
පොප් ගී ලොව රජ කළ සුපිරි ගායක එල්විස් ප්‍රෙස්ලි සහ ප්‍රිසිලා ප්‍රෙස්ලිගේ දියණිය වන ලිසා මාරි ප්‍රෙස්ලි මේ දිනවල මුහුණ දී සිටින්නේ අමිහිරි සිදුවීම් පෙළකටයි. හතළිස් නව වැනි වියෙහි පසුවන ලිසා, තමන්ගේ නිවුන් දූවරුන් දෙදෙනා කැලිෆෝනියාවේ ළමා ආරක්ෂක මධ්‍යස්ථානයක නතර කරලා. ඇය එවැන්නක් කිරීමට පෙළඹී ඇත්තේ ඇගේ හිටපු සැමියා වන මයිකල් ලොක්වුඩ්ගේ පරිගණකයෙහි කුඩා ළමයින්ගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන සිය ගණනක් තිබෙන බව දැකීමෙන් පසුවයි. මේවායෙහි දැක්වෙන්නේ ළමයින්ගේ අස්වාභාවික ඉරියවු මතු කෙරෙන අවස්ථාවන් යැයි ලිසා මාරි පවසනවා. එම ඡායාරූප සහ වීඩියෝ දර්ශන දැකීමෙන් තමන් දැඩි තිගැස්මකට පත්වූ බවත්, තම සිත තුළ දැඩි පිළිකුලක් හටගත් බවත් ඇය පවසනවා.
මේ වන විට ලිසා මාරි, තමන්ගෙන් වෙන්ව සිටින මයිකල් ලොක්වුඩ්ට එරෙහිව නීතිමය පියවර ගනිමින් සිටිනවා. කෙසේ වෙතත්, ලොක්වුඩ්ගේ නීතිඥයන් පවසන්නේ ලිසා මාරිගේ ජීවිතය ලොවට හෙළිදරව් කිරීමට තම සේවාදායකයාගේ අදහසක් නොමැති බවයි. ඇය විසින් මාධ්‍යයට ප්‍රකාශ කළ මෙම අනිසි ඡායාරූප පිළිබඳ සිද්ධියෙහි කිසිදු සත්‍යයක් නැති බවත් ඔවුන් පවසනවා. එහෙත්, ලිසා පවසන්නේ එම ඡායාරූප ලොක්වුඩ් විසින් ගන්නා ලද බව තමන්ට සහතිකවම කිව හැකි බවයි.
බීබර් ගුටි කෙළියක
ලොස් ඇන්ජලීස් නුවර ප්‍රාදේශීය පොලිස් දෙපාර්තමේන්තුවට පසුගියදා අලුයම 2ට පමණ දුරකථන පණිවිඩයක් ලැබුණා. සෙරෆිනා රෙස්ටුරන්ට් ගෲප් ආයතනයේ අවන්හලක් තුළදී සිදුවූ ගුටිකෙළියක් පිළිබඳව පැමිණිල්ලක් තමයි ඒ පණිවිඩයෙන් කියැවුණේ. සිද්ධිය දුටු අයකු කළ පැමිණිල්ලට අනුව පොලිස් නිලධාරීන් එම අවන්හල වෙත පැමිණ පරීක්ෂණ කටයුතු ඇරැඹුවා.
එවිට හෙළි වූයේ අවන්හලට පැමිණි ව්‍යාපාරිකයන් දෙදෙනකු සහ සුපිරි ගායක ජස්ටින් බීබර් අතර එම ගැටුම සිදුවූ බවයි. ගැටුම දුරදිග යද්දී එහි රැඳී සිටි පිරිස බීබර්ට පවසා ඇත්තේ වහාම අවන්හලෙන් පිටවී යන ලෙසයි. නමුත් ඔහු පිටවී ගොස් නැහැ. පොලීසිය පැමිණෙන බව දැනගත් පසුවයි, මේ සුපිරි තරුව හෙමින් සීරුවේ මාරුවී ගොස් ඇත්තේ.
සෙරෆිනා අවන්හලේ සේවිකාවක වන කැරලින් මැක්බ්‍රයිඩ් පොලීසියට පැවසුවේ ජස්ටින් බීබර් නිතරම මෙම අවන්හලට පැමිණෙන බවයි.
“අපි මේ ගැන වැඩි විස්තරයක් දන්නෙ නැහැ. පොලීසියට දැන්නුවෙත් අපි නෙමෙයි. අපිට බීබර්ගෙන් ප්‍රශ්නයක් ඇතිවෙලා නම් නැහැ.” ඇය පොලීසියට පැවසුවා.
ඇන්ජලීනාට සතුට උදාවෙලා
ප්‍රියජනක නොවුණු කාලයක් සුපිරි නිළි ඇන්ජලිනා ජොලී ගත කළා. ඒ පසුගිය මාස කිහිපය තුළ. නීත්‍යනුකූල සැමියා වූ බ්‍රැඩ් පිට් ගෙන් වෙන්වී සිතෙන් පීඩා විඳි ඇය, එඒ බව ලොවට කීවේ නැහැ. නිහඬව සිටියා. එහෙත් පසුගිය සතියේ ඇය ඒ නිහඬතාව බිඳ දැමුවා. තමන් බ්රැඩ්ගෙන් වෙන්වූ බව ‘නිල වශයෙන්’ ප්‍රකාශ කළා.
මේ අතර කටකතා කිහිපයක්ම පැතිරුණා. ඒ, බ්‍රැඩ් පිඩ්ගේ වෙනත් සබඳතා ගැනයි. ඒ අතරට එක්වූ අලුත්ම ආරංචිය තමයි ඔහු ජනප්‍රිය නිළි කේට් හඩ්සන් සමඟ ප්‍රේම කරන්නට පටන්ගෙන ඇතැයි යන කතන්දරය. කෙසේ වෙතත් මෙය හුදු ඕපාදූපයක් යැයි හොලිවුඩ් පුවත්පත් පවසනවා.
එය ගොතන ලද ආරංචියක් වුණත් ඉන් පසුව ‘අධි වේගයෙන්’ පැතිරුණු කතාව වූයේ ඇන්ජලිනා සහ ජාරෙඩ් ලෙටෝ අතර සෙනෙහසක් දළුලන බවයි. දෙදෙනා පසුගිය දිනවල නිතරම හමුවූ අයුරුත් හොලිවුඩ් මාධ්‍යයන් විස්තර කර තිබුණා. (ජාරෙඩ්, සිනමා නළුවෙක්. ගායකයෙක් සහ ගීත රචකයෙක්) මේ අලුත් පෙම්වතා නිසා තමන්ගේ ජීවිතයට සතුට උදාවුණා ය කියලයි ඇන්ජලිනා බොහෝ දෙනකුට පවසා ඇත්තේ.
ශකිරාගේ අලුත්ම ගීතය
සුපිරි ගායක ගායිකාවන් ගැයූ අලුත්ම ගීත අහන්නට බටහිර ගීත ප්‍රිය කරන ශ්‍රාවකයන් කැමැතියි. ජනප්‍රියත්වයෙන් අගතැන්පත් ශකිරා ගැයූ අලුත්ම ගීතයක් දැන් නිකුත් වී ඇත්තේ එවන් ශ්‍රාවකයන්ගේ උණුසුම් ප්‍රතිචාර මැද්දේ. එම ගීතය නම් කර තිබෙන්නේ ‘ඩෙජා වූ’ නමින්. මෙම ගීතය ඇතුළත් වන්නේ ජනප්‍රිය ගායකයකු වන ප්‍රින්ස් රොයිස්ගේ ‘ෆයිව්’ නම්වූ ගීත ඇල්බමයේයි. ‘ඩෙජා වූ’ ගීතය නිකුත් වූ සැණෙකින්ම ශ්‍රාවක පිරිස උනන්දු වුණේ ඒ සමඟම වීඩියෝ රූප රාමු පෙළක් නිර්මාණය වී තිබේදැයි දැන ගැනීමටයි. ‘ඩෙජාවූ’ ගීතය පසුබිම් කරගත් වීඩියෝ ‘ක්ලිප්’ එකක් ද නිකුත් වී තිබෙන බව ඒ පිරිසට දැනගන්නට ගතවුණේ නිමේෂයයි. දැන් ලොව පුරා ශ්‍රාවකයන් එම ගීතය රස විඳිනවා.
මේ අතර පසුගියදා ශකිරා 40 වැනි වියට පා තැබුවා. ළඟදීම ඇගේ ගීත ඇතුළත් වූ 11 වැනි ඇල්බමයත් නිකුත් වනු ඇතැයි පැවසෙනවා.