහාසය ගැන මතක් වෙත්දි ‍‍මේක ලියන‍කොට මම පාසල් ශිෂ්‍යයෙක්. මගේ පළමු ගීතය. මම ක්ලැරන්ස් සහ යාළුවෝ කීපදෙනෙක් රුවන්වැල්ලේ තවත් යාළුවකුගේ ගෙදර ගිහින් ඉන්නකොට තමයි මේ ගීතය ලියැවුණේ.”

ඔහු ලියූ පළමු ගීතයම වසර 50ක් සපිරෙද්දී ඔහුගේ ගීත ලැයිස්තුව තුළ මෙරට ගීත ශ්‍රාවකයින් ගේ හදවත් පැහැර ගත් තවත් අපූරු ගීත රැසක් වන බව ඔබ නොදන්නවා වන්නට පුළුවන. සිය ගම්පළාත වූ රත්නපුරයේ අධ්‍යාපනය ලබන අවදියේ පටන් ම කලාවට සාහිත්‍යයට පෙම්බැඳි ෂෙල්ටන් මුලින් හොඳ කවිකාරයෙකි. ඉන්පසු ඔහු ගීත රචනා කලාවට එක් වී ඇත. සඳ එක් දිනක් (ක්ලැරන්ස්) නිසංසලේ අපි හමුවෙලා (ඉන්ද්‍රානි පෙරේරා) මා හා සෙනෙහස පාලා (මිල්ටන් මල්ලවාරච්චි) බාලේ පුංචි කාලේ වගේ (ග්‍රේෂන් ආනන්ද) පෙම්වන්තයින් සේ සිනාසේ (ජගත් වික්‍රමසිංහ) මේ කතාව මංමුලාව (චන්ද්‍රලේඛා) ඇතුළු ජනප්‍රිය ගී රැසක හිමිකරු වන්නේ ද ෂෙල්ටන්ය. 

Comments