
මාධ්‍යවේදිනී ප්‍රියංකා කුරුගල සිය අත්දැකුම් ඔස්සේ සොයා ගිය ගවේෂණය ‘කොටි සටනින් ඔබ්බට’ කෘතිය 08 වැනිදා ප.ව. 3.00ට පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී ජනගත වේ. දශක තුනක් පුරා පැවැති ත්‍රස්තවාදී හිංසනයෙන් අනතුරුව හිස ඔසවන්නට වැර දරන මෙරට බහුතර පොදු මහජනතාව මුහුණ දෙන සමාජීය අර්බුද පිළිබඳ සියුම් දැක්මක් ඔස්සේ සිතන්නට හරවත් යමක් ඉදිරිපත් කරන්නට මෙහි කතුවරිය තියුණු උත්සාහ දරා ඇත. මෙහිලා ඇය පවසන්නට උත්සාහ දරා ඇත්තේ බහුතරය ඍජු ව පවසන්නට බෙහෙවින් මැළිකම් දක්වන ජාතිකත්ත්වය ඇති කර ගැනීමෙහිලා මෙරට සිංහල බුදුනුවන් මුහුණ දෙන අප්‍රසන්න වාතාවරණය පිළිබඳ කතාවෙන් බිඳකි. එලෙස ම දුගී දුප්පත් භාවය කරණ කොට සිය සංස්කෘතික අනන්‍යතාවෙන් පන්නා දැමීමට නියමු වූ හින්දුන්ගේ අසරණකම පිළිබඳ කතාවෙන් අංශුවකි. වාර්ගික චින්තනයට නොපිවිස අන්‍යයන්ගේ නිදහසට අංශු මාත්‍ර බාධාවක් නොකොට ජීවිතය ජීවත් කරවන මුස්ලිම් කතෝලික ඈ අනෙකුත් වාර්ගිකයන්ගේ ජීවිත හමුවේ එල්ල වන අසාධාරණ බලපෑම් පිළිබඳ විවේචනයකි.
මේ පණිවිඩය ඉදිරිපත් කිරීම සඳහා ප්‍රියංකා කුරුගල සිය දෙස් - විදෙස් අත්දැකුම් හා පොත පතින් කරන ලද හැදෑරීම් මහෝපකාරී කරගෙන තිබේ. වෙසෙසින් ඒකීය රටක විසීම බෙහෙවින් ගරු කරන එමෙන් ම අපේක්ෂා කරන දෙමළ හින්දුන් කේන්ද්‍ර කරගනිමින් යුරෝපයේ දී කරුණු සොයා බැලීමට ඇය ලද අවස්ථාව මෙවන් ගවේෂණයක් කරා මෙහෙයවා තිබේ.
ගත වූ යුගයේ සිදු කරන්නට ගිය කුමන අන්දමේ හෝ බෙදීම්වලට එරෙහිව හඬ අවදි කළ විද්වතුන්, සංවිධාන නායකයන් හා ඇතැම් දේශපාලන නායකයන් සමඟ සාකච්ඡා කරමින් කතුවරිය සිය නිබන්ධයට පර්යේෂණාත්මක බවක් එක්කොට ඇත.