හොඳ ම දේ දරුවන්ටයි | සිළුමිණ

හොඳ ම දේ දරුවන්ටයි

හොඳ ම දේ දරුවන්ටයි කියලා රුසියාවෙන් ගොඩනැඟුණු සුප්‍රසිද්ධ කියමන, කියමනක් ම නොවී සැබෑ වුණු අවස්ථා ඉඳහිට හෝ අපට දැන ගැනීමට ලැබීම වාසනාවක්. පොත් අපේ නෙත් වගේ කියලා කිව්වට ඒ නෙත් වගේ පොත් පරිශීලනය කිරීමේ වාසනාව උදා වන්නේ කීයෙන් කී දෙනාටද? සම්පත් බෙදී යෑමේ විසමතාව විසින් ම සෑම දරුවකුට ම සමාන පහසුකම් උරුම වීමේ වරප්‍රසාදය ගිලිහී ගොස් තිබෙනව‍ා.

පුත්තලම අධ්‍යාපන කලාපයේ ආනමඬුව කොට්ඨාශයේ පිහිටි කෑදැත්තාව ප්‍රාථමික විදුහලත් අවම පහසුකම් යටතේ පාලනය වන පාසලක්. මේ පාසලේ එක වසරේ සිට එය වසර දක්වා පමණයි පන්ති පැවැත්වෙන්නේ. දරුවන් 90 ක් මෙහි ඉගෙනුම ලබන අතර ම ගුරවර ගුරුවරියන් අට දෙනෙක් මෙහි සේවය කරන‍වා.

මේ දරුවන් අධ්‍යාපනය ලබන්නේ බොහෝ දුෂ්කරතා මධ්‍යයේ. හොඳ ම දේ දරුවන්ට කිව්වට මේ දරුවන්ට නම් බොහෝ දේ අහිමියි. ඒ අහිමිවීම ඔවුන්ගේ අනාගතයට දුක්බර සෙවණැලි පතිත කරමින් තිබුණා.

කෑදැත්තාව ප්‍රාථමික විදුහලේ දරුවන් වෙනුවෙන් පසුගියදා කොළඹ පුත්තලම දුම්රියේ ගමන් ගන්නා මඟීන් පිරිසක් එක් ව ලක්ෂ පහකට ආසන්න වටිනාකමින් යුත් පාසල් උපකරණ ලබා දුන්නේ අනාගත ආයෝජනයක් කරමින්.

නෙත රැඳි කඳුළු බිඳු සමඟින් ම මේ දරුවන්ගේ පුංචි සිත් උගැන්මේ වටිනාකමින් පිරී යද්දි, මේ සත්ක්‍රියාවට දායක වූ කොළඹ පුත්තලම දුම්රිය මඟීන්ගේ සිත් සැනසුමේ ප්‍රීතියෙන් ඔකඳ වුණා. අනාගත ලොව ගොඩනඟන්නට ඔවුන් තැබූ මේ පුංචි පියවර මහා විප්ලවයක ආරම්භයක් බැව් සටහන් කළ යුතු ම යි.

හොඳ ම දේ දරුවන්ට.... ලෙනින් ගේ වදන් ම සිත පුරා දෝංකාර දුන්නා.

Comments