වැළලුණු ගුරුකුලයක නටබුන් ගොඩගැසීම | සිළුමිණ

වැළලුණු ගුරුකුලයක නටබුන් ගොඩගැසීම

2016 දෙසැම්බර් 04 වැනිදා සිළුමිණ සත්මඬල ශාස්ත්‍රීය අතිරේකය වෙනුවෙන් සුමුදු චතුරාණි ජයවර්ධන සමඟ පිළිසඳරක යෙදුණ විමල් ජී. බලගල්ලේ මහාචාර්යතුමා “පේරාදෙණිය ගුරු කුලයේ වැරැද්දක් දකින්ට නැතැයි” කළ ප්‍රකාශය ශාස්ත්‍රීය විවාදයකට හේතු වී තිබේ’ දෙමසකට ආසන්න කාලයක් තුළ සත්මඬලෙහි පැවති එම සංවාදයට මුල පිරුණේ බන්දුපාල ගුරුගේ විසින් “කාම සංස්කෘතියකට අත වැනූ පේරාදෙණි ගුරුකුලය” යන හිසින් ලියන ලද දීර්ඝ ලිපිය මුල් කොට ගෙනය. එක්දහස් නවසිය පනස් වැනි දශකයේ මැද භාගයේ සිට හැටවැනි දශකයේ අග භාගය දක්වා මතු වී වැඩෙමින් පැවති පේරාදෙණි සාහිත්‍ය ගුරුකුලය පිළිබඳව එසමයේ නිහඬව සිටි මහාචාර්ය බලගල්ලේ සූරීන් ඉන් වසර පනහකට පමණ පසුව වැළලී ගිය ගුරු කුලයක් ගැන මතකයක් ඉදිරිපත් කිරීම කාලෝචිත නොවූවකැයි සිතමි.

සංවාදයකට ඉඩකඩ සලසමින් බන්දුපාල ගුරුගේ සත්මඬලට එවූ ලිපියේ සිරස වූ කලී පේරාදෙණි ගුරු කුලයේ නිසරු වෑයම අනාවරණය කිරීමක් වැන්න. කාම සංස්කෘතියකට අත වැනූ නමුදු එය සඵල කර ගැනීමට නොහැකි වූයේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ඉදිරිපත් වීම හේතු කොට ගෙනය. ඔහු 1969 දී පේරාදෙණිය සාහිත්‍යය නිර්දය විවේචනයකට හසු කරමින් ලියා පළ කළ සිංහල නවකතාව හා ජපන් කාම කතා හෙවණැල්ල කෘතිය එම ගුරු කුලය පුපුරවා හැරීමට හේතු වූ සාධකය බව බන්දුපාල ගුරුගේ සිය ලිපිය මගින් අනාවරණය කොට තිබිණි. වික්‍රමසිංහයන්ගේ එකී දැවැන්ත කැපකිරීම් නොවන්නට මෙරට කාම සාහිත්‍යයක් බිහි විමට ඉඩ තිබූ බවත් එම ඛේදවාචකයෙන් රට නිදහස් කරදීම සම්බන්ධයෙන් අප වික්‍රමසිංහයන්ට ණයගැති බවත් ගුරුගේ එම ලිපිය අවසන දක්වා තිබිණි.

වික්‍රමසිංහගේ “සිංහල නවකතාව හා ජපන් කාම කථා හෙවණැල්ල” කෘතිය පිටවී නොබෝ දිනයකදීම ඒ පිළිබඳව මුල්ම විවේචනය ලංකාදීප පුවත්පතට සැපයුයේ මා යැයි සිතමි. ඒ වන විට මම වික්‍රමසිංහයන් පෞද්ගලිකව හඳුනාගෙන නොසිටියෙමි. අපට ආවේණික නොවන ආගන්තුක දෘෂ්ටාන්තයන් වෙන්කොට හඳුනා ගැනීමේ සහජ ශක්තියක් අපගේ සංස්කෘතිය විසින් අපවෙත උරුම කොට දී ඇති නිසා ක්ෂණ හංගුර කාම සාහිත්‍යයක් මේ රටේ මුල් බැස ගැනීමට අවකාශ නොමැති බව එම ලිපියෙන් මම පැහැදිලි කළෙමි. වික්‍රමසිංහයන්ගේ “කාම හෙවණැල්ලේ නන්දෙඩවිල්ල” යන හිසින් යුතුව මහාචාර්ය එදිරීවිර සරච්චන්ද්‍රයන් ලියූ විවේචනාත්මක ලිපිය රිවිරැස පුවත්පතේ පළ වූයේ ඉන් අනතුරුවය. සිරි ගුණසිංහ, ආරිය රාජකරුණා යන මහාචාර්යවරුන් හා ආචාර්ය ගුණදාස අමරසේකර ද එම සංවාදයට එක් වී සිටියහ. ටික දිනක් ඇවෑමෙන් කාමකතා පිළිබඳ ඝෝෂාව යටපත් වී ගිය අතර පේරාදෙණිය ගුරුකුලයද කෙමෙන් අභාවයට ගියේය’

එනමුදු පේරාදෙණිය ගුරු කුලයේ බිඳ වැටීම ගැන සුසුම් හෙළන්නා වූද කාම සංස්කෘතියකට අත වනන්නා වූ ද කිහිප දෙනකු තවම සිටින බව බන්දුපාල ගුරුගේ ගේ ලිපියට පිළිතුරු සපයමින් ලිපි කිහිපයක් සත්මඬල ට එවා තිබීමෙන් පෙනී යයි. ඒ හැම ලිපියක්ම මාර්ටින් වික්‍රමසිංහයන්ට ගැරහීමටත් සරච්චන්ද්‍රයන් උසස් කොට වර්ණනා කිරීමටත් තැත් දරා තිබෙනු දැක්ක හැකි විය. වික්‍රමසිංහයන් හා සරච්චන්ද්‍රයන් අතර සාහිත්‍යමය මතභේද තිබුණු නමුදු ජිවිතාවසානය දක්වා ඒ දෙදෙන අතර පැවති සුහද සබඳතාව පිළිබඳ ලිඛිත සාධක මේ ලිපියේ අන් තැනක කියැවෙයි.

බන්දුපාල ගුරුගේට පිළිතුරු සපයන ගාමිණි සුමනසේකර සරච්චන්ද්‍රයන් පිළිබඳ සිය ගුරු බැතිය පෙරදැරි කොට ගෙන අභිවාදනයක් කරමින් සරච්චන්ද්‍රයන් ක්ෂණ භංගුර අපරිණත කාම සාහිත්‍යයක් ගොඩ නැංවූ බවට කරන සාහසික චෝදනාව ඉඳුරා ප්‍රතික්ෂේප කළ යුතු යැයි කියයි. එසේ නම් එතුමා ගොඩ නැංවුයේ පරිණත කාම සාහිත්‍යක්ද යන්න ගාමිණි විසින් හෙළි කළ යුතුව තිබිණ.

සරච්චන්ද්‍ර කාම සාහිත්‍යයක් ගොඩ නැංවූ බව වික්‍රමසිංහයන්ගේ කෘතියෙහි හෝ බන්දුපාල ගුරුගේ ගේ ලිපියෙහි හෝ කිසිදු තැනක නොකියවේ. ඔවුන් කීවේ ක්ෂණ හංගුර කාම කතා සරච්චන්ද්‍රයන් තරුණ ලේඛක පරපුරට හඳුන්වා දී ඔවුන් විසින් ලියන ලද අපරිණත නවකථා අගය කළ බවය. ගාමිණි සුමනසේකරට වඩා සරච්චන්ද්‍රයන් ඉතා ළගින් ඇසුරු කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමකාලීන මහාචාර්යවරයෙකු වූ පී. ඊ. ඊ. පී. ප්‍රනාන්දු මහතා 1969 දී පළ කළ අදහසක් මෙහි ලා දැක්වීම මැනවැයි සිතමි.

මා සේවය කරන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මගේ මිත්‍ර ඊ. ආර්.සරච්චන්ද්‍ර සහ ඔහුගේ කණ්ඩායම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගෞරවයට හානි වන ආකාරයෙන් මේ කරගෙන යන සංස්කෘතික දූෂණය නිසා මා අන්තිමට කල්පනා කළා මේ අසංස්කෘතික ව්‍යාපෘතිය මැඩලිය හැකි බලවේගයක් සමග එකතු විය යුතුය කියා.

පී. ඊ. ඊ. පී. ප්‍රනාන්දු මහාචාර්යවරයා මේ අදහස පළ කළ 1969 වර්ෂය වන විට පේරාදෙණිය සාහිත්‍ය කුලය විසින් මෙරට සිදු කොට තිබුණු සංස්කෘතික සෝදාපාළුවේ තරම කෙබඳු වීද යනු සිතාගත හැකිය. ගාමිණි සුමනසේකර සඳහන් කරන පෙරදිග සංස්කෘතියේ අක්මුල් සොයා යමින් දුෂ්කර ක්‍රියා කළ සරච්චන්ද්‍ර මහාචාර්යවරයාගේ ක්‍රියා කලාපය ඔහු ළඟින් ඇසුරු කළ වෙනත් මහාචාර්යවරයෙකු හෙළදරව් කළේ ඉහත ප්‍රකාශයෙනි. මාර්ටින් වික්‍රමසිංහයන් සිය සිංහල නවකතාව හා ජපන් කාම කතා හෙවණැල්ල රචනා කළේ එබඳු පසුබිමක් යටතේය.

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ශාස්ත්‍රීය මෙහෙවර අවතක්සේරුවට භාජන කරමින් බන්දුපාල ගුරුගේට පිළිතුරු සපයන ගාමිණි සුමනසේකර නිර්මල සංස්කෘතිය යනු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ යෙදුමකි, එහෙත් එබඳු දෙයක් තිබේද? යනුවෙන් විමසයි. මෙයින් පෙනී යන්නේ ඔහු වික්‍රමසිංහයන්ගේ ග්‍රන්ථ තැන්පත් නුවණින් යුතුව කියවා නැති බවයි. නිර්මල සංස්කෘතියක් ගැන මාර්ටින් වික්‍රමසිංහ කිසිදු පොතපතක සඳහන් කොට නැත. වික්‍රමසිංහයන්ගේ දොස් සොයන සමහර විචාරකයන් ඔහුගේ කියුම්වල කාව්‍යමය වූත් ගාම්භීර වූ අරුත් තේරුම් ගත නොහැකිව වැරදි අරුත් වියකන් ඉදිරිපත් කරති. සිංහල සංස්කෘතිය අරභයා ග්‍රන්ථ රාශියකින් අරුත් විවරණය කරන මාර්ටින් වික්‍රමසිංහ “සිංහල සංස්කෘතිය හා බුදු දහම” මැයෙන් ලියූ ලිපියක මෙසේ දක්වති.

“ළහිරු රැසින් බැබලෙන නිර්මල ජලය ඇති නොගැඹුරු ජලාශයක් සේ සිංහල සංස්කෘතිය අව්‍යාජත්වයෙන් හා සරල සුන්දරත්වයෙන් නෙතොරව පැවැත්තේ බුදු සමයත් රටේ කුඩා බවත් නිසාය.”

(සිංහල ලකුණ - 1947)

මෙහි නිර්මල සංස්කෘතියක් ගැන කියැවෙන්නේද? වික්‍රමසිංහයන්ගේ තවත් කියුමක් මේය:

“ලොව කිසිම ජාතියකගේ සභ්‍යත්වය හෝ සංස්කෘතිය හෝ නිර්මල නොවේත අසංකීර්ණද නොවේ. අමිශ්‍ර මනුෂ්‍ය වර්ගයක් ලොව කිසිම රටකින් නොලැබිය හැක්කා සේ අසංකීර්ණ සංස්කෘතියක් ද නොලැබිය හැකිය.”

(මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය - 1975)

සිය ගුරුබැතිය පෙරට ගන්නා ගාමිණි සුමනසේකර තම ගුරුතුමාගේ ගෞරවයට ද හානිවන පරිද්දෙන් ශාස්ත්‍රීය සාහිත්‍ය සංවාදයකට තරම් නොවන යෙදුම් සිය ලිපියෙහි පළින් පළ දක්වා තිබේ. “සාහිත්‍ය මෙහෙවරට උඩින්පැන නගින ගද්‍ය ඝෝෂාවක්”, “කාම උත්තේජනයක් ලබන මුග්ධයෝ” ,“සරච්චන්ද්‍රයන්ට ගල් ගසා තම මුග්ධ භාවය ප්‍රදර්ශනය කිරීම” යනු එබඳු යෙදුම් කිහිපයකි’

අප භාෂා සංස්කෘතික සම්ප්‍රදායට පිටුපා වෙනම සාහිත්‍ය ගුරු කුලයක් ගොඩනගා ගැනීමෙන් සිදුවන අනර්ථය ගැන පහදා දෙමින් 1957 කාලයේ සිටම මාර්ටින් වික්‍රමසිංහ සරච්චන්ද්‍ර ඇතුළු පිරිසට උපදෙස් දෙන්ට පටන් ගත්තේ පියකු තම දරුවන්ට යහමඟ කියා දෙන්නකු පරිද්දෙනි. ඊට නිදසුන් 1956 න් පසු ඔහු විසින් ලියන ලද විචාර ග්‍රන්ථ විමසන විට කෙතෙකුත් හමුවෙයි. කොළඹ යුගයේ කවි සමයට අභියෝග එල්ල කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිරි ගුනසිංහ, ගුණදාස අමරසේකර මුල්ව නිසඳැස් හා නිදහස් කවි ව්‍යාපාරය ආරම්භ කළ අවධියේ වික්‍රමසිංහයන් එම කවි මඟෙහි දුබලතා පෙන්වා දුන්නේ එම කවීන්ගේ ශක්තිය නිවැරදි මඟට යොමු කරන අටියෙනි. 1957 දී පළ කළ “නව පද්‍ය සිංහලය” නම් විචාර කෘතියෙහි ලා දැක්වූ පහත සඳහන් කියුම් ඊට නිදසුන් වෙයි.

“මා ගුණදාස අමරසේකරගේ ඇතැම් පද්‍යයන් දෝෂ දර්ශනයට භාජන කරන්නේ ඔහුගේ ශක්තිය කෙමෙන් වැඩෙනු දක්න ආසාවෙනි.”

“ගුනසිංහ තම කාව්‍යයෙහි (මස් ලේ නැති ඇට) මුල සිට අග දක්වා ඇති පද්‍යාවලින්ගෙන් බුද්ධිය, උගත්කම, පණ්ඩිතකම, ශිෂ්ටාචාරය, අතීතය, ඉතිහාසය, පුරා වස්තු ආදී සියල්ලටම අවඥා කරයි. බටහිර චින්තකයන් විසින් බැහැර කරන ලද කවි සමයක් හා මතයක් ගුරු කොට ගැනීම නිසා ගුනසිංහ තම ශක්තිය නොමඟ යවයි.

තමන් පේරාදෙණි සාහිත්‍ය කුලය විවේචනය කරන්නේ ඔවුන්ගේ දියුණුව ඉතසිතින් අපේක්ෂා කරන නිසා බව අනවරතයෙන් සඳහන් කළ වික්‍රමසිංහයෝ ඔවුන් තම මතයට එරෙහිව දැඩි දෝෂාරෝපණ එල්ල කරන විට මෙසේද පැවසූහ:

“විවේචනය, කවර ලේඛකයකුගේ වුවද සිත් වේදනාවට හේතු වෙයි.බොරු මානය, ඊර්ෂ්‍යාව හා ද්වේශය ද මැඩ ගැනීමට ශක්තිය ඇති ලේඛකයා කෝපයෙන් තොරව විවේචනය ඉවසයි.”

(නව පද්‍ය සිංහලය 1957)

පේරාදෙණිය ගුරුකුල විචාරයෙහි අන්තරායකාර පක්ෂය එක්දහස් නවසිය හැටේ දශකයේ අග භාගය දක්වා ලියා පළ කළ හැම විචාර ග්‍රන්ථයකින්ම වික්‍රමසිංහයෝ පෙන්වා දුන්හ. “රසවාදය හා බෞද්ධ කාව්‍යය” 1961, “සිංහල විචාර මඟ” 1964, “නවකථාංග හා විරාගය” 1965, “ජාතක කතා විමසුම” 1968, යනාදී ග්‍රන්ථයන්හි ලා ඔහු විශේෂයෙන් සඳහන් කළේ විශ්වවිද්‍යාලයෙහි ඇදුරන් හොඳ කවි කතා හා පැරණි සිංහල කතා ද ස්වාධීනව විභාග කොට බලා එහි සන්දර්භයෙන් නිගමනවලට එලඹ ඊට අනුරූප වන පරදි විවේචන විධි සකස් කළ යුතු බවයි. එසේ නොකළ හොත් තරුණ ලේඛකයන් නොමඟ යන බව ඔහු පෙන්වා දුන්නේය.

“පේරාදෙණිය ගුරුකුලය අති සරල ප්‍රවේශයකින් විවේචනය කරන්න එපා” යයි බන්දුපාල ගුරුගේට පිළිතුරු ලියන චින්තක රණසිංහ, වික්‍රමසිංහයන්ගේ “සිංහල නවකථාව හා ජපන් කාම කථා හෙවණැල්ල” හොඳින් කියවා අධ්‍යයනය කොට නැතැයි සිතමි. එම ග්‍රන්ථය වූ කලී පේරාදෙණිය ගුරුකුල සම්ප්‍රදාය, ගැඹුරින් විචක්ෂණ ලෙස විවේචනය කළ ග්‍රන්ථයකි. සරච්චන්ද්‍රයන් උසස් ලෙස වර්ණනා කොට ලේඛකයන්ට හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හඳුන්වා දුන් යළි උපන්නෙමි. “පරාජිතයෝ” “හෙවණැලි ඇද මිනිස්සු” “අප්‍රසන්න කථාවක්” ආදී ග්‍රන්ථ බුදු සමයට හා බෞද්ධ සංස්කෘතියට සරදම් කරන නවකතාය. එම කතාවල කියැවෙන ස්ත්‍රිපුරුෂ සම්භෝග අවස්ථා හා සමලිංගික කාමාස්වාද වර්ණනා ඇඟ ලොමු ඩැහැගන්වන සුලුය. මේ පිළිබඳ සවිස්තර තොරතුරු වික්‍රමසිංහයන්ගේ විචාර ග්‍රන්ථයෙහි දැක්වෙයි. චින්තක රණසිංහ පවසන අන්දමට එකී සිංහල සාහිත්‍යයේ ආරම්භක ප්‍රබල පියවර ගන්නා ලද්දේ සරච්චන්ද්‍ර ප්‍රමුඛ පිරිස විසිනි. එය ලාංකික ශිෂ්ටාචාරය අත්පත් කර ගැනීමේ ප්‍රබුද්ධතම ව්‍යාපාරය ලෙස ඔහු දකියි.

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ප්‍රගතිශීලි යුගයක් මෙන්ම ප්‍රතිගාමි යුගයක් ද තිබෙන බව චින්තක රණසිංහ කියයි. ඔහුට අනුව වික්‍රමසිංහයන්ගේ පරිහානි යුගය නම් පේරාදෙණිය සමග වූ විවේචනය ලොඩනැඟුණු යුගයයි. එනම් කාලවකවානු අනුව 1956 සිට 1976 දක්වා වූ විසි අවුරුදු කාල පරිච්ඡේදයයි.

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ විශිෂ්ටතම නවකථාව වන විරාගය ඇතුළු විචාරාත්මක හා දාර්ශනික ග්‍රන්ථ 28ක් ලියා පළ කොට ඇත්තේ එම විසි අවුරුදු කාලය තුළය. “රසවාදය හා බෞද්ධ කාව්‍යය” “භවකර්ම විකාශය” “පරිණාමවාදය හා බෞද්ධ විඥානවාදය” “බෞද්ධ දර්ශනය හා මාර්ගය” “සිංහල විචාර මඟ” “සම්ප්‍රදාය හා විචාරය” “මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය” ඉන් කිහිපයකි. ඉංගිරිසි ග්‍රන්ථ පහක්ද එම කාලයට ඇතුළත්ය. චින්තක රණසිංහගේ අඳ බාල විමසුමට මේ වටිනා ග්‍රන්ථ හසු වී නැත්තේ ඔහුගේ හා ඔහුගෙන් සිප්සතර හදාරන අයගේ අවසනාවටය. ඊට එහා දෙයක් ඔහුගේ ලිපිය ගැන කීමට නැත.

යමකු පේරාදෙණි ගුරුකුලයට අවමන් කරන්නේ නම් එය ඔහුගේ චින්තනයේ දුබලතාවක් ලෙසින් දකින රෝහණ වංශතිලකගේ සරච්චන්ද්‍රාභිවාදන ලිපිය පුරා විස්තර කර ඇත්තේ එම යුගයේ ලියැවුණු කෘති හා ලේඛකයන් පිළිබඳ විස්තරයකි. විරාගය නවකතාවේ නිරූපිත අරවින්ද, පරාජිත චරිතයක් ලෙස තවමත් දකින වංශතිලකගේ යල්පිනු මත පුනරුච්චාරණය විවේචනය කිරිම කාලය හා ශ්‍රමය අපතේ යැවීමක් යයි සිතමි.

කිසිදු ගුරු කුලයකට නොබැඳි නිදහස් ලේඛකයකු ලෙස හැත්තෑ වසරක් පුරා සිංහල භාෂා සාහිත්‍යයේ දියුණුව උදෙසා මාර්ටින් වික්‍රමසිංහයන් කළ මහ මෙහෙවර අවප්‍රමාණ කොට හෙළා දකින ඉහත කී විචාරකයන්ට දිය යුතු පිළිතුරු, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ කියුම් වලින්ම හෙළි කර දීම මැනවැයි සිතමි.

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ඇවෑමෙන් අවුරුදු නවයක් ගෙවුණු 1985 වසරේදී සරච්චන්ද්‍රයන් ලියා පළ කළ “පිං ඇති සරසවි වරමක් දෙන්නේ” කෘතියෙහි වික්‍රමසිංහයන් ගැන මෙසේ සඳහන් කොට ඇත.

“වික්‍රමසිංහ මහතා සමඟ ආශ්‍රය මගේ ඥාන පථය පුළුල් කිරීමට හේතු විය. නිර්මාණ කුසලතාව මෙන්ම ඔහුට බහුශ්‍රැතය ද තිබුණි. මානව විද්‍යාව කෙරෙහි මගේ කුතූහලය ඉපදීමට හේතු වූයේ ඔහු සමඟ කතාබහ කිරීමෙනුත් ඔහුගේ පුස්තකාලයෙහි ඒ පිළිබඳව තුබු පොත් කියවීමෙනුත්ය. රුසියානු සාහිත්‍යයේ දොරටුව ද මට හැර දුන්නේ ඔහුය.”

(පිං ඇති සරසවි වරමක් දෙන්නේ - 95 පිටුව)

“ඔහුගේ බහුශ්‍රැත භාවය ගැන මා පුදුම වූ අතර නොයෙකුත් අලුත් පොත්පත් ගැන මට දැන ගන්ට ලැබුණේ ඔහුගෙන් බවද සඳහන් කරනු කැමැත්තෙමි. හැම විෂයයක් ගැනම මෑත සොයා ගන්නා ලද තතු හා මෑත ඉදිරිපත් කරන ලද මතවාද ඔහු මට වඩා මැනවින් දැන සිටියේය. ඔහු සමග කතා කරමින් සිට මා ගෙදර යන්නේ මා කෙතරම් අල්පශ්‍රැතයෙක් දැයි යන හැඟීමෙන් යුතුවය.”

(මාර්ටින් වික්‍රමසිංහ - කොග්ගල මහා ප්‍රාඥයා)

මහාචාර්ය සරච්චන්ද්‍ර 1974 දී ප්‍රංසයේ තානාපති වශයෙන් පත්වී යෑමට පෙර මාර්ටින් වික්‍රමසිංහ මහතාගෙන් සමු ගැනීමට නාවල නිවසට පැමිණි දිනය මට මතකය. එසමයේ මාර්ටින් වික්‍රමසිංහයන් “මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය” ග්‍රන්ථය ලියමින් සිටියේය.සිංහල සාහිත්‍යය අරභයා තමන් තුළ පෙර පැවති මතය වෙනස් වූයේ වික්‍රමසිංහ මහතාගේ විවේචන නිසා බව සරච්චන්ද්‍රයන් එම හමුවේදී පැවසීය.

වැළලී ගිය පේරාදෙණිය ගුරුකුලයක් බදාගෙන තවමත් මොරදෙමින් වික්‍රමසිංහයන්ගේ සාහිත්‍ය මෙහෙවර ගරහන අනුකාරකයන්ට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ පූර්වෝක්ත කියුම් හොඳ පිළිතුරක් වේ යයි සිතමි. වික්‍රමසිංහයන් මිය යාමට මාස දෙකකට පෙර 1976.05.21 වැනි දින සරච්චන්ද්‍රයන් විසින් ප්‍රංසයේ සිට එවන ලද ලිපියක් වික්‍රමසිංහ ලේඛනාගාරයේ ඇත.

එහි අවසන දැක්වුණු සඳහනකින් මේ ලිපිය අවසන් කරමි. එය මේය.

“ඔබගේ උසස් සාහිත්‍යය සේවයට රටෙන් හිමිවිය යුතු සියලුම ගෞරවය ඔබට හිමිය. ලලිතා, කිසා ගෝතමි සහ යසෝදරා මා හා එක්ව සුබ පැතුම් එක් කරති.” මීට හිතවත් සරච්චන්ද්‍ර

Comments