
සංවාදයට
අ පො ස උසස් පෙළ සිංහල විෂය නිර්දේශය පිළිබඳ ව හටගෙන ඇති ඝෝෂාව සිංහල සාහිත්‍යයේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් යැයි කල්පනා කොට ආරම්භයේදීම සතුටට පත් වීමි. එහෙත් විද්වතුන් සහ ප්‍රබුද්ධ පාඨකයන් අතර ඇතිවූ සංවාද ඇසීමෙන් පසු මා තුළ ද කිසියම් කුකුසක් හටගත්තේ ය. මේ කාරණය පිළිබඳව තුලනාත්මකව සහ උපේක්ෂා සහගත සිතින් විමසා බලා අදහස් කිහිපයක් ප්‍රකාශ කරන්නට අදහස් කළේ එබැවිනි. විද්වතුන් සහ සමහර ප්‍රබුද්ධ පාඨකයන් ඉදිරිපත් කළ හරවත් අදහස් කීපයක් ම මේ ලිපියට ඇතුළත් කිරීමට කල්පනා කරමි.
ගැටලුව මතුවී ඇත්තේ සිංහල විෂය නිර්දේශයේ එක්තරා කොටසකට එනම් නවකතා, කෙටිකතා, පද්‍ය සහ නාට්‍යවලට නියමිත ග්‍රන්ථ සම්බන්ධයෙනි, සමස්ත සිංහල විෂය නිර්දේශය ගත් විට එම කොටසින් ආවරණය වන්නේ සියයට 11 පමණ ප්‍රමාණයකි. මෙයින් අනියමින් අනාවරණය වන කරුණු කීපයක් ද ඇත. තත් විෂය නිර්දේශයේ සියයට 89 ක්ම කිසිම ෙභ්දයකින් තොර වූ සර්ව සාධාරණ වූවක් බවයි. අනෙක් කාරණය වනුයේ අ පො ස උසස් පෙළ විභාගයට නියමිත සියලුම විෂය ක්ෂේත්‍ර අතරින් ගැටලුවක් නිර්මාණ වී ඇත්තේ සිංහල විෂය ක්ෂේත්‍රය තුළ නිර්දිෂ්ට ග්‍රන්ථ නියම කිරීම සම්බන්ධයෙන් පමණක් බවයි. අනෙක් සියලු ම විෂය ක්ෂේත්‍ර වෙනුවෙන් සකස් කර ඇති විෂය නිර්දේශ සර්ව සාධාරණ කාලෝචිත සහ අනාගතය පිළිබඳ ව ගැඹුරින් කල්පනා කොට සකස් කරන ලද ඒවා බැවින් ඒවාට කිසිදු විරෝධයක් නොමැති බවයි.
එහෙත් මා අමුතුවෙන් නොකීවාට සියලුම විෂය ක්ෂෙත්‍රයන්ට අදාළ ව ම විෂය නිර්දේශයේ ගැටලු සහගත තත්ත්වයන් පවත්නා බව අදාළ විෂය ක්ෂේත්‍රවල විද්වතුන් පමණක් නොව සාමාන්‍ය පාඨකයන් පවා අඩු වැඩි වශයෙන් දන්නා කාරණයකි. සමස්ත ක්‍රියාවලිය ම සංශෝධනයට ලක්විය යුතු බවටත් අනාගතයට සුදුසු පරිදි සෑම විෂයයක් ම යාවත්කාලීන විය යුතුවා පමණක් නොව අලුත් විෂයයන් විෂය නිර්දේශයට ඇතුළත් විය යුතු බවටත් සැකයක් නැත.
එහෙත් මා අමුතුවෙන් නොකීවාට සියලුම විෂය ක්ෂේත්‍රයන්ට අදාළ ව ම විෂය නිර්දේශයේ ගැටලු සහගත තත්ත්වයන් පවත්නා බව අදාළ විෂය ක්ෂේත්‍රවල විද්වතුන් පමණක් නොව සාමාන්‍ය පාඨකයන් පවා අඩු වැඩි වශයෙන් දන්නා කාරණයකි. සමස්ත ක්‍රියාවලිය ම සංශෝධනයට ලක්විය යුතු බවත් අනාගතයට සුදුසු පරිදි සෑම විෂයයක් ම යාවත්කාලීන විය යුතුවා පමණක් නොව අලුත් විෂයයන් විෂය නිර්දේශයට ඇතුළත් විය යුතු බවටත් සැකයක් නැත.
ප්‍රථමයෙන් ම ගැටලුවලට තුඩු දී ඇති කාරණය සහ එය ඉස්මතු වන්නට හේතු වූ කරුණු සොයා බැලීම වැදගත් යැයි කල්පනා කළෙමි. සිංහල විෂය නිර්දේශයේ ගැටලුවට බලපා ඇත්තේ නිර්දිෂ්ට ග්‍රන්ථ නියම කිරීමේ ක්‍රියාවලියයි. සමහර ලේඛකයන් සහ කවීන්ගේ නිර්මාණ හිතාමතාම කපා හැර ඇති බවටත් චෝදනා නැඟේ. කෙසේ වෙතත් විවේචන කරන පිරිස් ජනමාධ්‍යයට ඍජු ව සම්බන්ධ පිරිස් වන බැවින් ඔවුන්ගේ හඬ ජනමාධ්‍ය තුළින් ඉස්මතු වන බව පෙනෙන්නට ඇත. අනෙකුත් විෂයයන් සම්බන්ධයෙන් කර්කශ විවේචන එල්ල නොවන්නේ ඒවා සර්ව සාධාරණ ලෙස සකස් කර තිබීම නිසා නොව ජනමාධ්‍යයට සම්බන්ධ පිරිස් එම විෂයයන් හා සම්බන්ධ නොවීමයි.
නිර්දිෂ්ට ග්‍රන්ථ වශයෙන් තෝරාගත් පොත්වලට එරෙහිව සහ සමහර පොත් තෝරා නොගැනීමට එරෙහිව සිදුකරන ඝෝෂාව යටි අරමුණක් ඇතිව සිදු කරන්නක් බවට ද තර්ක ගොඩනැඟී ඇත. තමන්ගේ පොත් නිර්දේශිත ග්‍රන්ථවලට ඇතුළත් නොකිරීම නිසා තමන්ට ලැබිය හැකිව තිබූ ආර්ථික ප්‍රතිලාභ අහිමි වීම නිසා මේ විරෝධය සිදු කරන බවට ඉදිරිපත් වන එක් තර්කයකි. තමන්ගේ පොත විෂය නිර්දේශයට ඇතුළත් වුණා නම් එයට හොඳ වෙළෙඳපොළක් නිර්මාණය වන අතරම එම ලේඛකයාගේ හෝ කවියාගේ කීර්ති නාමයට එය ආශිර්වාදයක් වේ. එවිට ඔහුට හෝ ඇයට පාසල්වලට ගොස් දේශන පවත්වා මුදල් උපයා ගැනීමේ හැකියාව ද ලැබේ.
එක් නවකතාවක් වෙනුවට නවකතා කීපයක් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම නිසා ගුරුවරයා අපහසුතාවට පත්වන බවට ඉදිරිපත් වන තවත් තර්කයකි. මෙසේ පොත් කීපයක් ඇතුළත් කළ විට ගුරුවරයාට ඒ පොත් සියල්ල කියවා විචාරය කිරීමට සිදු වේ. කෙසේ වෙතත් එම තර්කයට එකඟ වීමට නොහැකිය. ගුරුවරයාගේ කාර්යභාරය දරුවන් ඉගෙනීම සඳහා මෙහෙයවීමයි. ඒ සඳහා නිර්දේශිත පොත්වලින් පමණක් නොව වෙනත් පොත්වලින් වුව නිදසුන් ගැනීමට ඔහුට බාධාවක් නැත. එහෙත් ගුරුවරයා නවකතාව කියවා තමන් ලබන වින්දනය ශිෂ්‍යයා මත බලෙන් පැටවීමට උත්සාහ කරන්නේ නම් එය ශිෂ්‍යයාගේ රස වින්දන ශක්තිය මෙන්ම පරිකල්පන ශක්තිය මොට කිරීමට දරන දුෂ්ට ප්‍රයත්නයක් ලෙස සලකා පිටුදැකිය යුතුය.
සිංහල විෂයය සඳහා නිර්දේශිත ග්‍රන්ථ නාමාවලියට ලංකාවේ චෙකෝෆ්ගේ කෙටිකතා, ලංකාවේ කෆ්කාගේ කෙටිකතා, ලංකාවේ ගෝර්කිගේ කවි, ලංකාවේ බර්ට්‍රන්ඩ් රසල් දාර්ශනිකයාගේ සංකල්ප ඇතුළත් කවි, ලංකාවේ පුෂ්කින්ගේ කවි, ලංකාවේ ටොල්ස්ටෝයිගේ නවකතා ඇතුළත් නොවීම බරපතළ ගැටලුවක් ලෙස පෙන්වා දෙමින් පුවත්පත්වල ලිපි කිහිපයක්ම පළ විය. (ගෝර්කි කවියෙක් නොවන බවවත් මේ අය නොදන්නවා විය හැකිය) ඉහත නම් සඳහන් කළ විශිෂ්ටයන්ට තමන්ව සමාන කරගනිමින් ඇඳ ගැනීමේ සහ මිතුරන් ලවා අන්දවාගෙන හැඩගැන්වීමේ එසේත් නැත්නම් මේකප් කරවා ගැනීමේ සුක්ෂ්ම ව්‍යාපාරයක් ද මේ සියල්ල පසුපස ඇති බව පෙනී යයි. ඒ විශිෂ්ට ලේඛකයන්ට සහ දාර්ශනිකයන්ට අලගු තබන්නටවත් ඒ නම්වලට මුවාවී සිටින අයට හැකියාවක් නැති බව ඕනෑම සාමාන්‍ය පුද්ගලයකුට වුවද වටහා ගැනීම අපහසු නොවේ. මේ අයගේ මේකප් එක එක් වරක් ස්නානය කිරීමෙන්ම හෝ වැස්සකට වුණත් සේදී යා හැකි බව පමණක් සඳහන් කිරීම දැනට ප්‍රමාණවත් ය.
පසුගිය දශක තුනක හතරක පමණ කාලය තුළ විශාල වශයෙන් පොත්පත් පළ වීම සිදු විය. මුද්‍රණ ශිල්පයේ දියුණුවත් සමඟ පොත් මුද්‍රණය පහසු විය. එහෙත් පළවන පොත් අතරින් වැඩි හරියක් වැදගැම්මකට නැති ඒවා බවට ප්‍රබුද්ධ පාඨකයන් මා සමඟ එකඟ වනවාට සැකයක් නැත. නිර්මාණ සාහිත්‍යය දියුණු කිරීමේ අපේක්ෂාවෙන් විවිධ සම්මාන වැඩ සටහන් පසුගිය කාලය තුළ සංවිධානය විය. ඒවායින් සම්මානයට පාත්‍ර වූ පොත් කිහිපයක් ම ඉංග්‍රීසි භාෂාවට දැනටමත් පරිවර්තනය වී ඇත. එහෙත් මෙරට සිටින දේශීය ඉංග්‍රිසි පාඨකයන්ගේ අවධානයට පවා ඒ පොත් ලක්වී නැත්තේ ඒවායේ ඉංග්‍රීසි පරිවර්තනයේ දුර්වලතාව නිසා නොව මුල් කෘතිය සම්භාවනාවට පාත්‍ර වීමට තරම් සුදුසු තත්ත්වයක නොපැවතීම නිසායි. මෑත කාලයේ සම්මානයට පාත්‍ර වී ඇති කෘති බොහොමයක් සම්මානයට පාත්‍ර වූ වර්ෂයෙන් පසු පාඨකයන් අතර භාවිත නොවීමෙන් පැහැදිලි වන්නේ එම කෘති සර්වකාලීන වටිනාකමකින් තොර සම්භාව්‍ය සාහිත්‍යයට ඇතුළත් කළ නොහැකි කෘති බවයි. එවැනි කෘති පාසල් සිසුන් සඳහා නිර්දේශ කළහොත් සිදුවන්නේ බලවත් හානියක් නොවේ ද?
විෂය නිර්දේශ සකස් කිරීමේ වගකීම බාරගෙන සිටින ජාතික අධ්‍යාපන ආයතනය තම වගකීම් නිසි ලෙස ඉටු කිරීමට අසමත් වී ඇති බව ද ඒ සමඟම කිව යුතුය. දේශපාලන හිතවත්කම් තනතුරුවලට පත්ව සිටින අය මෙවැනි වගකිව යුතු කාර්යයක් ඉටු කිරීමට අසමත් වීම පුදුමයක් නොවේ.
අවසාන වශයෙන් කිව යුතු වන්නේ විෂය නිර්දේශයේ වෙනස් විය යුතු වන්නේ අ පො ස උසස් පෙළ විෂය නිර්දේශයේ සිංහල විෂයට අදාළ කොටස සඳහා පමණක්ම නොවන බවයි. ප්‍රාථමික ද්විතීයික සහ උසස් අධ්‍යාපන යන සියලු මට්ටම්වල විෂය නිර්දේශ දේශීය අවශ්‍යතාවන්ට අනුකූලවත් අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුවත් ප්‍රතිසංවිධානය විය යුතුය. ඒ කාර්යය සඳහා යොදාගත යුත්තේ දේශපාලන ගැත්තන් නොව සුදුසුකම් ලත් විද්වතුන් පිරිසකි.