අපට කොහෙන්ද නිදහසක් | සිළුමිණ

අපට කොහෙන්ද නිදහසක්

 “නිදහස් දවසත් එක්ක මේ සති අන්තයේ හොඳ නිවාඩුවක් ලැබුණා නේද?” ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය නිදහස් දිනයෙන් පසු එළැඹි සඳුදා දින තමා වෙත පැමිණි පොලිස් නිලධාරියා දෙස බලා කීවේ සුහද සිනාවක් පාමිනි.

“මොන නිදහසක් ද මැඩම් අපිට? දවස ගාණේ උද්ඝෝෂණ කරන උදවිය රොතු පිටින් අධි ආරක්ෂක කලාපවල පාරවල් දිගේ පෙළපාළියෙන් එනවයි කියල දැනගත්තාම පාරවල් හරහා වැටවල් බඳින්ඩයි, උද්ඝෝෂකයෝ ඇවිත් ඒ වැටවල් පෙරළන කොට ඒ අයට වතුර විදින්ඩයි, කඳුළු ගෑස් ගහන්ඩයි ඔට්ටු වෙනවා මිසක් අපිට නම් කිසිම නිදහසක් නෑ මැඩම්.” පොලිස් නිලධාරියා හිනාවෙමින් කීවේය.

ඔක්කොම වහන්ඩ වෙයි

“දැන් හුඟක් තරුණ තරුණියෝ යොමු වෙලා තියෙන්නෙ ඉන්ටර්නෙට්, වෙබ් අඩවි, ෆේස්බුක්වලටනෙ. ඔය වගේ දේවල්වලට වැඩිහිටියොත් පුරුදු වෙන කාලෙ වැඩි ඈතක නෙමෙයි. එතකොට මිනිස්සු පත්තර කියැවීමෙන් ඈත් වෙනවා. පත්තර විකිණෙන්නේ නැතිවුණාම පත්තර කන්තෝරු ටිකක් වැහිලා යයි.” ‘නවීන තාක්ෂණය හමුවේ තරුණයෝ’ මැයෙන් දේශනයක් කළ දේශකයා කීවේ ය.

“ඔය කියන විදියට පත්තර කන්තෝරු වැහිලා ගියොත් මළ කෙළියක් වෙනවනෙ.’ දේශනය අසා සිටි සුනිල් තමා අසල සිටි අරුණ හට කොඳුරා කීවේ ය.

“ඔව්... ඔව්... අපිට බොහොම ඉක්මණට වෙන රස්සාවක් ගැන හිතන්ඩ වෙනවා.” අරුණ සිනාසෙමින් කීවේ ය.

“ඒ මඟුලක් නෙමෙයි බං මං කිව්වේ. පත්තරකාරයෝ නැතිවුණාම කොළඹ ටවුන් එකේ බාර් ටික ඔක්කොම වහල දාන්ඩ වෙයිනෙ.” සුනිල් සන්තාපයෙන් කීවේ සුසුමක් හෙළමිනි.

බේරෙන්නෙ එහෙමයි

සංචාරකයා දර්ශනීය ප්‍රදේශයක පිහිටි යෝධ වැවක තම මාර්ගෝපදේශකයා සමඟ බෝට්ටුවක යාත්‍රා කරමින් සිටියේය.

“ෆ්ලඩ්ලයිට් එකක් අරගෙන පීනුවොත් මේ වැඩේ ඉන්න මිනී කන කිඹුලන්ගෙන් බේරෙන්න පුළුවන් කියල කියන්නෙ ඇත්ත ද?” ගැඹුරු ජල තලය තුළින් කිඹුලකු මතු වේදැයි තියුණු දෑසින් නිරීක්ෂණය කරමින්ම සංචාරකයා ඇසීය.

“ඔව්, එහෙම වෙන්ඩ පුළුවන්. හැබැයි පීනන වේගය අනුව තමයි ඒක තීරණය වෙන්නෙ.” මාර්ගෝපදේශකයා කීවේ ය.

එතකොට පුළුවන් වෙයි

“මොනවද අනේ ඔයා උදේ නැගිට්ට වෙලේ ඉඳලා ලිය ලියා ඉන්නෙ? අර හන්දියට ගිහිල්ලා ලොරියෙන් මාළු ටිකකුයි, මාර්කට් එකෙන් එළවළු දෙක තුනකුයි, තක්කාලි, දෙහි අමුමිරිස් ටිකකුයි ගෙනත් දුන්නොත් නරක ද?” කුස්සියේ වැඩ කරමින් සිටි බිරිඳ තම කාමරයේ මේසය ඉදිරිපිට වාඩිවී කිසිවක් ලියමින් සිටි තම සැමියාට ඇසෙන සේ උස් හඬින් කීවා ය.

“අනේ අම්මාපල්ලා, මොන කෙහෙල්මලක් හරි නීති විරෝධී දෙයක් කළැයි කියල මාවත් අර එෆ්සීඅයිඩී එකෙන් අරගෙන යනවා නම් කොයිතරම් දෙයක් ද? එහෙම අරගෙන ගිහින් උසාවියට ඉදිරිපත් කරලා ඇප නොදී මාසයක් හමාරක් රිමාන්ඩ් එකේ හිරකරලා තියෙනවානං මටත් පුළුවන් නොවැ මේ අලුත් පොතේ වැඩ ටික කනක් ඇහිලා, නිවිහැනහිල්ලේ ඉවර කරගන්ඩ.” සැමියා උස් හඬින් කීවේ බිරිඳගේ බාධාව නිසා උපන් කෝපයෙන් දත්මිටි කමිනි.

එහෙම කළොත් ජංජාලයයි

“අපේ රට නිදහස්, ස්වාධීන රාජ්‍යයක් වුණේ පෙබරවාරි 4 වැනිදා දවසකනේ. අපේ පුතා උපන්නෙත් පෙබරවාරි 4 වැනිදා නිසා අපි එයාට ‘ස්වාධීන’ කියල නම තියමු ද?” ඉන්දිකා තම සැමියා දෙස බලා ලොකු උනන්දුවකින් ඇසුවා ය.

“අපොයි එපා. අල්ලපු ගෙදර ලෙච්චමීටත් අද හෙටම වගෙ බබා හම්බු වෙයි නේද? ඒ ගෙදර නඩරාජා අපිත් එක්ක හිත නොහොදින් ඉන්න මිනිහානෙ. අපි අපේ පුතාට ස්වාධීන කියල නම දැම්මයි කියල දැනගෙන ඒ යකා ඒ ගොල්ලන්ගෙ දරුවට ‘පෙඩරල්’ කියල නම තිබ්බොත් එහෙම ජංජාලයක් තමයි වෙන්නෙ.” ෂෙල්ටන් තම බිරිඳගේ යෝජනාව එකඑල්ලේම ප්‍රතික්ෂේප කරමින් කීවේ ය.

පීනන්නෙ මොකට ද?

නාවික හමුදාවට බඳවා ගැනීම පිණිස පැවැති සම්මුඛ පරීක්ෂණය සඳහා තම වාරය පැමිණි විට අජිත් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය හමුවේ පෙනී සිටියේ ය.

“තමාට හොඳට පීනන්ඩ පුළුවන් ද?” පරීක්ෂණ මණ්ඩලයේ ප්‍රධානියා අජිත් වෙත තියුණු බැල්මක් හෙළමින් ඇසීය.

“ඇයි සර් පීනන්නෙ මොකට ද? නාවික හමුදාවට අයිති නැව් බෝට්ටු ඕන තරම් තියෙනවනෙ.” අජිත් කීවේය. 

Comments