
අර්නස්ට් වඩුගේ
ඔහු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි. කර්තෘවරයෙකි. නවකතා රචකයෙකි. අපූර්ව ලේඛකයෙකි. මේ මොන අන්දමින් ඔහු හැඳින්වුවද අර්නස්ට් වඩුගේ නමින් ඔහුගේ අනන්‍යතාවයේ සළකුණ මෙරට පාඨකයින් අතර නොමැකෙන අයුරින් තබා හමාරය. මේ අපූර්ව මිනිසා අර්නස්ට් වඩුගේ ගැන පාඨකයන් අතර යළිත් කතාබහට හේතුවී ඇති සෙයකි. ඒ ඔහුගේ නවකතා පොතක් යළිත් නව මුද්‍රණයකින් එළිදැක ඇති බැවිණි. ඒ ‘ආදරය මිහිරක් නොවේ‘ නවකතාවය. අර්නස්ට් වඩුගේ සමඟ කලකට පසුව යෙදෙන මේ සොඳුරු කතාබහට වස්තු විෂය වන්නේ ද ආදරේ මිහිරක් නොවේ නව කතාවය.
• ‘ආදරේ මිහිරක් නොවේ‘මේ ඇත්ත මද?
ඔව්. නමුත් මටත් ඔබටත් නෙවෙයි. මේ කතාවේ එන ප්‍රධාන චරිතවලට තමයි ‘ආදරේ මිහිරක් නොවෙන්නේ.
• ඒ ඇයි?
ඒක දිග කතාවක්.ඒ ගැන දැනගන්න නම් මගේ මේ පොත කියවන්නම වෙනවා.
• ආදරේ මිහිරක් නොවේ ඔබේ පළමු නව කතාව?
ඔව්. මීට දශක පහකට පමණ පෙර මගේ අතින් රචනා වූ නවකතාවක්. මම සරසවිය පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරත් දී තමයි මේ කතාව මගේ අතින් රචනා වුණේ. 1960 දශකයේ අවසාන භාගයේ දී තමයි මෙය රචනා වුණේ.
• මෙහි වස්තු බීජය අදටත් වලංගුයි?
ඔව්. තරුණ මාධ්‍යවේදියෙක් රූමත් ජනකාන්ත නිළියකට පෙම්කරනවා. ඔවුන්ගේ ආදරයට සිදුවන විවිධ දේවල් මේ කතාවට අන්තර් ගතයි.
• මේ නව කතාව කියවාගෙන යත් දී යමෙකුට හිතෙන්න පුළුවන් මේ ඔබේ කතාවයි කියලා?
එක ඇත්ත. මේ නවකතාව ඒ කාලෙ පිට වුණාම මහත් ආන්දෝලනයක් ඇති කළා. හුඟදෙනෙක් හිතුවා අර්නස්ට් මේ ලියලා තියෙන්නේ එයාගෙ කතාව කියලා. මොකද මමත් ඒ කාලෙ යෞවනයෙක්. මාධ්‍ය වේදියෙක්. ඒ වගේම රූබර නිළියන් ළඟින්ම සමීපව ආශ්‍රය කරන යුගයක්. ඉතින් සැක හිතන්න ඕනවටත් වඩා හේතු තිබුණා. නමුත් මේ මගේ කතාව නෙවෙයි.
• ඔබ මේ නවකතාවේ සැබෑ ලෙසම නළු නිළියන්ගේ සැබෑ නම් භාවිතා කර තිබෙනවා?
නවකතා ඉතිහාසයේ මුල්වරට තමයි මම හිතන විදිහට ඒ වගේ දෙයක් වුණේ. ඒ කාලෙ හුඟක් ජනප්‍රිය නළු නිළියන්ගේ නම් ගම් මෙයට යොදා ගත්තා. ටෝනි, නීටා අද වගේම එදාත් හරිම ජනප්‍රියයි. නමුත් මෙහි ප්‍රධාන චරිත වල නම් ගම් මම මන:කල්පිතව භාවිතා කළා. මාධ්‍යවේදියා සුජිත් ලෙසත් නිළිය ‘මධුරා‘ ලෙසත් නම් කළා. සත්‍ය කතාවක් ලෝකයේ සැබෑ දේවල් සමඟ ගලපමින් කතාව ගොඩනැගුවා. මෙයට පාදක වන කතාව සත්‍ය කතාවක්. මේ නවකතාව කිය වූ බොහෝ දෙනෙක් පසුව මේ කියලා තියෙන්නේ අහවලා ගැන. නැහැ මෙයා ගැන ආදී වශයෙන් විවිධ අර්ථකතන දුන්නා. සිනමා ලෝකයේ වගේම ප්‍රේක්ෂකයන්, සිනමා රසිකයන් අතරත් ‘ආදරේ මිහිරක් නොවේ ‘ නව කතාව කතාබහට ලක් වූණා. ඒ වගේම ඉතා ඉක්මණින් පොත අලෙවිත් වුණා.
• මේ කෘතියේ කවරයත් විශේෂයි?
මුල් කවරය සැරසුවේ මාලනී ෆොන්සේකාගේ රුවින්. එයත් මේ පොතට විශේෂයක් වුණා. මේ නව මුද්‍රණය සඳහා වෙනස්ම කවරයක් යොදාගත්තා.
• යළිත් වරක් ඔබ මේ නවකතාව එළිදක්වන්න හිතුවේ ඇයි?
එයට විශේෂ හේතුවක් තමයි බොහෝ දෙනෙක් මගෙන් කරන ඉල්ලීම. එදා පරපුර මේ කෘතිය කියවා රසවින්දා දැන් අවුරුදු ගණනාවක් ගතවෙලා මේ කෘතියට මුහුණු පොතෙන් පුදුමාකාර විදිහට මට කමෙන්ට්ස් ලැබෙනවා. එනිසා මේ සියලු කාරණා ගැන හිතලා තමයි නැවත වතාවක් නව මුහුණුවරකින් යුතුව මේ නවකතාව එළිදක්වන්න මම අදහස් කළේ.
• අද ඔබ ආ ගමන් මඟ ගැන සතුටුද?
ගාල්ලේ මහින්ද විද්‍යාලයේ සිප්සතර හදාරද්දී මාධ්‍ය ලෝකයට මගේ හිත ගියා. පාසල් ජීවිතයට සමුදීලා රැකියාවක් අපේක්ෂාවෙන් ගෙදර සිටි කාලයේ මම ගෙදරට වී පුවත්පත් ගණනාවකටම ලියුවා. ඒ ලියූ ලිපි හැම එකක්ම වාගේ පත්තරේ පළවුණා. දිනමිණ,ජනතා, ලංකාදීප, සවස, ඉරිදා ලංකාදිප, රසවාහිනි, ශ්‍රී, ඉරණම,නවයුගය, වනිතා විත්ති වැනි පුවත්පත් වල මගේ ලිපි පළවීම මාව මාධ්‍යවේදියකු කරන්නට මුලික අඩිතාලම යෙදුවා. පසුව එවකට ජනප්‍රියව පැවැති 'කලා' පත්‍රයේ ලේඛකයෙකු වන්නටත් නව යුගය පුවත්පතට නිතර ලිපි සපයන්නටත් ඒ ඔස්සේ පසුකෙලක ලේක්හවුස් ආයතනයේ වෘත්තීය මාධ්‍යවේදියෙකු බවට පත්වෙන්නටත් මට අවස්ථාව හිමි වුණා. සරසවිය පුවත්පතේ විශේෂාංග ලේඛක මාධ්‍යවේදියකු ලෙස ගෙවූ 15 වසරක කාලය මාධ්‍ය ජීවිතයේ බොහෝ දේ ළඟාකර ගන්නට මට හැකි වුණා.
• පසුව ඔබ පුවත්පත් කිහිපයක්ම හිමි මාධ්‍ය ආයතනයක කර්තෘ බවට පත්වෙනවා?
ඔව්. පත්තර දහයකටම කර්තෘ වුණා. ඒ අතර ‘සුවඳ‘, 'බිරිඳ'වැනි පත්තර ලක්ෂය ඉක්මවා අලෙවි වුණා. මෙලෙස වාර්තා පිට වාර්තා තබන මාධ්‍ය ආයතනයක නිර්මාතෘවීමට ලැබීම මගේ ජීවිතයේ රන් පහන් දැල්වීමක් බවට පත් වුණා.
• ඔබේ පළමු නවකතාවෙන් පසුව දෙවැනි නවකතාව ලියන්න බොහෝ කාලයක් ගත වුණා?
මගේ දෙවැනි නවකතාව ලියැවෙන්නේ 21 වැනි ශත වර්ෂය මුල කිව්වොත් හරි. ‘පිණි කදුළ‘ 2001 වසරේ දී තමයි එළිදැක්වුයේ. එයට ප්‍රධාන හේතුව වුණේ පත්තරවල වැඩකරන කොට මුළු ජීවිතයම පුවත්පත් තමයි. එනිසයි එච්චර කාලයක් ගත කරන්න සිදුවුණේ. ඉදිරියේදී තවත් මෙවැනි නර්මාණ එස්සේ පාඨකයා හමුවට එන්නට මම සූදානම්.