HOLLYWOOD | සිළුමිණ

HOLLYWOOD

මැඩෝනාට දරුවන් 6යි

මලාවි නම්වූ අප්‍රිකානු රට, සුපිරි ගායිකා මැඩෝනාට ආගන්තුක දේශයක් නොවෙයි. ඇය නිතරම මලාවි රටේ සංචාරය කරනවා. එරටෙහි ජිවත්වන අසරණ ළමුන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් ‘රේසින් මලාවි’ යනුවෙන් ස්වෙච්ඡා සංවිධානයක් පිහිටුවාගෙන සිටින මැඩෝනා, අප්‍රමාදව එහි කටයුතු සිදු කරනවා.

මේ අතරේදී ඇය මලාවි ජාතික නිවුන් දරුවන් දෙදෙනකු හදා වඩාගෙන. ඇයට මේ සඳහා වූ අවසරය මලාවි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දී තිබෙනවා. මේ අසරණ දැරියන් දෙදෙනා මෙලොව එළිය දුටු පසුව ඔවුන්ගේ මව මිය ගිහින්. පියා වෙනත් විවාහයක් කරගෙන. මවුපිය සෙනෙහස අහිමි වූ ඔවුන් මෙතෙක් රැකබලා ගත්තේ අත්තම්මායි. නමුත් ඇයට එම කටයුතු කරගෙන යෑමේ වත්කමක් නැහැ. ඒ නිසයි, මැඩෝනා මේ නිවුන් සොයුරියන්ව දරුකමට හදා වඩාගන්නට භාරගෙන ඇත්තේ.

අවසරය ලබා දීමෙන් පසුව එයට අදාළව කරුණු පහදා දී ඇති අධිකරණය ප්‍රකාශ කර ඇත්තේ දැනට 58 වැනි වියෙහි පසුවන මැඩෝනා දරුවන් රැක බලා ගැනීමට සුදුසු තත්ත්වයක පසුවන බවයි. ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් සිටින බවට තහවුරු කෙරෙන වෛද්‍ය වාර්තාවක් ද ඉදිරිපත් කර ඇතැයි එහි සඳහන් වෙනවා.

එස්තර සහ ස්ටෙලා නම්වූ මේ දැරියන් දෙදෙනාත් සමඟ මැඩෝනා හදා වඩා ගන්නා ළමුන් පිරිස හය දෙනෙක් බවට පත් වෙනවා.

බලෙන්ම නිරුවත් කරලා

 

හොලිවුඩ් නිළි ඩෙබ්රා මෙසින්ට බරපතළ පැමිණිල්ලක් ඉදිරිපත් වෙලා. ඇය දැඩි කලකිරීමෙන් පවසන්නේ පසුගිය දිනයක චිත්‍රපට අධ්‍යක්ෂ අල්ෆොන්සෝ ඇරෝලෙඩ්ලිගෙන් ඇයට නින්දා අපහාස විඳීමට සිදුවූ බවයි. තමන්ගේ සිරුරට අනිසි බලපෑම් කරමින් ලජ්ජාවට පත්කළ මේ අධ්‍යක්ෂවරයා, තම ආත්ම ගරුත්වයට දැඩි ලෙස නිගා කළ බව ඩෙබ්රා පවසනවා.

මෑතකදී රූගත වූ ‘අ වෝක් ඉන් ද ක්ලවුඩ්ස්’ චිත්‍රපටයේ රඟපාද්දියි, එහි අධ්‍යක්ෂ අල්ෆොන්සෝගේ අනිසි බලපෑම්වලට ඇයට මුහුණ දීමට සිදුවුණේ.

“මුල්ම දවසෙ මට තිබුණෙ කේනු රීව්ස් එක්ක ප්‍රේම ජවනිකාවක් නිරූපණය කරන්න. මේ රංගනය කරගෙන යද්දි අධ්‍යක්ෂවරයා ඒක මැදට පැනලා මගෙ නහය ගැන අපහාසාත්මක දේවල් කිව්වා. තවත් වතාවකදී එයා මට බල කළා, නිරුවත් දර්ශනයක් නිරූපණය කරන්න ය කියලා. එහෙම දර්ශනයක් තියෙනවයි කියලා මට කලින් කිව්වෙ නැහැ. ‘මමයි අධ්‍යක්ෂ. මේක මගේ චිත්‍රපටය. මම කියන විදිහට රඟපාන්න.’ කියලා එයා තර්ජනය කළා.

ඩෙබ්රා චෝදනාත්මකව කීවා. අධ්‍යක්ෂවරයාගේ බලපෑම මත එවැනි දර්ශනයක රඟපෑවත් චිත්‍රපටයට එක්කර තිබුණේ එම දර්ශනයේ ඉතා කෙටි අවස්ථාවකැයි ද ඇය පැවසුවා.

හයවැනි වතාවටත් බේරිලා

හයවැනි වතාවටත් සමේ පිළිකාවක් මතු වී එයින් ජීවිතය ගලවා ගත් ජනප්‍රිය නළුවෙකු තමයි, හියු ජැක්මන්. ඔහුගේ නාසය මත මේ අයුරින් පිළිකාවක් මතු වී තිබෙනවා. දක්ෂ වෛද්‍යවරුන්ගේ පිහිටෙන් ජීවත්වීමේ වාසනාව තමන් ලද බවයි හියු ජැක්මන් පවසන්නේ.

පිළිකාවෙන් ගැලවුණු පුවත ඔහු ලොවටම කියා සිටියේ ට්විටර් සටහනක් තබමින්. ඔහු මේ ට්විටර් පණිවිඩය සමඟම තමන්ගේ මුහුණෙහි සමීප රූපයක් ද පළ කර තිබුණා. එහි දිස්වන්නේ හියු, තම නාසය මත ප්ලාස්ටරයක් අලවාගෙන සිටින ආකාරයයි.

“තවත් වතාවක් පිළිකාවක්. මාව පරීක්ෂා කරලා ප්‍රතිකාර කළ දක්ෂ වෛද්‍යවරුන්ට ස්තුතියි.” හියු, ට්විටර් පිටුවෙහි එලෙස සටහන් කළා.

හියුගේ නාසයෙහි මුල් වරට පිළිකා ගැටිත්තක් මතුවී ඇත්තේ 2013 වසරේදියි. ට්විටර් පණිවිඩයෙන් ඔහු රසිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ දැඩි හිරු එළියෙන් ආරක්ෂා වන ලෙසයි.

ග්‍රැමි සම්මානය දෙකට කඩයි

බටහිර සංගීත ලොවට කිරුළු පළඳවන ග්‍රැමි සම්මාන උලෙළ 59 වැනි වරටත් පසුගියදා ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වුණා. මෙහිදී වැඩිම සම්මාන ගණනක් දිනා ගත්තේ සුපිරි ගායිකා ඇඩලේයි. 2016 වසරේ ගීත ඇල්බමය ලෙස සම්මාන ලැබුවේ ඇගේ ගීත ඇතුළත් ‘ට්වෙන්ටි ෆයිව්’ නම් වූ ගීත එකතුවයි. වසරේ හොඳම ගීතය ලෙස ද සම්මානය දිනා ගත්තේ ඇය ගැයූ ‘හෙලෝ’ නම් වූ ගීතයයි. වසරේ හොඳම පොප් ඇල්බමය වූයේ ද ඇඩලේ ගී ගැයූ ‘ට්වෙන්ටි ෆයිව්’. වසරේ හොඳම පොප් ගීතය මුසු වූ ඒකල ඉදිරිපත් කිරීම ලෙස සම්මාන දිනුවේ ද ඇගේ ‘හෙලෝ’ ගීතයයි. බොහෝ දෙනෙකු විශ්වාස කළේ තවත් සුපිරි ගායිකාවක වන බෙයොන්සේ වැඩි සම්මාන ගණනක් දිනා ගනු ඇති බවයි. එහෙත් ඇයට හිමි වූයේ ඇගේ ‘ලෙමනේඩ්’ නම් වූ ගීත එකතුව වෙනුවෙන් හොඳම සමකාලීන ගිත ඇල්බමයට හිමි වන සම්මානය පමණයි. මෙහිදී, ජනප්‍රිය ගායිකා ඇඩලේ තමන්ට හිමි වූ වසරේ ගීත ඇල්බමය වෙනුවෙන් වූ ග්‍රැමී සම්මානය වේදිකාව මත දී භාරගෙන එය දෙකට කඩා දෑතට ගෙන, මේ සම්මානය හිමි විය යුත්තේ බෙයොන්සේට යැයි පැවසුවේ ප්‍රේක්ෂකාගාරය පුදුමයට පත් කරවමින්. “මට මේ සම්මානය භාර ගැනීමේ හැකියාවක් නැහැ. හොඳම ගීත ඇල්බමය විය යුත්තේ බෙයොන්සේගේ ‘ලෙමනේඩ්’ ඇල්බමයයි.” ඇය දැඩි ආවේගයකින් පැවසුවා.

 

 

  

Comments