BOLLYWOOD | සිළුමිණ

BOLLYWOOD

ස්කූටරයේ හතර දෙනෙක් ‘ඩබල් දාලා’

ලෝක ප්‍රසිද්ධ ටජ් මහලය පිහිටා තිබෙන්නේ ඉන්දියාවේ අග්‍රා නගරයේ. බොලිවුඩ් සිනමාවේ ආන්දෝලනාත්මක චරිතයක් පසුගියදා අග්‍රා නගරයේ වීථි දිගේ ස්කූටරයක නැගී ගමන් කළා. මේ අයුරින් යතුරුපැදි සවාරියක් ගියේ ජනප්‍රිය නළු සන්ජේ දත්. ඔහු තනිවම නොවෙයි, එලෙස ගමන් කළේ. තම බිරිය මන්යාටා, පුතු ෂාහ්රාන්, දුව ඉක්රාවත් නංවාගෙන. අග්‍රා වැනි ජනාකීර්ණ නගරයක වීථිවල ස්කූටරයක සිවු දෙනකු ගමන් කරද්දී පොලීසියෙන් බාධා ඇතිවුණාදැයි කියන්න දන්නෙ නැහැ.

නමුත් සන්ජේ ඇතුළු සිවු දෙනා ඉතාම සතුටින් රෝද දෙකක් මත ගමන් කළ බව ඒ මොහොතේ ගන්නා ලද ඡායාරූපය සාක්ෂි දරනවා. මේ ඡායාරූපය තම ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි මන්යාටා විසින් පළ කරනු ලැබ තිබුණේ ලස්සන වැකියක් මාතෘකාව ලෙස යොදමින්. ‘අග්‍රාවල මාවත් ඔස්සේ ස්කූටරයක නැගී සැහැල්ලුවෙන් යන ගමනක් කිසිම දේකට සමාන කරන්න බැහැ.’ ඇය එලෙස සටහන් කර තිබුණා. මේ ඡායාරූපය දුටු විශේෂ කෙනකු සිටිනවා. ඒ තමයි, ත්‍රිෂාලා දත්. ඇය, සන්ජේ දත්ගේ පළමු විවාහයේ දියණිය. යොවුන් වියෙහි පසුවන ත්‍රිෂාලා දැන් සිටින්නේ ඇමෙරිකාවෙයි. ඇය උසස් අධ්‍යාපනය ලබමින් එරටෙහි රැඳී සිටිනවා. ඡායාරූපයට පණිවිඩයක් එවන ඇය පවසන්නේ ‘මුන්නාභායි’ (සන්ජේ දත් රඟපෑ ජනප්‍රිය චරිතයක නම) ගේ වැඩිමල් දුවගේ ආදරය සැමටම ලැබෙන බවයි. ත්‍රිෂාලා දැන් තමන්ව හඳුන්වන්නේ සන්ජේ දත් සහ මන්යාටා ගේ දියණිය හැටියටයි.

සන්ජේ ඇතුළු පවුලේ සියලු දෙනා අග්‍රාවලට ගියේ සන්ජේගේ චිත්‍රපට රූගත කිරීමක් තිබුණු නිසයි. චිත්‍රපටයේ නම, ‘භූමි’. ඕමන්ග් කුමාර් අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටය ගෙතී ඇත්තේ පියකු සහ ඔහුගේ නව යොවුන් දියණිය කේන්ද්‍ර කරගෙන. පියා ලෙස රඟන්නේ සන්ජේ. ඔහුගේ දියණිය ලෙස අදිති රාඕ හිදාරි රඟනවා.

මනීෂාට දියණියක්?

මේ වසර අග භාගයේදී නැවුම් රංගන අත්දැකීමක් ලබන්නයි ජනප්‍රිය නිළි මනීෂා කොයිරාළ සැරසෙන්නේ. ඒ, ප්‍රවීණ නළු සන්ජේ දත් ගේ චරිතය වටා ගෙතුණු චිත්‍රපටයක සන්ජේගේ ආදරණීය මෑණියන් වූ ප්‍රවීණ නිළි නර්ගීස් දත්ගේ චරිතයට පණ පොවමින්. (මෙහි, සන්ජේගේ චරිතය රඟන්නේ රන්බීර් කපූර්.) මේ චිත්‍රපටයේ රඟපෑමෙන් පසුව මනිෂාගේ පෞද්ගලික ජීවිතයට ද අලුත් අත්දැකීමක් එක්වෙනවා. ඇයට මව් පදවියක් ලැබෙනවාලු. ඇය මවක වන්නේ තම කුසෙන් දරුවකු බිහිකර නොවෙයි. පුංචි දැරියක හදා වඩා ගැනීමෙන්. දැනටමත් මනිෂා මේ දැරිය හදා වඩා ගන්නට අවශ්‍ය මූලික කටයුතු සිදුකර අවසන් බවයි පැවසෙන්නේ. ඉදිරි මාස 12 ඇතුළතදී ඒ බිලිඳිය මනිෂාගේ දෝතට ලැබේවි ය කියලයි ආරංචි.

දරුවකු රැකබලා ගන්න නම් මනිෂා හොඳ සනීපයකින් සිටිය යුතුයි. පසුගිය කාලයේ ඇය පිළිකා රෝගයෙන් පීඩා විඳි බව රහසක් නොවෙයි. නමුත් දැන් ඒ රෝගී තත්ත්වය සුව වෙලා. දැන් ඇයට දරුවකු හදා වඩා ගන්නට හැකියාවක් තිබෙනවා. “මේ දෙසැම්බර් මාසය වෙනකොට මගේ රෝගය සුවපත් වෙලා අවුරුදු 5ක් ගත වෙනවා. මගේ ඉදිරි කාලය හොඳ වේවි. ඒ නිසා මට දැන් දරුවකුගෙ වැඩ කටයුතු කරගන්න පුළුවන් වේවි. මින් පස්සෙ මගේ ජීවිතය හැඩ ගැහෙන්නෙ මම හදාගන්නා දරුවාගේ වැඩ කටයුතු අනුවයි. මේක මගේ ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් වේවි. ඒ අලුත් ජීවිතය ළංවෙන තුරු මම ඉන්නෙ නොඉවසිල්ලෙන්.” සතුට ඉහවහා ගිය මනීෂායි, ඒ වචන පෙළ ගොණු කළේ.

සල්මන්ට වැඩි බරක් තැබු එමාන්

ලෝකයේ දැනට ජීවත්වන බර වැඩිම කාන්තාව ලෙස වාර්තාගත වී සිටින්නේ ඊජිප්තු ජාතික එමාන් අහමඩ් අබ්දුලාටි. ඇගේ බර කිලෝග්‍රෑම් 500ක්. තරබාරුකමෙන් සහ බරෙන් වැඩිම කාන්තාව වන ඇය, සුපිරි නළු සල්මන් ඛාන්ගේ ලොකුම රසිකාවිය බවත් පැවසෙනවා.

දැනට 37 වැනි වියෙහි පසුවන එමාන්, පසුගියදා මුම්බායි නුවරට පැමිණියා. සල්මන්ව මුණගැහෙන්නම නොවෙයි. ඇගේ අධික තරබාරුව අඩුකර ගන්නටයි. මුම්බායිහි සායිෆී රෝහලට ඇතුළත් කර සිටින ඇයට විශේෂ ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිතයි. මුම්බායි බලා පැමිණියේ ශල්‍යකර්මය කරගැනීමට වුණත් එමාන්ගේ ඊළඟ සැලකිල්ල යොමුවී තිබුණේ තම ප්‍රියතම නළු සල්මන්ව මුණ ගැසීමටයි.

මේ බව දැනගත් සල්මන්ගේ සොහොයුරකු වන අර්බාස් ඛාන් පැවසුවේ සල්මන්ව මුණගැසීමට රසික රසිකාවියන් විශාල පිරිසක් සිටිය ද, ඒ හැම කෙනෙකුම මුණ ගැසීමට තරම් විවේකයක් ඔහුට නැති බවයි. කෙසේ වෙතත් එමාන්ගේ ඉල්ලීම ඉටුකිරීමට සල්මන් උත්සාහ ගනු ඇතැයි අර්බාස් ඛාන් පසුගිය සතියේ ප්‍රකාශ කර තිබුණා. රෝහල් ගත කර සිටින එමාන් ශල්‍යකර්මයට යොමු කරන තුරු වාට්ටුවේ රැඳී සිටිමින් සල්මන් රඟපෑ ‘සුල්තාන්’, ‘කික්’ සහ ‘ඩාබාන්’ යන චිත්‍රපට නරඹමින් සිටි බවයි පසුගිය සතියේ මුම්බායි නුවරින් වාර්තා වුණේ. 

 

Comments