ළඟදීම ගුවන් විදුලි මාධ්‍යය උඩුයටිකුරු කරන වෙනසක් | Page 2 | සිළුමිණ

ළඟදීම ගුවන් විදුලි මාධ්‍යය උඩුයටිකුරු කරන වෙනසක්

සිරස ඒෆ්එම් ප්‍රධානී, කිංස්ලි රත්නායක

සිරස ගුවන්විදුලියට වසර 23ක්. මොකද හිතෙන්නේ ඔබට?

ලොකු සතුටක් දැනෙනවා. සිරස එෆ් එම් ආරම්භ කරත්දී සිරසේ පළමුවෙනි වැඩසටහන කරපු නිවේදකයා ලෙසත් මේ වන විට වසර 23ක් සමරන මොහොතේත් සිරස සමඟ එහි ප්‍රධානියා ලෙසත් සතුට බෙදාගන්න ලැබීම ලොකු වාසනාවක්. ඒ වගේම සිරස බාල තරුණ මහලු හැමදෙනාම දන්න ගුවන් විදුලි නාළිකාවක් කරන්න අපි ගත කරපු කාලය අපතේ ගිහිල්ලා නැහැ කියලා හිතෙන කොටත් ලොකු සතුටක් දැනෙනවා.

සිරස සමාජයට කරපු මෙහෙවර මොන වගේද?

ඒ ගැන කතා කරන්න නම් ලියන්න නම් ඔබට තව කලාප දෙකක්වත් ගහන්න වේවි. මම මෙහෙම ප්‍රශ්නයක් ඔබෙන් අහන්නද? මේ වසර විසි තුනට මේ සමාජයට මොනවද සිරසෙන් නොකළේ? ගතානු ගතිකව පැවැති ගුවන් විදුලි සම්ප්‍රධාය වෙනස් කරලා ගුවන් විදුලියක් ලෙස ජනතාවගේ දුකේදිත්දිත් සැපේදිත් තනිනොතනියට හැමදාමත් ඔවුන් සමඟ අපි හිටියා. ගුවන් විදුලි මාධ්‍යය කියන දෙයට වඩා එහා ගිය වැඩකොටසක් අපි ශ්‍රාවකයා වෙනුවෙන් කළා. එය කාටත් වඩා ලංකාවේ මිනිසුන් දන්නවා.

සිරසට මේ තරම් දුරක් එන්න ලැබීමට හේතු වූ කාරණා මොනවාද?

මම හිතන්නේ කනප්පුවක් වගේ ශක්තිමත් පාද තුනක් අප ආයතනය සතුයි. එයයි අපේ ජයග්‍රහණයේ අඩිතාලම. එය කණ්ඩායම් තුනකින් සමන්විතයි කිව්වොත් මා නිවැරැදියි. අංක එක තමයි නායකත්වය. අපේ කැපිටල් මහරාජා සමාගමේ ප්‍රධානී රාජා මහේන්ද්‍රන් සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ ශක්තිමත් කළමණාකාරිත්වය. දෙවැන්න තමයි හැදාමත් අලුත්වෙන නිර්මාණහීලී අදහස් සමඟ වැඩකරන කාර්ය මණ්ඩලය හා ඒ නිර්මාණශීලී අදහස් වලට අනුග්‍රහය ලබාදෙන අනුග්‍රාහක බවතුන්වැනි. තුන්වන පාර්ශ්වය තමයි අලුත් දේ නිරතුරු ලබා ගන්නා ඒ වගේම සරුදේ සරු ලෙසත් නිසරු දේ නිසරු ලෙසත් අවබෝධයෙන් කටයුතු කරන දිගුකාලීනව අප සමඟ කටයුතු කරන අසන්නන්. මෙනිසා තමයි වසර විසිතුනක් සපිරෙන මොහොතෙත් අංක එකේ ගුවන්විදුලි නාළිකාව ලෙස සිරස රැදී සිටින්නේ.

සිරස ආරම්භ කළ වකවානුව ඔබට මතකද?

හොඳට මතකයි. මගේ පළමුවැනි රැකියා ආයතනය වුණේ සිරස ගුවන් විදුලියයි. ඒ අතීතය ඇත්තටම සොඳුරුයි. ඒ කාලෙ පැවැතුණු ගතානුගතික සාම්ප්‍රධායික ගුවන් විදුලි මාධ්‍ය කලාවට අභියෝග කරමින් තමයි සිරස ශ්‍රාවකයන් අතරට ආවේ. ඒ සඳහා අට දෙනෙක් පමණ එකතු වුණා. සාම්ප්‍රදායික නිවේදනයට තාක්ෂණය එක්කාසු කරලා තමන් විසින්ම මැදිරියේ සියලු කටයුතු කරගන්නා ගුවන්විදුලි මාධ්‍ය කලාවක් ලංකාවේ ගොඩනගන්නට අපි 8 දෙනා සමත් වුණා.මට මතකයි ඒ විදිහට තමන් විසින්ම මැදිරිය හසුරුවා ගනිමින් ආරම්භක සාකච්ජාව කළේ මම. ඒ සඳහා මට සුරංගි ද අල්විස් සහය නිවේදිකාව ලෙස සහයෝගය දුන්නා.

මේ විදිහට කළ එළි බසිද්දී ලැබුණු ප්‍රතිචාර මතකද?

මෙහෙමයි. පැවැති සාම්ප්‍රදායික ගුවන්විදුලි මාධ්‍ය සම්ප්‍රදායට කොටු වූ නම් දරාපු ජේෂ්ඨ ශිල්පීන්ගෙන් අඩු තක්සේරුවක් තමයි අපේ උත්සාහයට ලැබුණේ. පන්නිපිටියෙ මොන්ටිසෝරිය කියල තමයි එදා අපිට කිව්වේ. ගුවන් විදුලි නාළිකාවකින් ඇරැඹූ සිරස අද වන විට සිරස මාධ්‍ය ජාලයකින් සන්නද්ධයි. මාධ්‍ය ලෝකයේ සමුහ ව්‍යාපාරයක්, මාධ්‍ය ජාලයක් අප සතුයි. මෙයට ආරම්භක යුගයේ ලැබුණු අයෝමය ශක්තිය, වාසනාව නොඅඩුවම බලපාන්න ඇති.

අනෙකුත් මාධ්‍ය නාළිකා අතර දක්නට ලැබෙන තරඟයත් එක්ක සිරස අද කොතැනද?

අනෙක් ගුවන් විදුලි නාළිකා එක්ක සන්සන්ධනය කරන විට විවිධ උච්චාවචනයන් දක්නට ලැබෙනවා. ලොකු කුණාටු හමා ආවත් ඒ හැමදේම තාවකාලිකයි. අපි හැදාමත් හැමවිටමත් ශක්තිමත්. එනිසා ඒ හැමදේ එක්කම විශ්වාසයෙන් යුතුව තරගවදින්න අපිට පුළුවන්. අපි හැමවිටම ‘සිරස ‘ කියන බ්‍රෑන්ඩ් එක තමයි ඉදිරියට ගෙන ආවේ. එදත් අදත් හෙටත් එහෙමයි. පුද්ගලයො අනූව ඉදිරියට ගියේ නැහැ. තරු බිහි වුණා තමයි. ඒ සිරස ඇතුළෙයි. එදා අපි කලබල වුණෙත් නැහැ. අදත් කලබල නැහැ. හැමදේටම උපේක්ෂාවෙන් මුහුණ දෙනවා.

ඉදිරියේ දී ඔබේ අසන්නන් වෙනුවෙන් ඉදිරිපත්වන නවමු වැඩසටහන් මොනවාද?

ලංකාවේ පැවැති සාම්ප්‍රදාායික ගුවන් විදුලි කලාව දැනට අවුරුදු විසිතුනකට කලින් අලුත්ම වෙනසක් අත්දැකීමක් ඇතිව අලුත්ම දිශානතියකට අපි යොමු කළා. එවන් වූ අලුත්ම අත්දැකීමක් සිරසට වසර විසිතුනක් සපිරෙන මාර්තු මාසයේ ඇතුළත අප අපේ ආදරණීය අසන්නන් වෙත ගෙන එන්න සූදානම්. එය කර්මාන්තයක් ලෙස ගුවන් විදුලි මාධ්‍යය උඩුයටිකුරු කරයි. එදා අපේ ගාමක බලවේගය වුණේ වින්දනීය තාරුණ්‍යයයි. අදත් එහෙමයි. මේ වතාවේ අපේ ශ්‍රාවකයන් වෙනුවෙන් අන්තර්ජාලය සමඟ අලුත්ම වෙනසක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. හැමදාමත් වගේ අලුත් දෙයක් දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ...ඒ වෙනුවෙන් හැමදාමත් සිරසයි පාර කියන්නේ...

 

 

Comments