අධි­වේගී මාර්ග හරහා සත්තු­න්ටත් පාලම් | Page 2 | සිළුමිණ

අධි­වේගී මාර්ග හරහා සත්තු­න්ටත් පාලම්

වර්තමාන ලෝකයේ සෑම රටක්ම දිනෙන් දින සීඝ්‍රයෙන් දියුණු වෙමින් තිබෙනවා. මේ අතරින් මහා මාර්ග ඉදිවීම කැපී පෙනෙන දෙයක්. විශේෂයෙන්ම අධිවේගී මාර්ග. මෙවැනි අධිවේගී මාර්ග රටකට අත්‍යවශ්‍ය වූවත් මෙමඟින් ජෛව විවිධත්වයට යම් යම් හානි සිදු වන අවස්ථාද නැතුවා නොවේ. මේ සඳහා විශේෂ උපක්‍රමයක් දියුණු රටවල් විසින් සිදු කරනවා. ඒ තමයි සතුන්ට පාර මාරු වීම සඳහා පාලම් ඉදි කිරීම. අද මෙම විශේෂාංගය වෙන්වන්නේ ලෝකයේ තිබෙන එවැනි සත්ත්ව පාලම් කිහිපයක් ගැන තොරතුරු ඔබ වෙත ගෙන ඒමටයි.

රතු කකුළුවන්ට යකඩ දැල් පාලම්

සෑම වසරකම ක්‍රිස්මස් දිවයිනේ වෙසෙන රතු කකුළුවන් මිලියනයක් පමණ දෙනා බිත්තර දැමීම සඳහා පැසිෆික් සාගරය දෙසට ගමන් කරනවා. මෙම ගමනේදී උන් මෝටර් රථ වලට හසුවී මියයාම වැළැක්වීමට යකඩ දැල් භාවිතයට ගෙන සෑදූ පාලම් මහා මාර්ග මතින් සවි කර තිබෙනවා.

පෙන්ගුවින් උමග

නවසීලන්තයේ Oamaru හි විශේෂයෙන්ම භූගත මාර්ගයක් ඉදිකර තිබෙන්නේ ඒකදේශික පෙන්ගුවින් විශේෂයක් වන නිල් පෙන්ගුවින් සතුන් හට ආරක්ෂිතව ඔවුන්ගේ කැදලි කරා ගමන් කිරීමටයි. වරායේ සිට කැදලි කරා වැටී තිබෙන මාර්ගය හරහා මෝටර් රථ විශාල ප්‍රමාණයක් ගමන් කරන නිසා මෙම පෙන්ගුවින් උමග මගින් සතුන්ට මෙන්ම මිනිසාටද විශාල වාසියක් සිදු වනවා.

ලේනුන්ට වැල් පාලමක්

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ හියුම් අධිවේගී මාර්ගය මතින් 2007 දී වැල් පාලමක් ඉදි කර තිබෙන්නේ පියාඹන ලේනුන් සඳහා ආරක්ෂිතව පාර මාරු වීම සඳහායි. පසුව මෙහි සවිකළ අධෝරක්ත කැමරාවට හසුවූ රූපරාමු නිරීක්ෂණය කළවිට පෙනී ගියේ ලේනුන් පමණක් නොව කොකටූ කුරුල්ලන් හා ඔස්ට්‍රේලියාවට ආවේණික දඬුලේනුන් වර්ගයක්ද මෙම වැල් පාලම භාවිතා කරන බවයි.

සත්ත්ව පාලම් 24ක්

කැනඩාවේ ඇල්බර්ටා හි පිහිටා තිබෙන Banff ජාතික වනෝද්‍යානය තුළින්ගමන් කරන මාර්ගයක් මතින් විශාල සත්ත්ව පාලම් 24ක් ඉදි කර තිබෙන්නේ වෘකයන් හා වලසුන් හට ආරක්ෂිතව උද්‍යානය තුළ ගමන් කිරීමටයි.

වඳුරන් දැල් මතින්

බ්‍රසීලයේ බාහියා හි මාර්ග මතින් දැල් මඟින් සැකසූ ආරක්ෂිත පාලමක් ඉදිකර තිබෙන්නේ වඳුරන් හට මාර්ගයෙන් එගොඩ වීමටයි. වේල්සයේද මෙවැනි දැල් වලින් සැකසූ ආරක්ෂිත සැකැස්මක් මීයන් විශේෂයක් ආරක්ෂා කිරීම සඳහා භාවිතා කරනවා.

මත්ස්‍යයින්ට ඉනිමං

සමහර මත්‍යසයන් බිත්තර දැමීම සඳහා උඩුගං බලා පීනන්නේ ගංගාවේ ඉහළ ප්‍රදේශවල පැටවුන් බෝ කිරීමටයි. සැමන් මත්ස්‍යයා මේ සඳහා හොඳම උදාහරණය වන අතර කැනඩාවේ උතුරු වැන්කූවර් හි බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රදේශයේ ගංගාවල විශේෂ ඉනිමං වැනි ව්‍යුහයන් සාදා තිබෙන්නේ එම මත්ස්‍යයින්ට උඩුගං බලා පිහිනීම පහසු කිරීමටයි.

ගෙම්බන්ට ආරක්ෂිත මගක්

ගිම්හාන කාලයේදී සාගරය වෙත ගමන් කරන ඉබ්බන්ව ආරක්ෂා කිරීම සඳහා උමගක් ඉදිකර තිබෙන්නේ බටහිර ජපන් දුම්රිය සමාගම හා කෝබේ හි පිහිටි සුමා ජල උද්‍යානය හා එක්වයි. මීට අමතරව ඇමරිකාවේ කැලිෆෝනියාවේ ඩේවිස් හි ඇති විශාල අධිවේගී මාර්ගයක් යටින් ගෙම්බන්ට මාරු වීම සඳහා ආරක්ෂිත මාර්ගයක් සකසා තිබෙන්නේ සොබා දහමට හා ජෛව විවිධත්වය සඳහා ඔවුන් දී තිබෙන අවධානය ලොවටම කියා පෑමටයි. වසර 1963දී ලේනුන් සඳහා විශේෂ පාලමක් ඇමෙරිකාවේ වොෂින්ටනයේ සාදා තිබෙන අතර වර්තමානයවනවිට සත්ත්ව පාලම් රැසක්ම ඇමෙරිකාවේ විවිධ ප්‍රාන්ත වල ක්‍රියාත්මකව පවතිනවා. 

Comments