
මංමුලා වුණු ජීවිතයකට මඟ හසර කියා දුන් සෙනෙහෙබර සිතක් ගැන කියන ආදරණීය නවකතාව
විශ්මිගේ පියා අන්දමන්දව සිටියේ සුභද්‍රා ආර්යාවගේ ප්‍රශ්නයට පිළිතුරක් දීගත නොහැකිවය. ඇත්තටම මේ පිළිගත හැකි යෝජනාවක්ද?
ඔවුන් කළුතර ධනවත් වංශවතුන්ය. කළුතර නගර මැද ඔර්ලෝසු කණුව අසලින් පලාතොට පාරේ යද්දී හමුවන ප්‍රතාපවත් සිංහ කුළුණු සහිත දොරෙන් ඇතුල්වන මහා මන්දිරය මුණ ගැසෙයි. තේ, පොල්, රබර්, රා රේන්ද, අරක්කු තැබෑරුම් වලින් ධනය ගලන මහා සිටුවරුන්ය. පාරම්පරිකව උපයන ලද දෙයින් ඔවුන් පින්දහම් කිරීමට පසුබට වී නැත. මෙවන් සුවිශේෂ පවුලකට දුව විවාහ කර දීමට පුළුවන්කමක් නැත.
මෙවන් යෝජනාවක් ගෙන ඒම පිළිබඳ සැකයක් ඇත. මෙතුමියගේ පුතුන්ගෙන් දුවට කරදරයක් ඇති වෙතැයි යන බිය සිතේ ඇත. තරංග පවසන්නේ එවන් අවදානමක් ඇති බවය. එසේත් නැතිනම් ඔවුන් අතින් කරදරයක් වූ නිසා මෙවන් යෝජනාවක් කරනවාද?
“මැඩම් මේ කතාව දුව දන්නවද?”
“දුව තියා අපේ පුත්තුවත් දන්නෙ නෑ. ඒ හැමටම හොරෙන් මම මේ ගමන ආවෙ.”
“එහෙම නම් මැඩම් ළමයින්ගෙ හිත් අවුස්සන්න ඕනැ නෑ. මේවා කවදාවත් වෙන්නෙ නැති වැඩ.”
“වෙනවද නැද්ද කියන එක අපිට අයිති නෑ. ඒක ඒ අයට තීරණය කරන්න ඉඩ දෙමු.”
“ඔබතුමී මේ අපේ දුප්පත් ගෙදරට ඒමෙන් අපිට කළේ ගෞරවයක්. මෙහෙම එන්නෙ නැතිව මට එන්ට කිව්වා නම් එනවනෙ.”
“නෑ නෑ ඒ ගමන් ඒ විදිහටම සිද්ධ වෙන්ට ඕනෑ. මේක මම ආ යුතුම ගමනක්.”
“අම්මත් නැතිව මේ දරුවා හැදුවෙ අමාරුවෙන්. වෛද්‍ය විද්‍යාලයට යන්න ලොකු උවමනාවක් තිබුණා. නෝනා නැති වෙච්ච හන්දා ඒ හැම දෙයක්ම මඟ හැරුණා.”
“විශ්මි මට මේ හැම දෙයක්ම කියල තියෙනවා. මේ දරුවට වෙදකමේ හොඳ අත්වාසියක් තියෙනවා. අද මේ කෙලින් ඉන්නෙ මේ දරුවා නිසයි.”
තිසේරා ගෞරව පූර්වකව ආර්යාව දෙස බලා සිටියේය. අද කිසිවෙක් තවත් කෙනෙක්ව අගේ කරන්නේ නැත.
“මගේ පුත්තු දෙන්නම ඉහළට ඉගෙන ගත්තෙ පිටරට ගිහින්. දන්නවනෙ ඒ රටවල ගෑනු පිරිමි සම්බන්දතා. අපේ පිරිමි ඒ රටවලට ගිහින් විනාශ වෙනවා.”
“ඔව් මැඩම් ඒ රටවල් අපට වැඩියෙ ඉහළින් ඉන්නෙ. ඒත් බොහෝ කරුණු අතින් අපිට වඩා පහළයි.”
“කොච්චර දඟකාර වුණත් පුත්තු දෙන්නම මට ඉහළින් යන්නෙ නෑ. ඒකයි මම යෝජනාවක් අරන් ආවෙ.”
ඔහු ඇය අගේ කරමින් බලා සිටියේය. විශ්වාස කළත් නැතත් හඳහන බැලූ අවස්ථාවේ දුවගේ අනාගතය විසඳෙන අයුරු පිළිබඳව පැවසූ හැටි තිසේරාට සිහිවෙයි. මැය කවදා හෝ ‘නායිකා’ වක් වන බව පැවැසූ හැටි මතකය.
“මට තියෙන ලෙඩවල හැටියට කොයි වෙලේද දන්නෙ නෑ. දරුවන්ට දේපල ඉඩ කඩම් වෙන් කරල තියනේනෙ. අනිත් කටයුතුත් ඒ විදිහට වෙන්ට ඕනෑ.”
“දෙවියන්ගෙ පිහිටයි. ඔබ වගෙ උත්තමාවන්ට කිසි දෙයක් වෙන්නෙ නෑ.”
“මට විශ්මිව ඕනෑ නිකං නෙමේ දුවෙක් විදිහට.”
මේ සංගීත ප්‍රසංගය පැවැත්වීමට අදහස් කළේ චතුරංගිගේ රෝගයට ආධාර කිරීම සඳහාය. මුලදි මෙයට තිබූ බාධක ඉවත්ව ඇත. මේ වන විට ඇය දේශීය වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබමින් සිටින්නීය. ආසියානු කලාපීය රටවල දේශීය වෛද්‍යවරුන් ඔවුන් සතු පාරම්පරික දැනුම ඒ වෙනුවෙන් යෙදීම සතුටට කරුණකි.
“දැන් කොහොමද?” සාරංග චතුරංගිගෙන් ඇසුවේය. ඇගේ දෙනෙත් කඳුළින් තෙත්ව තිබුණි.
ඇය මෘදු ලෙස ඔහුගේ අතින් අල්ලා ගත්තේ තමා වෙනුවෙන් කොන්දේසියක් නැතිව උපකාර කිරීම නිසාය.
“ඇයි මට මෙහෙම උදව් කරන්නෙ.”
“ඒක පස්සෙ කියන්නම්. ඉස්සෙල්ලා සනීප වෙන්න.”
“ඒක කවදාවත් වෙන්නෙ නෑ. ඒක නෙමේ කොන්සට් එක කවද්ද? අනේ මාවත් එක්ක යන්න ඕන.”
“හරි හරි. අනිවාර්යෙන් ම ඔයා එක්ක යනවා.”
ඇය වඩාත් උනන්දු වූයේ ප්‍රසංගය සාර්ථකව පවත්වනු දැකීමටය.
“විශ්මිව සෑහෙන දවසකින් දැක්කෙ නෑ. මාව බලන්න එන්න කියන්ට බැරිද?”
“එයාට මේ දවස්වල වැඩ වැඩියි. කැම්පස් එකේ කෝස් එකකට තේරිලා. දැන් කියනව යන්ට බැහැ කියලා.”
“ඇයි බැහැයි කියන්නෙ. මුකුත් බලපෑමක් තියෙනවද?”
“නෑ. නෑ. අම්මට සනීප නැති නිසා යන්ට බැහැ කියනව.”
“විශ්මි අන්න ඒ වගෙ උසස් ගති තියෙන කෙල්ලෙක්. යෝජනාවක් කරන්නද?” ඈ සිනාසෙමින් ඇසුවාය.
අම්මාගේ ඇමතුම සටහන් වුණි.
“අම්මා ඔයා කොහෙද මේ උදෙන්ම ගියේ.”
“මම පොඩි ගමනක් ගියා.”
“යන දිහාවක් කියල යන්නකො. කොහෙද ගිය ඔච්චර වැදගත්ගමන.”
“දෙයක් කියන්ට තියෙනව. එන්නකො ගෙදර. මම මේ ගෙදරට යන ගමන්.”
සුභද්‍රා මැතිනිය කාටත් නොකියා නිවසින් පිටව යාම පිළිබඳව විශ්මි පුදුමයට පත්වූවාය. කිසිම අයුරකින් තමාට නොදන්වා කිසිම ගමනක් යන්නේ නැත.
පන්සලට, කාර්යාලයට, සමාජසේවා කටයුත්තකට ගියත් අනිවාර්යයෙන් තමා කැඳවා ගෙන යයි.
උදේ සම්බාහන කටයුත්තක් කිරීමට නියමිතව තිබුණි. අද යායුතු කොළඹ ගමන පවා නතර කළේ ආර්යාව නිසාය. මට කියන්නෙ නැතිව ගියේ වැදගත් ගමනක් වෙන්ට ඕනෑ. සුගන්ධ ද කල්පනාවේ ගැලී සිටී.
“එන්න තේ බොන්න.” විශ්මි සුගන්ධට කතා කළාය.
“මට එපා”
“ඇයි ඉතින් මේ තරහ ගන්නෙ. මෙඩිසින් වලට තේරුණම යන්නම්.”
ඔහු මෘදු ලෙස ඇගේ අතින් අල්ලා ගත්තේය. බියට පත් ඇය පරෙස්සමින් ඔහුගේ අත ඉවත් කළාය. මේ උත්තමාව තබා ඇති විශ්වාසය බිඳ දැමීමට නොපුළුවන. දඟකාර පිරිමි දෙදෙනෙක් සිටිනා නිවසක ආරක්ෂාවීම පහසු නැත. නරක දෙන්නෙක් නෙවේ. ඒත් හැම දේකම සීමාවක් තබා ගත යුතුය.
තාත්තාගෙ ඇමතුම ඈ හඳුනා ගත්තාය. ඇය සිතාසිටියේ තමා විද්‍යාලයට නොගිය බව තාත්තාට පැවසීමටය.
“මම මේ තාත්තට කතා කරන්නයි හිතන් හිටියෙ. මැඩම්ට ප්‍රතිකාර කරන්න ගිය නිසා අද විශ්ව විද්‍යාලයට යන්ට බැරි වුණා.”
ඔහු මොහොතක් කල්පනා කළේය.
“දුවට මංගල යෝජනාවක් ආවා.”
“ඒක ඉතින් තාත්තට හැමදාම එන එකනෙ. මම බඳින්නෙ නෑ. තාත්තව දාල යන්නෙ නෑ.”
“පැට්ට්‍රෝලියම් එකෙන් අස්වෙන කොට ගත්ත සල්ලි ඔයා නමින් FD එකක් දැම්මා. දැන් ඒක පොලීවෙලා ඇති. හොඳ වැදගත් මිනිස්සු.”
“කව්ද ඔය තරම් වැදගත්. රජ පවුලකින්ද?”
“ඒ වගෙ තමා. සුභද්‍රා මැඩම් ඇවිදින් දුවෙක් විදිහට ඔයාව ඉල්ලුවා.”
ලබන සතියට