
ලෙඩ ඇඳේ සිටි මහා කවියා
(මහා කවි පී. බී. අල්විස් පෙරේරා සූරීන්ගේ ජන්ම ශත සංවත්සරය 2017 මාර්තු 3 වැනි දිනට යෙදේ.මේ, ඒ නිමිත්තෙනි.)
හිමිදිරි උදේ දවසක්දා රජ රටදී
බස් නැවතුම් පළක ඇති වහලය යටදී
දළ දඬු අයෝමය කම්බියකට පිටදී
ළඟ තිබු පුවත්පත මා කියවන විටදී
“පී. බී. ලෙඩින්” යන විස මුසු අකුරු පහේ
පුවතින් ඇනී උල්කටු උල් කිණිසි ඇහේ
“අද මම ඔහු බලමි සිටියත් කොතැන කොහේ”
සිතමින් ගියෙමි කොළඹට ගිනි ඇතිව ඉහේ
සැතපුම්වලින් ගොස් එකසිය තිහක දුර
ගිය විට රෝහලට පස්වරු එකට පෙර
ඇඳ ළඟ කවුළුවෙන් විවරව තිබුණු දොර
දුටුවෙමි යන්තමින් කිවිඳුගෙ මුහුණුවර
මා ඉන් ලබා සැනසීමක පරම සුවේ
ගිය විට දෙනෙත් පිය දසුනින් කිවිඳු රුවේ
දුබලව සිටි නමුත් හසමල් පිපුණි මුවේ
සුව දුක් පිළිවිසීමට පණ තිබිණි දිවේ
ඇඳ මත බර ගසා ඒ කවි ලියන අත
හෙමිහිට කෙළින් කොට වැහැරුණු දුබල ගත
“රජරට සිට ද ආවේ අගනුවර වෙත?
කොහොම ද ඉතින් තොරතුරු? කෑවෙහි ද බත?”
“පිරියක් නොමැත මට නම් කන බොන දේට
ළය වේදනාවක් ඇත වැඩිපුර රෑට”
කීවත් එසේ බිය විය යුතු නැත ඊට
තෙරුවන් සරණ ඇත අපගේ කවියාට
සිහියට නඟා සිය කවිවල රැඳුණු රස
සිරුරෙහි වැදිණි නල කැටි ඔහු සිරුර පිස
යන්තම් රිදීමය වතුරට තෙමෙන කෙස
තිබුණා අවුල් වී විසිරී බොකුටු ලෙස
ඇසිපිය දුබල වී අඩවන් වුණු දෑහේ
විමසුම් සිහිය රැඳි බව සැලකුම සෑහේ
පෙර සෙල් පිළිමයක් වැනි නෙත්කලු දේහේ
සුදුමැලි වී තිබිණි හැම අඟලම පාහේ
“පළවුණු පුවත්පත් ආරංචියට උඩින්
නොවුණත් නිවේදනයක් කිසි අයෙකු තුඩින්
සිටියෙමි සති පහක් මේ වන තුරුම ලෙඩින්”
නැවතත් කීවේය කවියා දුබල හඬින්”
ඔහුගේ සියලු ඉරියවු විනිවිදව දිටී
කිවිඳිය අසල සෙවණැල්ලක පරිදි සිටී
කඩිසර විලස දුව පැන සමයකදී කෙටී
දුටුවෙමි ඔහුට ඈ උවැටන් කරන හැටී
(“අල්විස් පෙරේරා” චරිතාපදාන කාව්‍යයෙනි.)
ධනපාල නිශ්ශංක
සොබාසිරි
කඩිසර ලෙසට මකුළුව දැල වියන විට
රටාවකට එම දැල නිම කරයි වට
පුදුමයි නේද ඔහු දස්කම් පෙනෙන විට
සන්නාලියන් පැරදුම් ලබනව ඔහුට
කුඹලා මැටි ගෙනත් ටික ටික එකතු කර
සදනා පුංචි ගෙය ඇත සැලසුමෙන් තොර
එනමුත් වෙහෙස දරමින් එය නිමාකර
පදිංචියට එන්නේ විස්මයක් කර
කුරුලු ලොවේ මුල් තැන වඩු කුරුල්ලට
කූඩුව තනයි ඔහු ලස්සන රටාවට
පුංචි තුඩින් එය හොඳහැටි නිමාකොට
උණුසුම දෙවනවා ඔහුගේ පැටවුන්ට
මීමැස්සා සදන පැණි රසයෙන් රසය
ඔහුට රිදෙව්වොත් නම් ඔහු හරි වසය
ඔහුගෙන් ලැබෙන පහරට පරදයි කසය
එනමුත් අනේ ඔහු නැති නම් පැණි නැතිය
වනිතා රණසිංහ
ඔබ මට පෙම් කළා ද
හිමි අහිමි බව දැන නොදැන
පිදුවා මන් ඔබට ප්‍රේමය
දෝතින් ලයට තුරුලු කරගෙන
පිදුවේ නොගන්නම
පෙති දිග හැර බලා
මුදු පහස ලැබු සුව පතා
මා මන මත් කළා
ඔබම ද මා බිම දමා පාගා
රුදුරුද ප්‍රේමය මෙතරම්
ලැබුණේ අවමන් ගැරහුම්
ඔබ සැනසී ඉන්නවනම්
මං කඳුළු හංගා ගන්නම්
සඳරුවන් කරුණාතිලක
සැඟවුණ රුව
දවස පුරා සෙල්ලම් බත් ඉව්ව යුගේ
ලද දේ සිනා මැද දෝතට ගත්ත අගේ
පිට ගමකට දීග ගියේ තිමද නගේ
මතු සසරේ එක පොකුරක ඉඳිමු නගේ
පැහී ඉදී පල මිහිලිය සිඹින විට
මහා ගොස නගා ඇට්ටිත් හැලෙන විට
සොබා දමේ අනියත බව මෙනෙහි කොට
ඔබේ සොඳුරු රුව පමණකි මතක මට
මුතුවන් දසන් දක්වන මුව සිනාවන්
නිල්වන් දිගු වරල පිට මැද ඉනාවන්
රන්වන් කරල් නැමි කෙත් වතු මනාවන්
පින්වන්තියේ නුඹ මට වාසනාවන්
කොවුල් සරින් විකසිත එරබදු මලක
ලියද්දකට දියවර ඇදෙනා හඬක
ඕලු නෙලුම් කෙකටිය වැව් මංකඩක
සැඟවුණ රුවක් යළි මසැසට ගත නොහැක
ආර්. එම්. රත්නායක
නාමල් තලාවේ නාමලීට
නිමිත්ත - උපාධි සහතිකය ලැබ සිය මිතුරන් ඉහළ වැටුප් සහිත රැකියා කරද්දී ස්වේච්ඡා ගුරුවරයෙක් ලෙස ගම්බද පාසලකට යන තරුණ ගුරුවරයෙක් සිය මෙහෙවර නිමකොට ආපසු එයි.
හෙට්ටු කර කර මාකටිං කර
තට්ටු හදනා සංදියේ
කුංචනාදේ ඇහෙන මායිම
ඔට්ටු වෙන නුඹෙ ජීවිතේ
අයනු ආයනු කිරි කිරිස් ගා
බොරලු පාගන සයිකලේ
සුදු ලෑලි කළු අකුරු ලෝකෙට
හිනාවෙමු අපි නංගියේ
උපාධියෙ බර හිස් සියල්ලම
හිත කාමරෙ හිර උනා
උඹට ණය නොගෙවාපු පාපෙට
පපුව දැවි දැවි මියැදුණා
දැවෙන හේනක කොණක ගිනිගත්
තක්සලාවී පේ උනා
මිදුණු ඇස්ගෙඩි පිපුණු කරගැට
එකින් එක අපි යා කළා
අහිංසක ඇස් දුඹුරු පෑ දත්
විටින් විට ඇවිදින් මෙහේ
තබා දෙදණම ඔවුන් හැදු බිම
වඳින විට ඉවසමි කෙසේ
එදා ලෙස රැලි තියා ගවුමේ
හිතින් දාගෙන ටයි ගැටේ
හෙටත් ඇවිදිං තනිය මකපං
අකුරු ඇහිඳපු පිං බිමේ
සයිකලේ මලකඩ හඬින් නැඟි
නැඟී අවුදින් බිඳ බැමී
සල්මලේ සල් සුවඳ තැබුවට
අමර නයනට ණය ගැතී
මංකඩේ අපි හදපු ඒදඬු
පාලමෙන් පා ගැහි ගැහී
එගොඩ වෙමි මම යළිත් මෙගොඩට
ගිහිං එන්නම් නාමලී
මලිඳු කාවින්ද කුමාරසිංහ
යුගදිවියේ රිද්මය
යෞවන සිතක පොපියන පෙම් හැඟුම් ගලා
සයුරට ගඟුල මෙන් දෙහදක තුරුලු වෙලා
ආදරයෙන් පැතු පැතුමන් සපල වෙලා
යුගදිවියක බැඳුම මා සිත අවදි කළා
දෙහදක් බැඳී ඉදිකළ දිවි කැදැල්ලට
රිදවුම් ගැටුම් කරදර එයි විටින් විට
නුවණැස යොමා දකිනා දුර සෙවිල්ලට
“සිරිකත” සමඟ හැකි සතුටින් සිටින්නට
නොමනා සිතින් උරණව අඹු සැමි යුවළ
විරසක වෙතොත් එතනයි ඇරැඹුම අවුල
ඉවසා අයෙක් අනෙකාගේ සිත් තැවුල
නිමකර සතොස් විය හැක දෙදෙනගෙ අවුල
දමනය නොවූ රුදු කෝපය බිඳියි සිත
විපරිත වෙමින් රතු රුධිරය දවයි ගත
“පුන්සඳ” තුරුලු වූ විට කළු වලා මත
අඳුරේ දකිමි ඇගේ රුව මගෙ නුවන් මත
ඉඳ හිට ඇසෙන වදනක් වාදෙට පබද
හමුවේ ඇයට ජය දී සතුටින් නිබඳ
මග හැර යමින් අඳුරට පිටුපා සබඳ
විරසක නොවෙමි ඇය මගෙ පෙම්බර බිරිඳ
හැත්තෑ දෙකක් පසුකර වසරින් වසර
අතිනත රැගෙන සතුටින් සපැමිණි කතර
සැප දුක සමානයි රස කවියකි මිතුර
කාලය ළඟයි යා යුතු “අත්වැල” අතැර
ලෙස්ලි පෙරේරා
වීදියේ පුතුනි
මහ මගක කිලිටි හැඳි
කඳුළු පිරි දෙනයනින්
බලා සිටින්නේ කිමද
පුංචි පුතුනේ ඔහේ
පුතේ කෝ මව පියා
ඔබව හැරදා ගොස් ද
වීථිවල දුව ඇවිද
මොනවා ඔබ සොයනවද
ඔබට පමණක් නොවේ
අහිමි මවුපිය සෙනෙහස
නැගිටින්න පුතනුවනි
ඔබේ දෙපයේ වෙරෙන්
ලෝකයම ජයගන්න
ඔබට ශක්තිය ඇතේ
නැගිටින්න හිනැහෙන්න
ඔබේ ලොව ජයගන්න
සුගන්ධි අනුරුද්ධිකා
ළතැවිල්ල
කඳුළු අහසක් උසට
අරගෙන ඇවිත් සිත ළඟ
අළු පාට ගොම්මන් කරුවලක
මල් පොඩිති පරවෙලා අකලට
දිවි උයන එකලු කළ
හදවතේ මිණි පහන
ඔබට දැල්වූ විලින
නිවී යන්නට නොදී
රැකගත්තෙ මං
ඒ තරම් ආදරෙන්
සිත රැවටු තරම්
යටගියාවේ මනරම්
බැඳුණු ළෙන්ගතුකම්
අහසට පොළොව වගෙමයි
දැන් නම්
සුසුම් දැනෙනා දුරින්
ළං ළංව ආවත්
ජීවිතේ දිගු කල්පයක්
හරිම පුදුමයි
මේ තරම් ළතැවිල්ලක්
ඇයි මටම විතරක්
නන්දි අලුත්ගේ රත්නවීර
කුලගෙය අහිමිද
වසන්තයේ සිත අද්දර නෙක පැහැ මල් පිපුණා
මල් නොපිපණු වත දැක බමරුන් ඉවතට ඇදුණා
මලවි නුඹට මා අමතක උෙණ් ඇයිද මන්දා
මා හැර ගිය වසත් සමය යළි ඒවිද උන්නා
කෝල පෙම් කතා රැඟුමන් හිත පාරා ඇදෙනා
හිතේ දුකට කවි පදයක් පමණක් ළඟ රැඳුණා
හිතේ උපන් සොඳුරු හැඟුම් රහසේ ඉකිබින්දා
හෙටවත් මගෙ සිත් මැදුරට රජකු එතැයි සිතුවා
බිළිඳු කිරි සිනා ඈතක සිට දඟකම් පානා
කෙදිනක මගේ උකුලේ නැළැවේවිද මඟ බැලුවා
සෙනෙහස දැල්වුණු කුලගෙය මට අහිමිද මන්දා
මගෙ සිහිනය දැකගන්නට ඉඩ ලැබේද කවදා
සැනෝජි රුවිනිකා පෙරේරා
රාත්‍රිය එළැඹෙන්න පෙර
(වසරක් පාසා දෙදෙනා වෙන් වූ දින, වෙන් වූ තැනට යන පෙම්වතිය 30 වන වරට ගියදා විදෙස්ගත පෙම්වතාට කෙටි පණිවිඩයක් යවයි.)
ඩොක - ඩොකොස්... ඩොක - ඩොකොස්... ඩොක - ඩොකොස්
කෝච්චිය හැරවුණා වංගුවෙන්
පීලිවල විරසකය මැද අදත්
පීඩනය දරයි සිල්පර කොටන්
රේල් පාරට නැමී පිනිබරව
නත්තසූරිය පොකුරු හිනාවෙයි
ඒත් ඒ එදා මල් නම් නෙමෙයි
දහස්වර පිපුණ මල් විය හැකියි...
එදා අපි ගමන් කළ මැදිරියේ
ඒ අසුන්වල දෙදෙන ඉදිරියේ
නව යොවුන් පෙම් යුවල සිහිනයේ
කෙස් රොදක් මද නළින් විසිරයේ
පුරුදු නැවතුම්පලින් බැස ගනිමි
බොරලු පාරේ තනිව පියමනිමි
ඒ දේවදාර ගස් හරි ලොකුයි
නාඳුනන බවට සලකුණු වැඩියි
ඇඟිලි තුඩු මත තබා කොළ සුඟක්
පොඩි කරමි ළබැඳි සුවඳකි තවත්
ඇනී ඇනී සියුම් ඉදිකටු තුඩක්
අතින් ඇද අතීතෙන් දෙයි ඉඩක්
කඳු ගැටේ මත පුරුදු ගල් තලේ
වාඩි වී නෙතු හෙළමි අනන්තේ
අහස් ගඟ කෙළවරින් මතු වෙවී
සුසුදු සුදු වලාවක් පාව යේ
හිම මිදෙන සිසිරයේ වීථියේ
උමං දුම්රියපළේ කෙළවරේ
ගිනි උදුන අසල නිදි නැති රැයේ
ඔබ නොරට තනියෙන් ද මගෙ ප්‍රියේ
ප්‍රේමයේ අවසාන රැස් දහර
රන්වනිනි වලාවක සැඳෑ අග
වැටුණොතින් රාස්සිගෙ අව්රැල්ල
ඉනික්බිති එළඹේවි රාත්‍රිය
පද්මිණි ශ්‍රියාලතා
නුඹයි පින්සාරි
වැව් ඉස්මත්තෙන් පෑයූ
සඳක් විලස දියට නැමී
වැව් පතුලේ සිහිලස විඳ
නුඹ සැනහෙනවා නම්...
නිල් වන පෙත අසිරි මවන
ප්‍රේමාලිංගන මැද්දෙන්
සඳ දිය දෝතට අරගෙන
මං සැනහෙනවා නම්...
අපි අපිටම ළංව හිටිය
අපි අපිටම දුක - සැප කී
අපේ හීන පාව යයිද
වැව් දියවර එතිලා...
ඉතිං ඔහොම හිනා වෙන්නෙ
දෝර ගලා, ගලා යන්නෙ
මං විතරද පෙම් කරන්නෙ
නුඹෙ ඇස් යට ගිලිලා...!
නිශාන්ත පීරිස්
එතෙර කවිය
මගේ සිහින යාය
My Field of Dreams
දකිමි මම ඔබ
මගෙ සිහින යාය තුළ,
පිය මනිනු මදෙසට
මඳහස වැතිරුණු වතින්
පිදිණ හා පැතුම් පිරි නෙතින්
අඳුරුව ඇත ඔබෙ රුව
කිසියම් කරුණක් හෙයින්,
විටෙක මා පැතුමන්ද
මැලවෙයි එසෙයින්,
‘මුත් එබඳු විට සිහිගනිමි
ඔබ ගෙවූ දිවිය.
මුළු අරුතින්ම එය
අපේක්ෂාව ගැනම විය,
අත් නොහැරීම ගැනම විය
තිත්ත - මිහිරි එමතකය
පවතීමය නිබඳ ශේෂව
අද රැය බඳු මොහොතවල
ඉසමීපය ඔබ මට
කයින් නොවෙතත් ඒ,
විඳිනු හැකිය මට
ඔබෙ හුස්ම, මා ගත වදින
ඔබෙ පහස, උණුසුම්ව දැනෙන
ඒ, ඔබ තෙපලු දෙයින් නොව
රටාවෙනි, ඔබ එබඳු දේ කළ
විය හැකි ලොකුම දෙය ලෙස
අහිමි වුව ඔබ මට,
තුතිවන්ත වෙමි ඔබට එවිටද,
සුඟ කලකට වුවද
ඔබ ඇසුර මහිමෙන්
ආශිර්වාද මා ලද්දෙන්
අනුමානික පෙමක වියෝවක් පිළිබඳ හැඟුම් ගොනුවකි. ව්‍යංග්‍යයෙන් තොරව සරලව දිග හැරෙන එම හැඟුම් මාලාව, රසිකයාට ආදරයේ මිහිරියාව මෙන්ම වේදනාව ආදි වේදයිතයන් ළඟින්ම දැනෙන සේ ගෙත්තම් කරන්නට විල්මා නීල්ස් කිවිඳිය සමත්ව ඇත්තීය. බෙහෙවින් මෘදු හා ස්පර්ශීය ලීලාවකින් ආදරයක හැඟුම් හා මතකයන් වදන්වලට ගෙනෙන කිවිඳිය, විය හැකි වියෝවකදී දක්වන කෘතවේදී උපේක්ෂාව ආදරවන්තයන්ට ආදර්ශයකි.
විල්මා නීල්ස් යනු දකුණු අප්‍රිකාවේ, කේප්ටවුන් නගරයේ ඉපිද දැනටත් එහිම වෙසෙන සුදු ජාතික, නූතන කිවිඳියකි. දෙසැ. 25 තම උපන් දිනය බව දක්වන ඇය, නව පුදුම හතෙන් එකක් වන අත්‍යලංකාර, විස්මයාහවාහ Table Mountain කන්ද, ඇගේ උදා නැරඹුම් ඉලක්කයන් ගෙන් එකක් බව පවසයි. “Whispers From My Soul” ඇය 2012 දී පළ කර ඇති පද්‍ය සරණියයි.
පරිවර්තනය දේ. වි. ගාල්ලගේ
වසන්තය
කා එක්ක තරහා වෙලා ද
බකමුණා ඇයි රවාගෙන
මල් සමනල්ලු
කුරුල්ලොත් එක්ක
වසන්තය ඇවිල්ලා
ඉතිං ඇයි තව
හිනා නොවෙන්නේ
සෙනරත් තෙන්නකෝන්