
කීනු රීව්ස් කුලී ඝාතකයකු ලෙස ප්‍රධාන චරිතය රඟපෑ ජෝන් වික් සිනමාපටය තිරගත වූයේ 2014 වසරේදීය. ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක්ව ආදායම් වාර්තා තැබු එම චිත්‍රපටයේ දිගුව ජෝන් වික් - චැප්ටර් 2 යන නමින් පසුගිය පෙබරවාරි 10 දා සිට ලොව පුරා ප්‍රදර්ශනය වෙයි. විචාරක හා ප්‍රේක්ෂක ප්‍රතිචාර මනාව ලැබු එය ආදායම් වාර්තා තබමින් මේ වන විට ප්‍රදර්ශනය වෙමින් තිබේ.
පළමු චිත්‍රපටයේ සිදුවීම් දාමය නිමාවෙන් දින හතරකට පසු මෙම සිනමා පටයේ කතාව ඇරැඹෙයි. ජෝන් වික් සොයා යන්නේ තමා වෙතින් සොරාගත් පැරැණි මෝටර් රථයයි. එම ගමනේදී ඇතිවන සටනකදී ඔහුගේ මෝටර් රථයට දැඩි අලාභ හානි සිදු වෙයි.
කෙසේ වෙතත් අබිරාම් ටරසොව් නමැත්තා ජෝන්ගේ රථය අලුත්වැඩියා කිරීම භාර ගනියි. ඒ අතරතුර ජෝන් හමුවට පැමිණෙන්නේ ඉතාලියේ අපරාධ කල්ලියක නායකයා වූ සැන්ටිනෝ ඩි’ අන්තෝනියෝ නමැති සාමිවරයාය. අන්තෝනියෝ සිහි කරන්නේ ඊට වසර ගණනාවකට පෙර තමන් ජෝන්ට කළ උපකාරයකි. ජෝන් එම උපකාරය ලබාගෙන ඇත්තේ රුධිර පොරොන්දුවක් මතය. ඒ අනුව අන්තෝනියෝ කළ උපකාරයට ජෝන් ප්‍රතිඋපකාර කළ යුත්තේ අන්තෝනියෝ ඉල්ලා සිටි විටෙකය. කිසිවකු මරා දැමීමේ කාර්යය භාරගන්නැයි අන්තෝනියෝ ජෝන්ගෙන් ඉල්ලා සිටියි. ජෝන් එය ප්‍රතික්ෂේප කරන්නේ තමා කුලී ඝාතන නවතා විශ්‍රාම ගෙන ඇති බව පවසමිනි.
එහෙත් පොරොන්දුවක් විශේෂයෙන්ම රුධිරයෙන් කළ පොරොන්දුවක් කඩ කිරීම පාතාල ලෝකය තුළ බරපතළ වරදකි. ඒ බව ජෝන්ට සිහිකර දෙන්නේ නිව්යෝර්ක් නගරයේ කොන්ටිනෙන්ට්ල් හෝටලයේ හිමිකරු හා ජෝන්ගේ හිතවතකු වන වින්සන්ට්ය. ජෝන් යළි අන්තෝනියෝ හමුවී විමසන්නේ ඝාතනය කළ යුත්තේ කවුරුන් ද යන්නයි.
අන්තෝනියෝ ජෝන්ට පවසන්නේ තම සොයුරිය ගියානා ඩි අන්තෝනියෝ ඝාතනය කළ යුතුව ඇත කියායි. ජෝන් එම කාර්යය ඉටු කිරීමට ගියානා සොයා රෝමයට පැමිණෙයි. ඔහු හමුවේ සිය මරණය ස්ථිර බව වටහා ගන්නා ගියානා සියදිවි හානි කර ගනියි.
ගියානා මියගිය වහා ජෝන් වික්ට ප්‍රහාර එල්ල වන්නේ අන්තෝනියෝගේ මිනිසුන්ගෙනි. තම සොයුරියගේ මරණයත් සමඟ, එම මරණයට අදාළ සියලු සාක්ෂි වළ දමනු පිණිස අන්තෝනියෝ සිය පිරිස යොදවා තිබුණේ ජෝන් වික් මරා දමන්නටය. එම ප්‍රහාරයෙන් ගැළවෙන ජෝන් ඊළඟට ලුහු බඳින්නේ අන්තෝනියෝ පසුපසය.
ජෝන්ට අන්තෝනියෝ මරා දැමිය හැකි වේ ද? අන්තෝනියෝට මරු කැඳවුවහොත් දාමරික කල්ලියේ අනෙක් පිරිස් ජෝන් වික් පසුපස ලුහුබැඳ නොඒවි ද? පාතාල කල්ලි අතර තිබෙන අලිඛිත නීතිවලින් ජෝන් වික්ට බලපෑමක් නොමැති ද?
ජෝන් වික්; චැප්ටර් 2, චාඩ් ස්ටැහෙල්ස්තිගේ අධ්‍යක්ෂණයකි. ඩෙරෙක් කොල්ස්ටඩ්ගේ තිර රචනයක් අනුව නිර්මාණය වූ එහි කීනු රීව්ස්, රිකාර්ඩෝ ස්කැමාර්සියෝ, ලෝරන්ස් ෆිෂ්බර්න්, රූබි රෝස්, ජෝන් ලෙගුයිසානෝ බ්‍රිජට් මොයිනාගන් ආදි නළු නිළියෝ රඟති.
ත්‍රාසය කුතුහලය සපිරි ක්‍රියාදාම චිත්‍රපටයකට අවශ්‍ය සියලු අංගවලින් ජෝන් වික් - චැප්ටර් 2 පොහොසත්ය. ස්ටීවන් කොල්බර්ට් නමැති විචාරකයා ‘ද නිව් යෝකර්’ පුවත්පතට ලියා තිබේ.
‘ජෝන් වික්’ චිත්‍රපට පෙළේ තෙවැන්නේ නිෂ්පාදන කටයුතු ළඟදීම ඇරැඹීමට නියමිත බව හොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරයි.