මට තරහකාරයෝ නැහැ | Page 4 | සිළුමිණ

මට තරහකාරයෝ නැහැ

අංජලී ලියනගේ

කලකට පසු දෙවැනි ඉනිම,පැහැසරා,මෙඩිසිනා යන ටෙලිනාට්‍ය ගණනාවක රඟපාමින් ඇය යළිත් ප්‍රේක්ෂක ආදරය දිනාගනිමින් සිටී.පසුගිය දිනවල ඇය වැඩිය දකින්න නොලැබුණු නිසාම, රසඳුනේ අපි ඇයව සොයා ගෙන යන්න තීරණය කළා. ඇය ජනප්‍රිය ‘තරුවක් වූ රංගන ශිල්පීනී අංජලී ලියනගේ. ඇය සමග ගෙවුණු ඒ කාලය අපි ඔබත් සමඟ බෙදා ගන්න තීරණය කළේ මේ විදිහටයි.

ඉතිං කොහොමද අංජලී ?

මේ දවස් ටිකේ චුට්ටක් විතර කාර්යබහුලයි. ගොඩක් නෙමෙයි.සුපුරුදු විදියට හොඳින් ඉන්නවා.

ඇයි චුට්ටක් කාර්යබහුල,මොනවද මේ දවස්වල කරන වැඩ?

ටෙලි නාට්‍ය කිහිපයකටම වගේ සම්බන්ධ වෙලා ඉන්නවා. මේ දවස්වල ටෙලි නාට්‍ය දෙකක් වගේ තමයි විකාශනය වන ඒවා තියෙන්නේ. ඉතිං ඒවගේ රූගත කිරීම් වලට සම්බන්ධ වෙනවා.

ඔබ කියන ටෙලි නාට්‍ය සඳහා ලැබෙන ප්‍රතිචාර කොහොමද?

හොඳ ප්‍රතිචාර ලැබෙනවා.මේ දවස්වල විකාශනය වන ‘පැහැසරා’ කියන ටෙලි නාට්‍යයේ නිරුපණය කරන්නේ ටිකක් වෙනස් චරිතයක්. ඒ ‘ශීලා’ කියන චරිතයට මම උපරිම සාධාරණය ඉටු කරනවා කියලා හිතනවා. ඒ වගේ මේ දිනවල ගොඩක් ජනප්‍රිය ‘දෙවැනි ඉනිම’ ටෙලි නාට්‍ය විකාශනය වෙනවා. ඒ නිර්මාණය තුළදී මට ටිකක් වෙනස් චරිතයක් ලැබිලා තියෙනවා.ඒ අම්මා කෙනකුගේ චරිතයක්. සාමාන්‍යයෙන් මට අම්මා වරුන්ගේ චරිත කරන්න බොහෝ අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වුණාට මේක ටිකක් වෙනස්.අවුරුදු 18 විතර දරුවෝ දෙන්නකුගේ අම්මා කෙනකු ගේ චරිතයක්. එකත් පොඩ්ඩක් වෙනස් අත්දැකීමක්. විශේෂයෙන් කියන්න ඕන ‘මෙඩිසිනා’ නාට්‍යටත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

ඇයි ඔබට ‘අම්මා ’ කියන චරිතය වැඩිපුර ලැබෙන්නේ ?

ඇත්තටම මම දන්නේ නැහැ. මම පෙම්වතියකගේ චරිත කරලා තියෙනවා. 2ක්, 3ක් වගේ. ඊට පස්සේ මට ලැබිල තියෙන්නෙම පුංචි දරුවන් ඉන්න අම්මගේ චරිත එහෙම නැත්නම් දරුවෝ නැතිව දුක් විදින අම්මගේ චරිත. ඉතිං ඒ වගේ චරිත ලැබෙන්නේ ඇයි කියලා මම දන්නේ නැහැ. මට හිතෙන්නේ, මට ඒ වගේ චරිත ලැබෙන්නේ මම හොඳින් ඒ චරිතය කරන නිසා වෙන්න ඇති.

අම්මා කෙනෙක් විදියට ඔබ ඒ චරිතෙට කොයිතරම් සාධාරණයක් ඉටු කරනවද?

සමහර චරිත තියෙනවා, දරුවෝ නැතිව, දරුවෝ බලාපොරොත්තුවෙන් ඉන්න අම්මගේ චරිත. ඇත්තටම අම්මා කෙනෙක් විදියට ඒ චරිත මට හිතට තදින් දැනෙනවා. ඉතිං මම ඒ සඳහා උපරිම සාධාරණයක් කරනවා කියලා මම හිතනවා. ඒ චරිත හොඳින් කරන නිසානේ මට නැවතත් ඒ වගේ චරිත වලට කතා කරන්නේ.

හිතෙන්නේ නැද්ද,ඔබ එක චරිතෙකට කොටු වෙලා කියලා ?

හ්ම්.....සමහර විට එහෙම වෙන්නත් ඇති.නමුත් විකාශනය නොවුණු ටෙලි නාට්‍ය කිහිපයක්ම තියෙනවා. ඒ නිර්මාණ වල වෙනස් චරිත ලැබිලා තියෙන්නේ. මට හැබැයි විවිධාකාර චරිත හම්බවෙලා නැහැ. එකම විදියේ චරිත ලැබෙන නිසා, කොටු වෙලා කියන හැඟිමකුත් දැනෙනවා. දැන් දැන් මට වෙනස් විදියේ චරිත සඳහා දායක වෙන්න අවස්ථා ලැබෙනවා.

රංගනයේදී ලැජ්ජාව සහ බය කියනදේ නැති වෙන්න ඕන කියන කතාව ඇත්තද?

එහෙම නැහැ.කාන්තාවකට ලැජ්ජාව, බය කියන දේ තියෙන්න ඕන දෙයක්.

ඔබ ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කාලයක් වෙනවද?

අවුරුදු 13 ක්

සාමාන්‍යයෙන් ක්ෂේත්‍රයේ රැඳිලා ඉද්දි එක එක අයගෙන් බලපෑම් එනවා කියලා සමහරු කියනවා. ඔබට කාගෙන්වත් ඒ වගේ බලපෑම් එල්ල වෙලා නැද්ද?

මේක ගොඩක් ගෞරවනීය ක්ෂේත්‍රයක්. ඉතිං මේ තැනට ඇවිල්ලා හරි විදියට ඉන්නවා නම් කවුරුත් අයුතු බලපෑම් කරන්නේ නැහැ. මම දන්නේ නැහැ එහෙම දේවල් වෙනවද කියලා. හැබැයි මට කවුරුත් එහෙම අයුතු බලපෑම් කර නැහැ.අපි ඉන්න විදියත් එක්ක, කතා කරන විදියත් එක්ක, අපි පාඩුවේ ඉන්නව නම් කවුරුත් අපිට එහෙම දෙයක් කියන්නේ නැහැ.මට ඒ වගේ බලපෑම් කියලා දෙයක් ඇවිත් නැහැ.

ඔබට දැනෙන විදියට ඔබට ක්ෂේත්‍රයේ තරහකාරයෝ ඉන්නවද?

නැහැ. ඇත්තටම මම දන්නේ නැහැ මාත් එක්ක තරහවක් තියෙන අය ඉන්නවද කියලා. මම දැනුවත්ව මට තරහකාරයෝ නැහැ. මම කා එක්කවත් තරහ නැහැ.මම කාත් එක්කවත් කිසිම ප්‍රශ්නයක් ඇති කරගෙනත් නැහැ. හැමෝමත් එක්ක ගොඩක් හිතවත්.

ඔබ B’day surprise එකක් නිසා කාලයක් හිට් වෙලා හිටියා නේද?මේ අවුරුද්දෙත් ඒ වගේ surprise ලැබේවිද?

B’day surprise ක් එකක්.. මොකද්ද ඒ... අම්මෝ... දැන් මතක් වුණේ. මම උපන්දින පාටියක් ගත්තත් සාමාන්‍යයෙන් ඒ දේවල් සමාජ ජාල වලට දෙන්නේ නැහැ. අර ඔය කලින් කියපු දේ ඇත්තටම යාළුවෙක් යාළුකමටද මන්දා මොකද්දෝ හේතුවකට මම කියපු දෙයක්, ඒක වෙනස් කරලා සමාජ ජාල වෙබ් අඩවියකට දීලා තිබුණා. අපේ රටේ ප්‍රභූවරයෙක් සම්බන්ධ කර ගනිමින්නේ කතාව ගිහින් තිබුණේ. ඇත්තටම මට එහෙම කතා කරලත් නැහැ.මට එදා උදේ පාන්දර ඒ විදියට යාළුවෙක් විහිළුවක් කළා. මම ඒක තව යාළුවෙකුට කිව්වා. ඒ යාළුවා තමයි ඔය දේ ඉතිං ඇත්තටම මෙහෙම දෙයක් වුණා කියලා ගොසිප් එකට දාල තිබුණේ. පස්සේ මම ඇත්ත ප්‍රකාශ කරලා දැම්මා.

ආයේ ඒ වගේ හිට් වෙන්න කැමැති නැද්ද?

නැහැ. සාමාන්‍යයෙන් මම එක එක දේවල් සඳහා සහභාගී වෙනවා අඩුයි. ඒ කිව්වේ උත්සව, රියැලිටි වැඩසටහන් වගේ දේවල්. මට සිංදු කියන්න බැහැ. ඒ නිසා මම ඒ දේවල් වලට යන්නෙත් නැහැ. බැරි දේවල් කරන්නෙත් නැහැ. ඒ ලොකුකමක් නිසා නෙමෙයි. මම ආසා නැති නිසා. මම හිතන්නේ මගේ මේ article එකක් යන්නෙත් අවුරුදු 3කට විතර පස්සේ.

ඇත්තටම ඔබ ආඩම්බර නිසාද ඒ දේවල් වලට යන්නේ නැත්තේ, නැත්නම් ඔබ ගොඩ නගාගෙන තියෙන නිතී රීති නිසාද?

සාමාන්‍ය කාන්තාවක් සතුව තියෙන්න ඕන ආඩම්බරකම තියෙනවා. නමුත් මම හැමෝමත් එක්කම ගොඩක් සුහදයි. මම දාගෙන තියෙන නීතියකුත් නෙමෙයි. මම කැමැති අකැමැති දේවල් තියෙනවා නේ. යන්නම ඕන තැනකට යනවා මිසක් එහෙම අනිත් දේවල් වලට යන්නේ නැහැ.

Comments