නිද­හසේ පියා D S යළි ජීව­මාන වෙයි | Page 3 | සිළුමිණ

නිද­හසේ පියා D S යළි ජීව­මාන වෙයි

 ඩී.ඇස්. සේනානායක ලක්ෂ්මන් මෙන්ඩිස්

 ජේ.ආර් ජයවර්ධන උදිත් අබේරත්න

 එස්.ඩබ්.ආර්. ඩී. බණ්ඩාරනායක සාරංග දිසාසේකර

 ඩී.ආර්. විජයවර්ධන එරංග ජීවන්ත

නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය වරයා වන මහාමාන්‍ය ඩී.ඇස්. සේනානායකයන්ගේ ජීවිත කතාව මේ දිනවල සිනමාවට නැගෙමින් පවතී.මේ කතාව එතුමන්ගේ ජීවිතය හා බැඳුනක් වුවත් එය අපේ රටේ දේශපාලනය, අතීත සමාජයේ සිදුවුණු සුවිශේෂී සිදුවීම්,මෙන්ම නිදහස දිනාගැනීමේ ඓතිහාසික සිදුවිම් පිළිබඳව කියැවෙන වර්තමානයේ ජීවත්වන බාල, තරුණ, මහලු , ජාති,ආගම් භේදයකින් තොරව සියලුම දෙනා දැනගත යුතු කතාවකි. නීතිඥ සමන් වීරමන් ගේ උපදේශකත්වයෙන් සුනෙත් මාලිංග ලොකුහේවා අධ්‍යක්ෂණය කරන ‘නිදහසේ පියා ඩී එස්‘ චිත්‍රපටය ගම්පහ මීරිගම අවට, මහනුවර, බෝගම්බර, පේරාදෙණිය, රන්මිහිතැන්න ඇතුළු එතුමන්ගේ ජීවිතය හා බැඳුණු ප්‍ර දේශ රැසක මේ වනවිටත් රූගත කෙරේ.

දොන් ස්පාටර් සේනානායක මුදලිතුමාට දාව දෝන කැතරිනා එලිසබෙත් පෙරේරා ගුණසේකර සේනානායක මැතිණියගේ කුසයෙන් මීරිගම බෝතලේ වලව්වේදී 1884 ඔක්තෝබර් 20 දා මෙලොව එළිය දුටු ඩී එස් සේනානායක ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලෙන් අධ්‍යාපනය ලැබීය. ඉන්පසු ටික කලක් පියාගේ රබර් වගාවට සම්බන්ධ වෙමින් කටයුතු කළ ඔහු ලිපිකරුවකු ලෙස ද කටයුතු කළේය.1912 ඇතිකළ අමද්‍යප ව්‍යාපාරයට සම්බන්ධ වු මෙතුමා, ජාතික නිදහස් සටනට ප්‍රබල දායකත්වයක් දැක්වූයේය.1947 සිට නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය වරයා වුණු මෙතුමා වයස 68 දී (1952 මාර්තු 22 ) මියගියේය.

ඉතා පැහැබර උදැසනක තම අසු පිට නැගී සුපුරුදු ලෙස ව්‍යායාම සඳහා ගාලුමුවෙදොර පිටිය වෙත පැමිණෙන ස්ටීවන් සේනානායක මහතා, තම යාවජීව සගයින් වූ රිචඩ් අලුවිහාරේ සහ ජි.ජි පොන්නම්බලම් සමග අසු පැදීමේ නිරත වන්නේ රටේ මතු අනාගතය පිළිබඳ තමන් දකිනා සුබ සිහින ගැන ඉතා අපේක්ෂාසහගත අයුරින් බවට වූ කතා බහ සමගය.

ගතවන්නේ නිමේෂයකි. නොසිතු විරු ලෙස ස්ටීවන් මහතා අසු පිටින් ඇද වැටෙන්නේ සියල්ලන් හට සිතා ගැනීමට වත් කාලයක් ඉතිරි නොකරමිනි.

ඔහු සිහිසුන් වෙයි. සියල්ල ආරම්භ වන්නේ මෙතැන් පටන්ය.කථාව මෙතැන් සිට ඔහුගේ නව යොවුන් විය වෙත ගමන් ගන්නා අතර,ස්ටීවන් මහතා එවක කොතරම් ජව සම්පන්න වූ මල්ලව පොර ශුරයකුද යන්න පැහැදිලි වන්නේ ඔහු ඉතා තියුණු මල්ලව පොර තරගයක් ජය ගැනීමත් සමගය. ප්‍රභූ පවුලක මෙහේශාක්‍ය බවට උරුමකම් කියනා අන්දමේ විවාහයකින් යුත් ඔහුගේ වැඩිමහලු සොහොයුරා වන ඩි. සී සේනානායක මහතාගේ විවාහ මංගල්‍යය, ඔහුගේ ජීවිතයේ සංසාරගත උරුමක්කාරිය වන මොලී දුනුවිල සොයා දුන් මොහොතයි.

මහනුවරින් ආරම්භ වන ගැටුම් මාලාවකින් බොහෝ බරපතල ජීවිත සහ දේපොළ හානි සිදුවන අතර ගැටුමේ ඇති තත්වය කැරලිකාර ස්වභාවයක් ලෙස නම් කරමින් ඉංගිරිසි කිරීටයේ ආණ්ඩුව විසින් ඊට එරෙහිව යුද නීතිය ප්‍රකාශයට පත් කරනු ලබයි.ඒ යටතේ ස්ටීවන් ඇතුළු අමධ්‍යප ක්‍රියාකාරින් රැසක්ම ඔවුන්ගේ අත්අඩංගුවට පත්වෙයි. ඉතා නින්දිත ලෙස මානසික සහ ශාරීරික වද වේදනා වලට ලක් වන පිරිසගේ ඉවසීමේ සීමාව ඉක්මවා යනුයේ සුදු අධිරාජ්‍යවාදීන් විසින් ඉතා කූට ලෙස සැලසුම් කොට තම යාවජිව සාමාජිකයකු වූ හෙන්දි පේදිස් වෙඩි තබා ඝාතනය කිරීම සමගය.

ලංකා ජාතික සංගමය ආරම්භ කරමින් ඇති වන නැවුම් පෙරළියෙන් ස්ටීවන්ගේ ජීවිතයේ දේශපාලනික අත් පොත් තැබීමට මුල පිරුවේය.

1924 මැතිවරණයේදී ස්ටීවන් වෙත තිබු දැඩි ජනතා ප්‍රසාදය නිසා ව්‍යවස්ථාදායක සභිකයකු ලෙසස්ටීවන් නිතරගයෙන් තේරී පත්වෙයි. ඉන්පසු

ස්ටීවන් ඩොනෙමෝර් ආණ්ඩුකමප්‍රතිසංස්කරණය යටෙත් පළමු මැතිවරණය වෙනුවෙන් තරග කරයි.ඉන් ජය ගන්නා ඔහු හට ඉඩම් සහ කෘෂිකර්ම අමාත්‍යධුරය හිමි වෙයි. ඉතා දුරබැහැර වනගත පෙදෙස් සොයා යමින්, ඒවායේ ජනපද පිහිටුවීම ආරම්භ කරයි.ගල්ඔය මිටියාවත දේශයේ ජීවනාලිය බවට පත් කිරීමට, ස්ටීවන් පියවරතබන්නේ මතු බලාපොරොත්තු රැසක් සමගය. ඊට මැනවින් නායකත්වයදෙන ස්ටීවන් රටේ මතු බලාපොරොත්තු පීදෙනා මොහොතක, නොසිතු විරුලෙස ස්ටීවන්ගේ සදහටම සමුගන්නා අතර සුපුරුදු ඕකිඩ් යාය පරවී යන්නේ නරඹන්නාගේ දෑසට කඳුළක් එක් කරමිනි.

මෙහි ස්ටීවන් සේනානායක වැඩිහිටි චරිතය ලක්ෂ්මන් මෙන්ඩිස් නිරූපණය කරන අතර තරුණ අවධිය නිරූපණය කරන්නේ තුමිඳු දොඩන්තැන්න විසිනි.සුසන්තා චන්ඳ්‍රමාලි ( මොලී දුනුවිල -වැඩිහිටි ), තිසුරි යුවනිකා ( මොලී දුනුවිල -තරුණ ), පාලිත සිල්වා ( එෆ්.ආර්. සේනානායක-වැඩිහිටි), ජී.ආර්. පෙරේරා, බුද්ධදාස විතානආරච්චි, ජනක් ප්‍රේමලාල්, ජයලාල් රෝහණ, සාරංග දිසාසේකර, කමල් දේශප්‍රිය, චන්දික නානායක්කාර, ඩග්ලස් රණසිංහ, ශ්‍රියන්ත මෙන්ඩිස් ඇතුළු නළු නිළියන් රාශියක් රංගනයෙන් දායක වෙති.

ආචාර්ය විජයදාස රාජපක්ෂ නිෂ්පාදනය කරන ‘නිදහසේ පියා ඩී එස් ‘ චිත්‍රපටයේ සම නිෂ්පාදනය ජේ.සී. අලවතුවල සහ සස්ත්‍රීය වීරසිංහ විසිනි. සමන්ත පෙරේරා සංගීත අධ්‍යක්ෂණයෙන්ද, චන්දන ජයසිංහ කැමරා කරණයෙන්ද, ධම්මික හේවාදුවත්ත කලා අධ්‍යක්ෂණයෙන්ද, තාරක අධිකාරි අංගරචනා වෙන්ද, ඇන්ටන් ජේ ප්‍රනාන්දු මාධ්‍ය සම්බන්ධීකරණයෙන්ද දායක වෙති. 

 

Comments