ස්වර්ණ­වා­හි­නි­යෙදි බයිට් වුණු කාල­යක් තිබුණා | Page 3 | සිළුමිණ

ස්වර්ණ­වා­හි­නි­යෙදි බයිට් වුණු කාල­යක් තිබුණා

 මනුෂ නානායක්කාර

අමතක නොවන මතකය විශේෂාංගයෙන් මෙවර මතකය අවදිකරන්නේ මාධ්‍යවේදියකු, අපේ රටේ තරුණ නියෝජ්‍ය අමාත්‍යවරයකු වන මනුෂ නානායක්කාරය. මනුෂට මාධ්‍ය ජීවිතයේ මෙන්ම දේශපාලන දිවියේත් අමතක නොවන මතකයන් බොහෝයි. ඒ ගැන අප හා මෙසේ පැවැසුවා.

අපි මහ ගෙදර පදිංචිව සිටි කාලය හරිම සුන්දරයි. භීෂණ සමයත් එක්ක අපේ ජීවිත අනෙක් පැත්තට හැරුණා. එහි අඳුරු මතකයන් කවදාවත් අමතක වන්නෙ නැහැ. තාත්තා අපි අතරින් වෙන් වුණේ පාසල් යන කාලයේදී. එතකොට මල්ලි ගොඩක් පොඩියි. අක්කත් පාසල් යනවා. අම්මා ගුරුවරියක් වුණත් තාත්තා නැතිව හරිම අමාරුවෙන් තමයි අපිව ජීවත්කළේ. මට මතකයි පාසල් අධ්‍යාපනය ඉවරවෙන්නත් කලින්ම මම රක්ෂණ නියෝජිතවරයෙක් ලෙස වැඩ කළා. ඒ ගෙදර තිබුණු ආර්ථික අපහසුතා මගහැරගන්නයි. සාමාන්‍ය පෙළ විභාගයෙන් ඩී හයයි සී දෙකක් ගත්තා. පළමු වතාවේදී ගණිත අංශයෙන් විභාගයට පෙනී සිටියත් විශ්ව විද්‍යාලයට යන්න බැරිවුණා. දෙවැනි වතාවේදීත් සමත්වුණේ නෑ. තුන්වැනි වර මාස හතරක් ඇතුළත කලා අංශයෙන් උසස් පෙළට පෙනී සිට ඉහළින්ම සමත් වුණා.

රස්තියාදු ගහපු කාලය

කොළඹ පාසල්වල පැවැත්වෙන ශිෂ්‍ය නායක දිනවලට ගාල්ලේ ඉඳලා කෝච්චියේ හරි බස් එකේ හරි එනවා. මහින්දේ ශිෂ්‍ය නායකයින් කියලා කිව්වාම ලංකාවේ සෑම පාසලකම ශිෂ්‍ය නායකයන් අතර යම් පිළිගැනීමක් තිබෙනවා. අධ්‍යාපනයට වගේම පොදු වැඩවලදීත් කරලා තියෙන දේවල් දැක්කාම මහින්දේ ශිෂ්‍ය නායකයන්ට විශේෂ තැනක් ලැබෙනවා. පාසල් යන කාලයේදී අපි කරක්ගහපු නැති තැනක් නැතිව ඇති. හැම තැනම යනවා. හවසට ගාල්ල කොටුවට ගිහින් පොඩි රස්සතියාදුවක් ගහපු අතීතයකුත් තිබෙනවා.

කතාවක් කරන්න ගිහින් ඇඬුවා

මම වේදිකාවේ, රූපවාහිනියේ නිවේදයෙක් ලෙස කටයුතු කළාට පොඩි කාලයේදී තරමක් ලජ්ජාශීලී අයෙක්. ඒ කාලයේදී දහම් පාසලේදී හාමුදුරුවෝ මට කතාවක් කරන්න කිව්වාම කතාව කියන්නේ නැතිව ඇඬුවා. දෙවැනි දවසේත් කතාවක් කරන්න කියලා හාමුදුරුවෝ කිව්වාම දෙවැනි දවසේත් ඇඬුවා. තුන්වැනි දවසේත් බේරීමක් තිබුණේ නෑ. කොහොම හරි කතාවක් කරන්න සිද්ධවුණා. එදා දහම්පාසලේදී තමයි මම මුල්ම කතාවක් කළේ. ඒ පාසල් වෑන් රථය ගැනයි. එදා ඇඬුවාට පස්සේ කවදාවත් කතා කරන්න කිව්වාම ඇඬුවේ නෑ.

සිරස හීනයක් වුණා

පාසල් යන කාලයේදී තමයි සිරස රූපවාහිනිය ආරම්භ කළේ. ශිෂ්‍ය නායක දිනයකට කොළඹ ශාන්ත පාවුළු බාලිකාවට ආපු වෙලාවේදී චන්ද්‍ර කළුආරච්චි මහත්මිය තමයි සිරස ආරම්භ කිරීම ගැන මුල්ම හෝඩුවාව දුන්නේ. එතකොට උසස් පෙළ කරන අවුරුද්ද. සිරසට යන්න අයදුම්පතක් දැම්මා. නිමල් ලක්ෂපතිආරච්චි මහත්මයාට කතා කරනවා. මට මතකයි දෙපානම අරලිය උයනේ තියෙන සිරසට කතා කරන්නේ කිසිම බයක් නැතිවයි. එතකොට මේ දරුවා කතා කරන්නේ කොහෙන්ද කියලා අහනවා. ගාල්ලෙන් කියලා උත්තර දෙනවා. එහෙම ටීවී එකක් පටන්ගන්නේ නැහැ කියලා දුරකතනය තියනවා. ඒත් මම ලැජ්ජ නැතිව තව ටික දවසකින් ආයිත් කතා කරනවා.

ස්වර්ණවාහිනිය ජීවිතය අලුත් කළා

ස්වර්ණවාහිනියෙන් තිර පරීක්ෂණයක් කරන්න කියලා ස්වර්ණවාහිනියට එන්න කිව්වා. මම ඉස්කෝලෙන් ආපු පොඩි එකෙක් විදිහට කැමරාව ඉස්සරහට ඇවිත් කතා කළා. ඒත් ස්වර්ණවාහිනියේ දොර ඇරුණේ නෑ. ඒත් උත්සාහය අත්හැරියේ නෑ. කවදා හරි මම ටීවී එකේ නිවේදයෙක් වනවා කියන අධිෂ්ඨානය තිබුණා. දන්නා අයෙක් මාර්ගයෙන් රූපවාහිනී අභ්‍යාස ආයතනයෙන් පාඨමාලාවක් හදාරන්න ගත්තා. ඒ සඳහා රැන්ඩෝල් මහත්මයා උදවු කළා. පසුව ස්වර්ණවාහිනියෙන් මට එන්න කියලා වැඩසටහනක් දුන්නත් එකපාරටම වැඩසටහනක් කරන්න දුන්නේ නෑ. උදේ හතට විතර එන්න කියලා කියනවා. රෑ නමයට තමයි වැඩසටහන කරන්න ලැබෙන්නේ. අයියලා අක්කලා වතුර ගෙනත් දෙන්න කීවහම ගෙනත් දෙනවා. මල්ලි මේ වයර් එක අකුලන්න කීවහම ඒකත් කරනවා. කැමරාව අල්ලන්න කියනවා. ඔහොම තමයි නිවේදකයෙක් වුණේ. ඒ අතීතය මතක් වනවිටත් තවමත් දැනෙන්නෙ සතුටක්.

මුල්ම පඩිය රුපියල් හාරසියයයි

මට මතකයි මුල්ම වැඩසටහනින් රුපියල් හාරසියක මුදලක් ලැබුණා. අක්කාගේ බෝඩිමට ඇවිත් නැවතුණා යන්න එන්න පහසුනිසා. ඒ කාලයේ ලයිව් ඇට් එයිට් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම අලුත්ම අත්දැකීමක්. එය ඉදිරිපත්කළ කාලය මගේ ජීවිතයේ අමතක නොවන කාලයක්. පසු කාලයේදි ප්‍රවෘත්ති අංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා බවට පත්වුණා.

දවසක් ස්වර්ණවාහිනිය ළග බස් හෝල්ට් එකේ බස් එක නතර කළේ නෑ. බස්එකේ සයිඩ් කණ්ණාඩියට ගහලා බස් එක නතර කරගෙන ස්වර්ණවාහිනියට දුවලා ගියා වැඩසටහනට පරක්කු නිසා. එදා තුවාල වුණු අතත් බැඳගෙන වැඩසටහන ඉදිරිපකළ එක අදවගේ මතකයි.

රූපවාහිනියෙ ගෙවුණු වසර දෙක

මම ජාතික රූපවාහිනියට එනවිට ජාතික රූපවාහිනියට ගන්න එපා කියලා පෝස්ටර් ගහලා තිබුණා. මංගලගේ කොල්ලා ගන්න එපා කියලා පොස්ටර් ගහලා තිබුණේ. කොහොම හරි අවුරුදු දෙකක් රූපවාහනියේ සිටියා. ආණ්ඩු මාරුවත් සමග මට රූපවාහිනියෙන් යන්න කීවා.

පක්ෂය මාරු කරන්න නියෝග

පැය විසිහතරක් ඇතුළතට රූපවාහිනියෙන් යන්න කියපු අය මට පස්සේ කතා කරලා දේශපාලන මතවාදය අංශක එකසිය අසූවකින් අනෙක් පැත්ත හරවා ගන්නවානම් අයිමත් රූපවාහිනියට එන්න කියලා කිව්වා. මම බම්බු ගහගන්න කියලා රූපවාහිනියෙන් එළියට ඇවිත් දේශපාලනයට සම්බන්ධ වෙනවා කියලා තීරණය කළා මට හොඳට මතකයි. රැකියාව වෙනුවෙන් දේශපාලනය වෙනස් කරන්නේ නැහැ කියන මතයෙයි මම සිටියේ.

රැකියාව වෙනුවට දේශපාලනය

දේශපාලනයට එනකොට මගේ අතේ සත පහක් තිබුණේ නෑ. පෝස්ටරයක් ගහන්න සත පහක් තිබුණේ නෑ. දේශපාලන වැඩවලට යන්න වාහනයක් තිබුණේ නෑ.හැබැයි අපි ඡන්දය කළා. 2004 පළාත් සභා මැතිවරණයට තමයි මුලින්ම ඉදිරිපත් වෙන්නේ. දේශපාලනයට ආධුනිකයෙක් වූ මට පළමු මැතිවරණයේදීම මනාප දහසයදහසකට වැඩි ප්‍රමාණයක් ලැබුණා. දකුණු පළාත් සභාවේ මන්ත්‍රි වරයෙක් බවට පත්වුනේ දිස්ත්‍රික්කයේ තුන්වැනි තැනට පත් වෙමින්. පළමු මැතිවරණයේදී ඕන නම් පෝස්ටර් දස දහසක් ගහන්න ඇති. ගමින් ගමට ඇවිද්දා. පුලුවන් තරම් මහන්සි වුණා. මට උදවුකළ අය අදටත් මා වටා ඉන්නවා.දෙවැනි පළාත් සභා මැතිවරණයටත් තරග කර දිස්ත්‍රික්කයේ දෙවැනි තැනට මනාප ගත්තා.

පාර්ලිමේන්තුවට යන්න වරම්

දේශපාලන පවුල් පසුබිමක් නොතිබුණු මනූෂ නානායක්කාර කවදාවත් පාර්ලිමේන්තු යාවි කියලා බොහෝ අය හිතුවේ නෑ. ඒත් මම 2010 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගෙන පාර්ලිමේන්තුවට පත්වීම මගේ ජීවිතයේ සදා මතකයේ රැදී තියෙනවා. පාර්ලිමේන්තු ඡන්දයට ණය වෙලා තමයි වැඩ කළේ. සමහරු ලක්ෂ හත්සීය අටසීය වියදම් කරන විට අපි ලක්ෂ විස්සක්වත් වැය කරන්නේ නැතිව ඡන්දය දිනුවා. ගාල්ල දිස්ත්‍රික්කයේ පළමු තැනට ඡන්දය ලබාගනිමින් ජයග්‍රහණය කළා. ජනතාවට කරපු සේවය නිසා දෙවැනි වරටත් මැතිවරණය ජයගත්තා. අද මේ ආණ්ඩුවේ සිටින ළාබාලතම නියෝජ්‍ය ඇමැතිවරු කිහිපදෙනා අතරට පැමිණීමට හැකියාව ලැබුණා.

දරුවන් හැමදාම මගේ ලෝකයයි

ආදරණීය දරු කැදැල්ලක පිය සෙනෙහස විදිමින් ඉන්න අයෙක් මම. මගේ බිරිද ශානිකා, දරුවන් එක්ක සතුටින් ඉන්නවා. අපේ කැදැල්ලට අලුතින් එකතුවුන සාමාජිකාව තමයි දැන් අපි හැමෝගෙම ආදරය දිනාගෙන ඉන්නේ. ඔවුන් ගෙනෙන්නේ මගේ ජීවිතයට හරිම මිහිරක්.

 

Comments