
තම දකුණතේ ඇඟිලි තුඩු මතින් ටොන් එකහමාරක් බර එල්. 300 වර්ගයේ වෑන් රථ 32ක් විනාඩි දොළහකදී ධාවනය කිරීම ඔබට සිතාගත හැකිද? සමහර විට ඔබ එය විශ්වාස කරන එකක් නෑ. ඒත් අපේ රටේ අපේම තරුණයෙක් මේ ත්‍රාසජනක අත්දැකීම විඳගත්තෙ හරිම සැහැල්ලුවෙන්.එයට අමතරව ඔහු තැබූ ගිනස් වාර්තා බොහෝමයි. ඔහු ජනක කාංචන මුදන්නායක.මෙවර රසඳුන කවරය සැරසෙන්නේද ඔහුගේ රුවෙන්. ජනක පසුගියදා පත්තර මහගෙදරට ගොඩවුයේ තමන් ඉස්සරහට කරන්න යන්නේ මොනවද කියන්නයි.
ඔබ ගැන හැදින්වීමක් කළොත්..?
මගේ ගම හඟුරන්කෙත කිතුල්පේ. පල්ලේබෝවල මහ විදුහලෙන් සහ පොරමඩුල්ල ජාතික පාසලෙන් අධ්‍යාපනය හැදෑරුවා. පාසල් කාලයේ සිටම යගුලිය, කවපෙත්ත තරගවලට සහභාගි වී ජාතික තලයේ ජයග්‍රහණ හිමිකරගෙන තිබෙනවා.
ඔබගේ පියා ලෝකයේ ශක්තිමත්ම දත් දෙපළට හිමිකම් කියන තැනැත්තා..?
මගේ තාත්තා හඟුරන්කෙත ගාමිණී වසන්ත කුමාර. ගිනස් වාර්තා අටකට හිමිකම් කියන පුද්ගලයෙක්. දැනට වසර 10කට කලින් ඔහු මිය ගියා. අඩුම කාලයකදී කම්බි 50ක් දත්වලට අල්ලා අත්දෙකෙන් නැමු පුද්ගලයා ඔහුයි. ලෝකයේ ශක්තිමත්ම දත් දෙපළ හිමි තැනැත්තා ලෙස ගිනස් වාර්තාවක් තැබුවා.
ඔබ ඔබේ පියා අනුකරණය කරන්නෙක්ද.. ඔබට ඔහුගෙන් ලැබුණු ගුරුහරුකම් මොනවාද ?
ශක්තිමත්කම අපට පරම්පරාවෙන් ලැබුණු සම්පතක්. මගේ සීයා ඇළට දාල තියෙන ඒදණ්ඩ තනියම කරේ තියන්ගිය පුද්ගලයෙක්. තාත්තටත් ඒ වගේම ශක්තියක් තිබුණා. විශේෂයෙන් ඔහුගේ දත් දෙපළ හරිම ශක්තිමත්. මම ඔහුගේ මග යනවා. හැබැයි අනුකරණය කරන්නේ නෑ.ළමා කාලයේ සිටම මගේ ශරීර ශක්තිය කළමනාකරණයට උපදෙස් දුන්නේ තාත්තා. පුංචි කාලයේදීම උරහිස උපයෝගි කරගෙන වාහන ඇද්දා, උදරයේ ශක්තිය මැන බැලීමට අඩි පහක පමණ උසක සිට තාත්තාගේ උදරයට පනිනවා. ශරීර ශක්තිය මැනබලන්නේ තාත්තා සමග පොර බැදීමෙන්. ඒ අතීතය හරිම සුන්දරයි. තාත්තා මතක්වන විට දුකයි. මගේ දක්ෂතා බලන්න ජීවතුන් අතර නැතිවීම ගැන.
රැකියාවක නියැළෙන ගමන් කොහොමද මෙවැනි ත්‍රාසජනක වාර්තා තැබීමට පුහුණුවීම්වල නිරතවන්නේ..?
ශ්‍රි ලංකා වරාය අධිකාරියේ රැකියාව කරන්නේ. පුහුණුවීම් කිරීමට අවශ්‍ය නිදහස ලැබෙනවා. පුහුණුවීම් කරන්නේ ජාත්‍යන්තර පුහුණුකරුවෙක් වන රනිල් හර්ෂණ මහතා යටතේ. ඔහු ඇමරිකානු බොක්සිං ටීම් එකක පුහුණුකරුවෙක්. වෛද්‍යවරයා වන්නේ වෛද්‍ය තුෂාන්ත. මා ගන්නා ආහාර පවා වෛද්‍ය උපදෙස් මත ගන්න නියමකර තිබෙනවා. එහෙත් අනුග්‍රාහකයෙක් නොමැති නිසා කියන විදිහටම ශරීර සුවතාව පවත්වාගෙන යන්න අමාරුයි. දිනකට පැය හතරක් පුහුණු වෙනවා. පුහුණුව, ආහාර, විවේකය තමයි මෙහි මුලිකව සිදුවිය යුත්තේ.
ඔබ මෙතෙක් තබා ඇති ගිනස් වාර්තා මොනවාද..?
2016 ඔක්තෝම්බර් මස 6 වැනිදා ශ්‍රි ලංකා වරාය අධිකාරියේ මහපොළ අභ්‍යාස ආයතන පරිශ්‍රයේදි විනාඩියක් තුළ 12mm කම්බි 18ක් තම දත් ආධාරයෙන් නවා දමා ලෝකයේ ශක්තිමත්ම දත් දෙපළ හිමි තැනැත්තා ලෙස ගිනස්වාර්තා පොතට එක්වුවා. මගේ පළමුවැනි ගිනස් වාර්තාව වයස අවුරුදු 16දී තැබුවේ. ඒ ටොන් 9 1/2ක් බර වැගන් රථයක් හැතැක්ම එකයි කාලක් නොනවත්වා තල්ලුකරලා. එම වාර්තාවෙන් ආසියාවේ ශක්තිමත් තරුණයා බවට පත්වුණා. පසුව වාහන නමයක් උදරය මතින් ධාවනය කිරීමේ වාර්තාව පිහිටුවන්න ගොස් හතරවැනි වාහනය කාර්මික දෝෂයක් නිසා ඇඟ උඩ තත්පර 12ක් නතර වුණා. එම නිසා එම වාර්තාව තියන්න බැරිවුණා. ජීවිතය බේරුණ එකත් පුදුමයක්. නැවතත් එම වාර්තාව තබන ලෙස පිළිපීනයෙන් කතාතළා. ඉදිරියේදි එම වාර්තාව තබා ලෝකයේ ශක්තිමත්ම උදරය හිමි පුද්ගලයා වීම මගේ අරමුණයි.
කොහොමද මෙවැනි ත්‍රාසජනක අද්දැකීම්වලට මුහුණ දෙන්නේ..බය හිතෙන්නේ නැද්ද..?
වාර්තාවක් තැබීමට පෙර මම මුලින්ම විනාඩි කිහිපයක් නිශ්ෂබ්දව දෑස් පියාගෙන බුදුගුණ මෙනෙහි කරනවා. පසුව මගේ තාත්තාව සිහිකරනවා. මානසික ශක්තිය හොඳින් පවත්වා ගනිමින් ශරීරයේ ශක්තිය හුස්ම පොදකින්වත් පිට නොකර වාර්තාව තැබීම අරඹනවා.චිත්ත ශක්තියත් මේ සඳහා බලපානවා.
ඉදිරියේදි මොනවද අලුතෙන් තබන්න යන වාර්තා..?
ගිනස් වාර්තා 18ක් තැබීමේ බලාපොරොත්තුවක් තිබෙනවා. කෝච්චිය කටෙන් ඇදීම, ඩොල්පින් වාහනයක්(ටොන්1 1/2ක් බර) ඇදීම, උළු කැට වැඩිම ප්‍රමාණයක් විනාඩියකදී හිසෙන් ගසා කැඩීම, ටොන් 21ක් බර වාහනයක් මීටර් 500ක් දුර ඇදගෙන යෑම. අඩි 20ක් උඩ සිට අයිස් කැට 50ක් ඇඟට දැමීම, හාල් මුට්ටි 50ක් යාර 50ක් දුර කටෙන් ඔසවාගෙන යෑම, වැඩිම බරක් කටින් ඔසවාගෙන වැඩිම කාලයක් සිටීම වැනි ගිනස් වාර්තා 18ක් තියන්න සුදානම්වනවා. තවමත් ඇතැම් වාර්තා සඳහා අනුමැතිය ලැබී නෑ.
මෙතරම් හැකියාවක් ඇති ඔබට රඟපෑමට ආරාධනා ලැබී නැත්ද..?
චිත්‍රපටවලට ආරාධනා ලැබුණත් ගැලපෙන චරිතයක් ලැබුණොත් පමණයි බාර ගන්නේ. මහේන්ද්‍ර පෙරේරා, සුගත් සමරකෝන් යටතේ රංගනය හදාරා තිබෙනවා.
රියැලිටි තරඟවලට සහභාගිවන්න අදහසක් නැද්ද..?
රියැලිටි තරඟවලට සහභාගි නොවන්නේ ආධුනික තරඟකරුවන්ට තැනක් නොලැබෙන නිසයි.