
කරීනා යළිත් රංගනයට
කුළුඳුල් දරුවා ලැබීමෙන් පසුව කරීනා කපූර් අවුරුදු කිහිපයක් නිහඬව සිටිනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළා. නමුත්, ප්‍රීති විරාජ් කපූර් ගෙන් ඇරැඹුණු සිනමා පරපුර තුළින් කිසිදු විටෙක රංගනය ඈත් නොවන බව සනාථ කරමින් කරීනා යළි බොලිවුඩ්පුරයට එක්වීමටයි ලකලැහැස්ති වන්නේ.
කරීනා මවු පදවිය ලැබුවේ පසුගිය දෙසැම්බර් මාසයේදීයි. ඇයට ඒ උතුම් ‘තනතුර’ ලබා දෙමින් මෙලොව එළිය දුටු පුතා, තයිමූර් අලි ඛාන්. මේ සුරතලා උපන් පසුව කරීනා විතරක් නොවෙයි, සායිෆ් අලි ඛාන් ද මාස කිහිපයක නිවාඩුවක් ගත්තා. සායිෆ් තම පුතුගේත් බිරියගේත් දුක සැප නිරතුරුවම සොයා බැලුවා.
කරීනා මේ වන විට සූදානම් වන්නේ අප්‍රේල් මාසයේදී රූගත කිරිම්වලට මුල පුරන ‘වීර් ඩි වෙඩින්’ නම්වූ නවතම බොලිවුඩ් චිත්‍රපටයේ රඟපෑමටයි. කරීනා පවසන්නේ මවක ලෙස බිලිඳු පුතුගේ වැඩ කටයුතු සිදු කරන අතරතුරදී චිත්‍රපටවල රඟපෑම අපහසු කරුණක් නොවන බවයි. නිවසේ සහ සිනමා ලෝකයේ කටයුතු සමබරව පවත්වාගත හැකි බවත් ඇය පවසනවා.
“කවදත් මම විවාහ ජීවිතයයි වෘත්තීය ජීවිතයයි සමබරව පවත්වා ගත්තා. හුඟ දෙනෙක් හිතුවෙ මට එහෙම කරන්න බැරි වේවි කියලයි. නමුත්, මම එහෙම කළා. ඉදිරියටත් ඒ විදිහට තමයි මම වැඩ කරන්නෙ. කාන්තාවකට පවුල් ජීවිතයක් තිබෙනවානම්, දරුවෙක් ඉන්නවානම්, ඒකෙන් කියන්නෙ නැහැ, එයා ගෙදරටම බැඳිලා ඉන්න ඕනෙ කියලා. ඇත්තෙන්ම, ඒ දෙපැත්තටම වෙලාවක් තියෙනවා” කරීනා සැහැල්ලුවෙන් පවසනවා. ඇය, කුළුඳුල් දරුවා ලැබෙන්නට සිටියදීත් මෝස්තර නිරූපණ අවස්ථාවලටත් එක්ව සිටි බව රහසක් නොවෙයි.
අසැබි වදන් නිසා වාරණයක්
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි පසුගිය සෙනසුරාදා ඇරැඹුණු ප්‍රාන්ත මැතිවරණය නිසා බොලිවුඩ් චිත්‍රපටයක් තාවකාලික වාරණයකට ලක්වෙලාලු. ඛාලිඩ් කිඩ්වායි නිෂ්පාදනය කළ, රන්ජිට් ගුප්තා අධ්‍යක්ෂණය කළ ‘රම්භාජ්ජාන් සින්ඩබාඩ්’ නම් වූ චිත්‍රපටයයි, එලෙස වාරණය වී ඇත්තේ.
ප්‍රවීණ නළු, නැසීගිය ඕම් පූරි ප්‍රධාන චරිතයක් රඟන මේ චිත්‍රපටය මුලින් ම තිරගත වීමට නියමිතව තිබුණේ ජනවාරි 13 දායි. නමුත්, ඕම් පූරිගේ අභාවය නිසා එය තිරගත කිරිම පෙබරවාරි මාසයට කල් තැබූ බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත්, ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලය පවසන පරිදි චිත්‍රපටයට වාරණයක් පැනවී ඇත්තේ මැතිවරණය හේතුවෙන්ම නොවෙයි. කාන්තාවක් දූෂණය කිරිමේ සිද්ධියක් වටා ගෙතුණු මේ චිත්‍රපටයේ, කාන්තාවන්ට නිගරු වන අන්දමේ අසභ්‍ය වදන් මෙන්ම ඍජුව සහ වක්‍රව දේශපාලනයට අදාළ වූ දෙපිට කැපෙන දෙබස් ද ඇතුළත් වී තිබෙනවාලු. රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති පහ්ලාජ් නිහාලානි පවසන්නේ එවැනි අදහසක්.
මේ චිත්‍රපටයේ අධ්යක්ෂවරයා පවසන්නේ උත්තර් ප්‍රදේශ්හි පවතින දූෂිත දේශපාලනය සහ නිලධාරිවාදය උපහාසයෙන් යුතුව මතුකර ලීමට තමන් උත්සාහ කළ බවයි. කෙසේ වුවද මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමේ සහතිකය ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලයෙන් නොලැබුණු බවයි, අධ්යක්ෂ රන්ජීව් ගුප්තා පවසන්නේ.
මනුස්සකම පෙන්වන සල්මන්
අශෝක් සිං, බොලිවුඩ්පුරයේ සුපිරි නළුවෙකුගේ මෝටර් රථයේ නිල රියැදුරායි. පසුගියදා අශෝක්ගේ පුත්‍රයා විවාහ දිවියට එළඹුණා. ඒ වෙනුවෙන් පැවැත්වුණු විවාහ මංගල උත්සවයට අශෝක්ගේ හාම්පුතා ද සහභාගි වුණා. ඔහු තමයි, සල්මන් ඛාන්. භාරතය පමණක් නොවෙයි, මුළු ලොවම හඳුනන සල්මන්, තම රියැදුරුගේ පුතාගේ මංගල උත්සවයට සහභාගි වුණේ පවුලේ සියලු දෙනාත් එක්කයි. සල්මන්ගේ පියාණන් වන ප්‍රවීණ තිර නාටක රචක සලීම් ඛාන්, බාල සොහොයුරෙකු වන ජනප්‍රිය නළු සොහේල් ඛාන්, නැඟණියන් වන අල්විරා සහ අර්පිතා සහ අර්පිතාගේ සැමියා වන අතුල් අග්නිහෝත්රි ද මේ විවාහ මංගල්‍යයට පැමිණ සිටියා.
ආඩම්බරකාරයකු, දඩබ්බරයකු ලෙස ඇතැම් අය සල්මන් දෙස බැලුවත් සැබවින්ම ඔහු කාරුණික සහ නිහතමානී මනුෂ්‍යයකු බව මෙවැනි සිදුවීම්වලින් පැහැදිලි වන බවයි බොලිවුඩ්පුරවාසීන් ප්‍රකාශ කරන්නේ. සල්මන් තම පෞද්ගලික කාර්ය මණ්ඩලය සලකන්නේ පවුලේම ඥාති පිරිසක් හැටියටයි. මේ බැඳීම වඩාත් ශක්තිමත් වුණේ පසුගිය කාලය තුළ ඔහු ගත කළ අසීරු වාතාවරණවලදියි.
සල්මන් නිතරම පවසන්නේ තම ජීවිතයට බාධක පැමිණි සැම විටම පෞද්ගලික කාර්ය මණ්ඩලයේ හැම කෙනෙකුම තමන් සමඟ සිටි බවයි. ඒ නිසා ඔවුන්ගේ ජීවිතවල වැදගත් අවස්ථාවන්ට එකතු වීමට සල්මන් කොහෙත්ම අමතක කරන්නෙ නැහැ. ඔවුන්ගේ ජීවිතවලට ඇතිවන නොයෙකුත් කරදරවලදී පිහිට වෙන්නටත් සල්මන් පසුබට වෙන්නෙ නැහැ. සල්මන්ගේ මේ මනුස්සකම බොලිවුඩ්පුරයේ කාට කාටත් ආදර්ශයක් බවයි බොහෝ දෙනාගේ මතය.