
වොල්ගා හර්ෂණට හඳහන් ප්‍රශ්නයක්
වොල්ගා - හර්ෂණ කියන්නේ අපට සිටින තවත් දක්ෂ වගේම ප්‍රේක්ෂක ආදරය දිනා ගත් ජනප්‍රිය තරු යුවළක්. හැබැයි මේ දෙන්නගේ ජනප්‍රියත්වයේ තරමටම මේ දෙන්නට වෙන අකරතැබ්බයන්ගෙන් නිමකුත් නෑ... පහු ගිය කාලේ ෆේස් බුක් කතන්දරයක් නිසා දෙන්නට තිබුණේ පුදුම කරදරයක්. අන්තිමට නිති මාර්ගෙටම නොගිහින් වැඩේ ගොඩ දා ගන්න බැරි තරමටම ඒ ප්‍රශ්නේ දුර දිග ගියා....ඇයි ඒ අතර වොල්ගා - හර්ෂණ නොකියු කතන්දර පත්තරවල ගිය අවස්ථාත් අනනත්යි... හැබැයි ඔන්න අපේ නම් නෙමෙයි.. හරි දේ කියන්න නම් හැමැදාම රසඳුන තමයි කියන එක එයාලා කටපුරා කියනවා...ඒ කෙසේ වෙතත් ඔන්න පහු ගිය දවසක ආයිත් මේ දෙන්නට තව ජංජාලයකට මුහුණපාන්න වෙලා. මෙදා පාර නම් හඳහන් ප්‍රශ්නයක්.. දෙන්නාගේ හිතත් හොඳටම රිදිලා. මොකද්ද මේ පාර මේ අපලේ?
අපි වොල්ගාගෙන් ඇහුවා... අනේ ඔව් බලන්නකෝ එක්තරා පුවත් පතක් අපෙන් හඳහන් විශ්වාස කරනවාද ඇහුවා. අපි දෙන්නම කිව්වේ යම් තාක් දුරට හඳහන් විශ්වාස කරනවා. ඒ අනුව එදිනෙදා කරන්න තියෙන යම් යම් වැඩ කටයුතු ඒ විදිහටම කරනවා කියලයි. අපි හඳහන් බලන්නේත් කඩුවෙල ඉන්න වසන්ත කියලා අපේ හිතවත්ම අංකල් කෙනෙක් ගෙන්. අනේ ඉතින් පත්තරේ පළ වෙලා තියෙන්නනේ සහමුලින්ම අනිත් පැත්තනේ. ඒ කිව්වේ අපි කියපු එකේ මුළුමනින්ම අනිත් පැත්ත...
අපි කිව්වේ අපි හඳහන් යම් තාක් දුරට විශ්වාස කරනවා කියලනේ. බලන්නකෝ පත්තරේ ගිහින් තියෙන්නේ අපි හඳහන් කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැහැ.. කියලනේ..පත්තරේ දැක්ක ගමන් අපි දෙනනට තරු විසි වුණා. අනේ අපි අංකල්ට හරිම අසාධාරණයක් නේ කළේ කියලා හිතට දැණුනේ මාර අපහසුවක්. වුණේ මොකද්ද කියලා පැහැදිලි කරලා දුන්නහම ඒ අංකලුත් තේරුම් ගත්තා..
ගයාන් පොලිස් අත්අඩංගුවට
ගයාන් අරෝෂ කිව්වම ඔහුව කවුරුත් හඳුනන්නේ සුපිරි තරු මාවතෙන් පෑයූ දක්ෂ , ජනප්‍රිය ගායකයකු ලෙසයි. ගයාන් ගැන මේ දවස්වල කන වැකෙන අලුත්ම ආරංචිය තමයි ඔහුගේ දෙවැනි මියුසික් වීඩියෝව රසිකයන් අතරට ගෙන එන්නට සූදානම් වීම. ‘සැමදාම ඔබ මගේ...‘ ගීතය උදෙසා ගයාන් ඇතුළු මේ ගීතයට දායක වන පිරිස බොහොම කාර්ය බහුල වෙලා අපූරු වීඩියෝවක් රූ ගත කිරීම සිදු කළා. නමුත් ඒ රූපරචනාව සංස්කරණය කරන්නට ගොස් සිදු වූ අකරතැබ්බ්යක් අපිටත් දැන ගන්න ලැබුණා. ගයාන් ඒ ගැන අපිත් එක්ක කිව්වේ මේ විදිහට‘ මේ ගීතයට මාත් සමඟ සංගීතයෙන් යසස් මැදගෙදරත්,පද රචනයෙන් සජිත් අක්මීමනත් දායක වුණා. මගේ පළමු ගීතය වූ ‘මගෙ ඇස් පියෙන තුරා...‘ ගීතයටත් මේ අයම තමයි දායක වුණේ. එය හුඟක් රසිකයන් අතර කතාබහට ලක් වුණා. මේ නිසාම මගේ දෙවැනි ගීතයටත් විෂුවල් එකක් කරලා ඒ මියුසික් වීඩියෝව රසිකයන් අතරට පත් කරන්නට අපි පසුගිය දවස්වල රූගත කිරිම් කළා. අලුත්ම තාෙල් කතාවක් අඩංගු දර්ශන පෙළක් තමයි රූගත කළේ. සංගීත ප්‍රසංගයකට ගිහින් එන අතර තුර මගේ මෝටර් රථයට ගැහැනු ළමයෙක් නඟිනවා. මමත් ඇයත් ආදරෙන් බැෙඳනවා. මේ ළමයා දුප්පත්. වෙන කෙනෙකුට ආදරේ කරන විවාහ වූ ළමයෙක්. කොහොම හරි ඒ කිසිවක් නොදන්න මාව මෙයා පාවිච්චි කරන්නේ නීති වීරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමකට. අවසානයේ මාව පොලීසියට ගෙනයනවා. ඒ විදිහට තමයි මේ ගීතයේ රූපරචනා සිදු වුණේ. කොහොම හරි රූගත කිරීම් අවසන් වෙලා විඩියෝ ක්ලිප් ටික එඩිට් කරන්න පටන් ගත්තා. ඒ අතර වීඩියෝ කරපු දර්ශන දෙකක්ම මැකී ගිහින්. දැන් යළිත් අලුතින්ම ඒ දර්ශන රූ ගත කරන්න සිදු වෙලා. කොහොම වුණත් ඉක්මනටම යලිත් ඒ දර්ශන වීඩියෝ කරලා මගේ දෙවැනි ගීතය රසිකයන් අතට පත් කරනවා‘ මේ ගීතයේ දර්ශනවලට වැඩියෙන්ම පෙනී ඉන්නේ මම. ඒ නිසා ද දන්නෙත් නැහැ ඩිලීට් වුණේ. ගයාන් පැවැසුවේ හිනාවෙන ගමන්.
සිත සලිත වෙන නිරූපණයක්
අෂිකා මතසිංහ කලා කටයුතු වගේම මියුසික් වීඩියෝස් නිසාත් නිතරම කතාබහට ලක්වෙන රංගන ශිල්පිනියක්. මේ දවස්වල අශිකා වැඩි වශයෙන්ම මියුසික් වීඩියෝස්වලින් රසිකයන් අතරට එනවා. මේ දිනවල නිතරම ඇහෙන දකින ගීතයක දර්ශන නිසාම අශිකාගේ නිරූපණයන් ගැන රසිකයන් කතා බහ කරන්න පටන්ගෙන කියල අපිට දැන ගන්නට ලැබුණා. ඒ තමයි මහේෂ් කරුණාරත්න ගායනා කරන ‘හිනාවෙන්න රත්තරං...‘ ගීතය. මේ ගීතයේ අශිකා නිරූපණය කරන්නේ කෝච්චියකට පැන සියදිවි නසා ගන්නා තරුණියකගේ චරිතයක්. ‘කෝච්චිය පෙනි පෙනී රේල් පාරේ සිටගෙන සිටීම ඇත්තටම අභියෝගයක් වුණා. මට මේ වීඩියෝව ගැන මුලින්ම කියත්දී ම මම එය නිරූපණය කිරීම ප්‍රතික්ෂේප කළා. දැන් නම් ඒ රංගනය බලත් දී ඇත්තටම මගේ සිත සලිත වෙනවා.