
තුරුණු මඬල
විදෙස් සාහිත්‍ය පරිශීලනය කරන පාඨකයන්ට පරිවර්තන මෙන් ම අනුවර්තන ද හමු වෙනවා. පරිවර්තන හා අනුවර්තන පිළිබඳ විද්‍යාත්මක අර්ථකථනය කුමක් ද?
පරිවර්තනයකදී වෙනස් විය හැක්කේ භාෂාව පමණයි. ඒ කියන්නේ එක භාෂාවක පෙළක් තවත් භාෂාවකට ඒ අයුරින් ම හැරවීමයි. පරිවර්තනයේදී නම් ගම් වෙනස් වීම හෝ අදහස් අඩු වැඩි වීමක් වෙන්න බැහැ. අනුවර්තනයකදී සංස්කෘතිය වැනි විවිධ හේතු මත යම් යම් කොටස් සංශෝධනය විය හැකියි.පරිවර්තනයේදී අභියෝගයක් වන කොටස් අනුවර්තනයේදී තමන් අපේක්ෂිත අරමුණ වෙනුවෙන් සංශෝධනය කිරීමට හැකියාව තිබෙනවා. අපේ පරිවර්තන යයි කියනා බොහෝ කෘති අනුවර්තනයි.
ඔබගේ කෘති පවා?
නැහැ. මහේ කෘති ඕනෑ ම කෙනෙකුට මුල් කෘති සමඟ පරික්ෂා කළ හැකියි. මා මුල් කෘතියේ කිසිදු වාක්‍යයක් හෝ වෙනස් කර නැහැ. මා සිදුකරන්නේ පරිවර්තනයි.
සාහිත්‍යය මගින් පාඨකයාට හෘදයංගම ලෙස පණිවිඩ ලබා දීමක් සිදුවෙනවා. විදෙස් සංස්කෘතියක ඒ රටේ භාෂාවෙන් ලියවෙන සාහිත්‍යයක් ඒ ආකාරයෙන් ම වෙනත් බසකට පෙරළීමෙන් මුල් කතුවරයා පාඨකයා වෙත ගෙන ඒමට උත්සාහ කළ කාරණය ඒ ආකාරයෙන් ම ගෙන යා හැකි ද?
වාච්‍යාර්ථයෙන් ඒ ආකාරයෙන් ම බස පරිවර්තනය කරනවා යයි කීවත් එහිදී සිදුවන්නේ පදානුපදික පරිවර්තනය නොවෙයි. සාහිත්‍යයේදී පරිවර්තනය ඊට වෙනස්. සාහිත්‍ය පරිවර්තකයාගේ කාර්ය භාරය මුල් කෘතියේ රසය හැකි පමණ ඒ ආකාරයෙන් ම පවත්වා ගෙන අනෙක් බසකට හැරවීමයි. අපි පරිවර්තනය කරන්නේ මුල් කෘතියේ කතුවරයා ඇති කරන රසයයි. එය පදානුපදික පරිවර්තනය තුළ සිදුවන්නේ නැහැ.
විෂය කාරණා පරිවර්තනයට වඩා සාහිත්‍ය පරිවර්තනය වෙනස් වුවත් නවකතා වැනි සාහිත්‍ය තුළත් විද්‍යාව, ජනශ්‍රැතිය, ආගම, සංස්කෘතිය වැනි විවිධ විෂය කාරණා අන්තර්ගත වෙනවා. මෙවැනි විෂය කාරණා පරිවර්තනයේදී ඊට ආවේණික වදන් ම භාවිතා කළ යුතු වීම අභියෝගයක් නොවේද?
ඇත්තෙන් ම අභියෝගයක්. නන්දසිරි ජසෙන්තු මහතාගේ චරිතාපදානය මා පරිවර්තනය කරන විට ඒ කෘතිය තුළ ක්‍රීඩාව, ඉතිහාසය, භූගෝලය, අභ්‍යාවකාශ තාක්ෂණය, දේශපාලනය වැනි බොහෝ විෂය ගැන කතා කරනවා. එක් තැනක එතුමා සඳහන් කරනවා Chalk circle නාට්‍යයේ ඉංග්‍රීසි දෙබසක්. මා එය සෘජුව ම පරිවර්තනය කරන්නේ නෑ. මොකද හුණුවටයේ කතාව නමින් එය හෙන්රි ජයසේනයන් පරිවර්තනය කර තිබෙනවා. ඒ නිසා මා තෝරා ගන්නේ හෙන්රි ජයසේනයන්ගේ පරිවර්තිත නාට්‍යානුසාරී වාක්‍ය කණ්ඩයයි. මේ විදියට ඒ ඒ ස්ථානයන්හිදී අපට අදාළ ස්ථාන සොයා යන්නට සිදු වෙනවා.
ඒ වගේ ම සිරිල් සී පෙරේරා මහතා මහල්ලා සහ මහුද පරිවර්තනය කරන විට ධීවරයන් සමඟ කාලය ගත කරමින් ඒ සංස්කෘතිය අධ්‍යයනය කරනවා. මේවායින් අදහස් වෙන්නේ නෑ පිට රට නොගිය කෙනෙක්ට විදෙස් කෘතීයක් පරිවර්තනය කරන්න බැහැ කියලා.
අප වෙනත් රටවල පොත් කියවීමෙන් චිත්‍රපට බැලීමෙන් පවා අපට ඒ රටක තතු දැනගන්න ලැබෙනවා. එහෙත් ඔබ මතු කරන අධ්‍යයනය අත්‍යවශ්‍යයි.එක් එක් චරිත ඒ ඒ වටපිටාවන්හිදී කතා කරන භාෂාව පවා වෙනස්. රසයට බලපාන ඒ සියුම් තැන් පරිවර්තකයාට හසු විය යුතුයි.
සාහිත්‍ය කෘතියක් පරිවර්තනය කිරීම සඳහා තෝරාගැනීමේදී මුල් කෘතියේ කුමන කාරණා පිළිබඳවද අවධානය යොමු කළ යුතු වන්නේ?
මුලින් ම තමන් කියවා රසවිඳිය යුතුයි. ඒ කෘතිය කියවන විට ම මටනම් සිංහලෙන් මැවෙන්න ගන්නවා. එවිටයි මා එය පරිවර්තනය කිරීමට සිතන්නේ. ඒවගේ ම ඒ පරිවර්තනය මඟින් මේ රටේ සාහිත්‍ය ක්ෂේත්‍රයට සේවයක් විය යුතුයි. නව ලේඛකයකු හඳන්වා දීමක්, ප්‍රකට ලේඛකයකුගේ වෙනස් ආකාරයක විශිෂ්ට නිර්මාණයක් වුණත් තෝරා ගන්න පුළුවන්. එහෙත් දැන් බොහෝ වේලාවට සිදු වන්නේ ජනප්‍රිය වූ ලේඛකයකුගේ කෘතියක් පරිවර්තනය කිරීමේ වාණිජවාදී වැඩයි. එයින් නව පාඨක ප්‍රජාවක් බිහි වෙන්නේ නෑ. ඒ වගේ ම කෙනෙක් හිතන්න පුළුවන් සම්මානිත කෘතියක් පරිවර්තනයට ගැනීම නිතරම සුදුසුයි කියලා. එහෙත් මා විශ්වාස කරන්නේ ලංකාවේ වගේ ම ලෝකයේ වෙනත් රටවලත් සම්මාන පිළිබඳව විවිධ ගැටලු තිබෙනවා.නොබෙල් ත්‍යාගයට පවා දේශපාලනය ඇතුළත් වී තිබෙනවා. ඒ වගේ ම තමයි කෙනෙක් හිතනවා සංස්කෘතිය ඇතැම් කෘති පරිවර්තනයට බාධාවක් කියලා. මුල් කෘතිය නියෝජනය කරන සංස්කෘතිය අපේ සංස්කෘතිය සමඟ නොගැළපුණත් එය හොඳ කෘතියක් නම් පරිවර්තකයාට හැකියාව තිබිය යුතුයි උපක්‍රමශීලීව සූක්ෂ්ම ව එය පරිවර්තනය කිරීමට.
ඉංග්‍රීසි භාෂාව හැරුණුකොට ජර්මන්, ප්‍රංස, රුසියානු වැනි වෙනත් භාෂාවන්ගෙන් යුතු සාහිත්‍යයත් සිංහලට පරිවර්තනය වෙනවා. මේ බොහෝ කෘතින්හි ඉංග්‍රීසි පරිවර්තනයි සිංහලට පරිවර්තනය වන්නේ. මේ මුල් කෘති සෘජුව ම පරිවර්තනය නොවීම නිසා ඒවායේ රසයට හානියක් වනවා නොවේද?
සිරිල් සී. පෙරේරා වැන්නන් නිසා රුසියානු සාහිත්‍යය යම් තරමකට අප හඳුනා ගන්නවා. ඔහු වුණත් ඉංග්‍රීසි කෘතියයි සිංහලට පරිවර්තනය කළේ. එහෙත් ජපන්, චීන සාහිත්‍ය පිළිබඳ ඒ තරම්වත් දැනුම නෑ. දයා දිසානායකයන් පවසන්නේ එක් පරිවර්තනයකින් පරිවර්තන වැලක් සිදු කිරීම; පොල් කිරෙන් දිය කිරි හදනවා වගෙයි කියලයි. ඒ නිසා අපේ භාෂා ඥානයේ දුර්වලතාවක් තිබෙනවා.