අනෝරා තාල සුන්ද­රයි! | Page 3 | සිළුමිණ

අනෝරා තාල සුන්ද­රයි!

අරකවිල නර්තන හා නාට්‍ය පදනම Arakawila Dance & Theatre Foundation (ADTF) පසුගිය වසර හත පුරා වාර්ෂිකව පැවැත්වූ අනෝරා තාල ප්‍රසංගයේ සමීපරූප ඉන්ද්‍රචාපට පෙනේ. ඇතැම් වසරක, ඔවුන්ගේම අරකවිල රංගභූමියේ දී ද, තවත් වරෙක අගනුවරදී ද මෑතක සිට පාදුක්ක සිරි පියරතන රංග ශාලාවේ දී ද පැවැත්වූ අනෝරා තාල නර්තන පෙළහර වරින්වර නැරැඹී‍ෙම් අවස්ථාව ඉන්ද්‍රචාපට හිමි වූ බැවින්, ඔවුන් වසරින් වසර, තම මෙහෙවර ඉටුකරමින් ඉදිරියට යන අයුරු පිළිබඳ සාක්ෂිකරුවකු වීමට කැමැතිය. හෙළ කලා කෙත අස්වද්දමින්, හෙළ නර්තන කලාව විශ්ව නර්තනය තරණය කොට, තත්වාකාරයෙන් ගෙන හැර පෑමේ පෙළහර වශයෙනුයි, ඔවුන් මෙවර අනෝරා තාල VII හඳුන්වාදී තිබුණේ. අරකවිල අවට ගම්වාසීන්ගේ දුවා දරුවන්ගේ සහජ කලා කුසලතා වර්ධනය කර ගැනීමට, ඔප් නංවා ගැනීමට ජානකී හිල් හා පීටර් හිල් දෙපොළගේ මූලිකත්වයෙන් ඇරැඹි අරකවිල නර්තන හා නාට්‍ය පදනම එදා මෙදාතුර, මෙකී කලා ක්ෂේත්‍රයන්හි, කුසලතා සතු ළමා හා යෞවන යෞවනියන් රාශියක්, මහා වේදිකාවට හඳුන්වා දුන් බව ඉන්ද්‍රචාප ගේ සමීප රූපාවලිය අතර වන අතීත සැමරුම් සිහිපත් කරයි.

පටාචාරා නෘත්‍ය නාටකය අරකවිල නර්තන හා නාට්‍ය පදනම 2014 වර්ෂයේදී ප්‍රේක්ෂකයන් වෙත රැගෙන ආ දැවැන්ත නිර්මාණ කාර්යයයි. නෙළුම් පොකුණ රඟ‍හලේ කිහිපවරක් වේදිකා ගත වුණු පටාචාර නෘත්‍ය රංගය ජානකීහිල් හා ඇගේ පදනම, පුහුණු මධ්‍යස්ථානයේ ආචාර්ය මණ්ඩලයේ ද එහි පුහුණුව ලැබූ දුවා දරුවන් හා යෞවන මානවක මානවිකාවන්ගේ ද කැපවීම සැඟවුණු කුසලතා ප්‍රසිද්ධ වේදිකාවකදී ඉදිරිපත් කරන්නට ලද මහඟු අවස්ථාවක් ලෙස ඉන්ද්‍රචාප දකී. පටාචාරා ලෙස රඟපෑ නිළිය ප්‍රධාන නළු නිළියන් රැසකගේ ම අපූර්ව දක්ෂතා අගනුවර ප්‍රේක්ෂාගාරය දුටු බව ඉන්ද්‍රචාපට මතකය. පටාචාරා වැනි දැවැන්ත නෘත්‍ය නාට්‍යයක් අධ්‍යක්ෂණ්‍ය කිරීම දුෂ්කර ව්‍යායාමයක් වුවත්, ජානකී මෙන් ම, ඈ සමඟ එක්ව කැපවීමෙන් කටයුතු කරන ආචාර්ය මණ්ඩලය සතු රංගන, නර්තන, සංගීත ප්‍රවීණත්වය වෘත්තීමය දැනුම හා පුහුණුව එබඳු නිර්මාණයක්, උපරිම සාර්ථකත්වයෙන්, ඉදිරිපත් කිරීමට හැකිවූ බව බොහෝ දෙනාගේ හැඟීමයි. ජානකී, තම පදනමෙහි ඉගෙනුම ලබන, දස්කම් පානා දූ දරුවන් හා යෞවන යෞවනියන්ට කෙතරම් ආදරය කරන‍්නීද යත් පටාචාරා සමඟ දිවයිනෙන් බැහැර රැඟුම් සඳහා ද එක්වූ බව ඉන්ද්‍රචාපට මතකය. පටාචාරා නිර්මාණයෙන් පසුව, 2015 වසරේදී, ඔවුන් විසින් වේදිකාවට ගෙනඑන ලද්දේ ස්වභාවික නාට්‍ය ශෛලියේ නිෂ්පාදනයක් වූ සකල කසළ නම් නාට්‍යයයි. කාලීන සමාජ ප්‍රශ්නයක් තේමා කරගත් සකල කසළ නාට්‍යය ද පටාචාරා මෙන් ම, බොහෝ පිරිසකට වේදිකාවේ රංගන අත්දැකීමක් ලබාගන්නට මග සැලසූ අවස්ථාවක් වීය.

රංගනය, ගායනය, නර්තනය මතු නොව, රූපණය ද ඔවුන්ගේ පුහුණු විෂය ක්ෂේත්‍රයක් බව, සකල කසළ නාට්‍යය තුළින් කියාපෑමට ජානකී හා ඇගේ කණ්ඩායමට හැකි වීය. අරකවිල සුන්දර ගම්මානයේ කඳු මුදුනක පිහිටා ඇති ඔවුනගේ කලා නිකේතනය, කලාත්මක විෂය ඉගෙනුම මෙන් ම ප්‍රායෝගික පුහුණුවට ද උචිත අපූරු තෝතැන්නකි. ජානකී මෙන් ම ඇගේ සැමියා පීටර්හිල් ද තම පෞද්ගලික ධනය කලාව වෙනුවෙන් පරිත්‍යාග කරනු දක්නට ලැබීම, අගය කළ යුතු වූ කාර්යයකි. එහි පුහුණුව ලබා, වේදිකාවේ දස්කම් පානා පිරිස ඔවුන් පෙරළා උපයාගත් ධනය දෝ හෝ කියා සිතේ.

පසුගිය 25 ශනිදා පාදුක්ක සිරි පියරතන රංග ශාලාවේදී පැවැති අනෝරා තාල VII නර්තන පෙළහර ළමයින්ගේ මෙන් ම තරුණ තරුණියන්ගේ ද ජව සම්පන්න කුසලතා දැක්මක් ලෙස ඉන්ද්‍රචාප ගේ සමීප රූප අතර ඇ‍ඳේ. මෙවර ඔවුන් විසින් හඳුන්වාදෙන ලද නවතම අංගය, එනම් ක්ෂේත්‍රයක විශිෂ්ටයන්ට මූල්‍යමය ත්‍යාග සහිත සම්මාන ප්‍රදානය අරකවිල නර්තන හා නාට්‍ය පදනම විසින් හඳුන්වා දෙන ලද විශිෂ්ටතම, පියවරක් ලෙස ඉන්ද්‍රචාප දකී. සංගීත ක්ෂේත්‍රයෙහි ඈ පෑ පෙළහරට ගායිකා සුජාතා අත්තනායක කලාකාරියට ද, නර්තන ක්ෂේත්‍රයෙහි එතෙර මෙතෙර රැඟුමින් වර්ණවත් කළ නර්තනවේදී පියසාර ශිල්පාධිපතිට ද, වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයෙහි හා කරළිය, ගායනයෙහි විශිෂ්ටතමයෙකු වූ සරච්චන්ද්‍ර නාට්‍යාවලියෙහි සුපිපි කුසුමක් වූ නිශ්ශංක දිද්දෙණියට ද සම්මාන පිරිනමමින් ඔවුනගේ නිර්මාණශීලීත්වය ඇගැයීම කාලීන මෙන් ම, අර්ථවත් වූද පියවරකි. අනෝරා තාල ප්‍රසංගයට එක්වූ, රැඟුම් ගැයුම් ඉදිරිපත් කළ පදනමෙහි සියලු සිසු සිසුවියන්, ආචාර්ය මණ්ඩලය අනෝරා තාල සුන්දර අත්දැකීඹක් බවට පත් කළ බව ඉන්ද්‍රචාප දිටීය. 

 

Comments