රොනීගේ තට්ටයට පච්චයක්! | සිළුමිණ

රොනීගේ තට්ටයට පච්චයක්!

ඔහු ඉතා සුන්දර කලාකරුවෙකි. ගායකයෙකි , රංගන ශිල්පියෙකි. බොහෝ දෙනෙක් ඔහු හඳුන්වන්නේ තට්ටයා නමිනි. පුංචි දරුවන් පවා ඔහුට බොහෝ සෙයින් ආදරය කරන්නේ ඔහු ඉදිරිපත් කරන හාස්‍ය රංගනයන් නිසාය.ඔහු රොනී ලීච්. රොනී පිළිබඳ පසුගිය දිනෙක අපට අසන්නට ලැබුණේ අපූරු පුවතකි. ඒ , රොනී තම තට්ටයේ පච්චයක් කෙටීමට සූදානම් වන බවය.‍ මෙම පුවතේ ඇත්ත නැත්ත දැන ගැනීම සඳහා පසුගිය දිනෙක අපි රොනීගේ නි‍වෙසට ගියෙමු.

 ඇත්තද ඔබ ඔබේ තට්ටයේ පච්චයක් කොටා ගන්න සූදානම් වෙනවා කියන්නේ?

පච්ච කෙටීම කලාවක්. ඒක ආරම්භ වුණේ නාවිකයන් අතර. හැබැයි මම ඒ කලාවට ආස නෑ. මගෙ සීය පච්ච කොටල තිබුණේ නෑ. තාත්තත් නෑ. මමත් කවදාවත් ඇ‍ඟේ පච්ච කොටන්නේ නෑ.

කවුරු හරි කිව්වොත් ඔබේ තට්ටයට පච්චයක් කෙටීම ලස්සනයි කියලා...

කවුරු යෝජනා කළත් මම මගේ ඇ‍ඟේ කිසිම තැනක පච්ච කොටන්නේ නෑ, මම විලාසිතාවක් කරන්නේ හොඳට හිතල බලලා. ඒක මගෙ වයසට, ජීවත් වන සමාජයට ගැළපෙනවද කියල සොයල බලලා තමයි එය කරන්නේ.

ඔබේ තට්ටය උපතින් ලැබුණු දෙයක් ද?

මම හොඳ ලස්සන කොණ්ඩයක් තිබුණු කොල්ලෙක් ඒ දවස්වල. කොණ්ඩෙ ගාල තට්ටයක් හදාගත්තේ ‘තට්ටයා’ සින්දුව නිසා. තට්ටයා සින්දුව මුලින් ම ගායනා කරන්න හිටියේ ජිප්සීස් කණ්ඩායමේ පියල් පෙරේරා. ඒ දවස්වල මම ජිප්සීස් කණ්ඩායම හොඳට අඳුනනවා. ඒ කාලෙ මම රැකියාව කළේ ඕමාන්වල. පියල් මට කතා කරල කිව්වා රොනී හොඳ සින්දුවක් තියෙනවා ඒක ගැළපෙන්නේ ඔයාටයි කියලා. ලංකාවට ආවට පස්සේ ඒක දෙන්නම් කියලත් කිව්වා. ලංකාවට ආවා. පියල් මට ඒ සින්දුවක් දුන්නා. හැබැයි මම ඒ වෙලාවේ හිතුවේ නෑ මට මේ සින්දුව නිසා තට්ටය ගාන්න වෙයි කියලා. ‘තට්ටය’ ගැන සින්දුව මීට කලින් ගායනා කරලා තිබුණේ නෑ. ඒ නිසා මේක හොඳ අභියෝගයක් කියලා මට හිතුණා. තට්ටයා සින්දුව එක්ක තවත් සින්දු කීපයක් ම පටිගත කළා. දැන් සින්දු ටික හරි. කැසට් එක එළිදක්වන්න පුළුවනි. හැබැයි කැසට් කවරයට පිංතූරයක් තිබුණේ නෑ. හැමෝම යෝජනා කළේ මගේ තට්ටය ගාපු photo එකක් කැසට් කවරයට දාන්න.

මාව හොඳට ම හිර වුණා. ඒ වෙනකොට මම ජීවිතේට තට්ටය ගාලා තිබුණේ නෑ. මාව වැටුණේ මාර උගුලක. මම අපේ අම්ම තාත්තගෙන් බේරෙන්න ඕන. විශේෂයෙන් ම මම මගේ වයිෆ්ගෙන් බේරෙන්න ඕන. (ඒ වෙන විට මම බැඳලා ටික කාලයයි)

කොහොම හරි මම තට්ටය ගාන්න කැමැති වුණා. බාබර් කෙනෙක් ගෙනැල්ලා මගේ තට්ටය ගාලා පිංතූර කීපයක් ම ගත්තා. වැඩේ ඉවරයි; හැබැයි මගේ හිතට අප්සෙට්. එදා වැහි දවසක්. තට්ටය ගාලා මම ගෙදර ආවේ බයෙන් සැකෙන්. කරුවල වැටීගෙන එන වෙලාවට. ගෙදර ඇවිත් දොරට තට්ටු කළා. දොර ඇරියේ මගේ වයිෆ්. දැක්ක හැටියේ එයා බය වුණා. ඒ මොකද මම උදේ ගෙදරින් ගියේ කොණ්ඩයක් එක්කනේ. වයි‍ෆ්ගෙන් බැණුම් කෝටියයි. මොනවද‍ මේ කරගත්තේ, මම දැන් කොහොමද ඔයත් එක්ක පා‍රේ බැහැලා යන්නේ කියල වයිෆ් හොඳට ම බැන්නා. කොහොමහරි සතියක් විතර මගේ වයිෆ් තරහවෙලා හිටියා. ඒ දවස්වල පාරෙ යනකොට වයිෆ් එහා පැත්තෙන් යනවා. මම මෙහා පැත්තෙන් යනවා. ඇයි ඉතින් වයිෆ්ට තට්ටයෙක් එක්ක පාරෙ යන්න බැහැනේ. එහෙම ගිහිල්ල ම නෑනේ.

ටික දවසකින් ජිප්සීස් නායක සුනිල් පෙරේරා ජිප්සීස් කණ්ඩායමත් එක්ක සින්දු කියන්න මාව දැම්මා. ජිප්සීස්ල සාමාන්‍යයෙන් පිට අය සින්දු කියන්න ගන්නේ නෑ, කොහොම හරි ජිප්සීස් එක්ක මම සංගීත සන්දර්ශන තුනයි කළේ; මුළු රටේ ම මාව ජනප්‍රිය වුණා. මට සංගීත ප්‍රසංගවලට මහා ඉල්ලුමක් ආවා. ස්ටේජ් එක උඩ තට්ටය ගාගත්ත ගායකයෙක් තට්ටය ගැන සින්දුවක් කීම රසිකයන්ට අලුත් අත්දැකීමක් වුණා. ඒ නිසයි මට ඒ තරම් ජනප්‍රියත්වයක් ලැබුණේ. ලංකාවේ සිනමා රංගනය වෙනුවෙන් මුලින් ම තට්ටය ගෑවේ පියදාස විජේකෝන්; ඒ ‘සුහද දිවි පිදුම’ චිත්‍රපටයට. වේදිකා නාට්‍ය වෙනුවෙන් මුලින් ම තට්ටය ගෑවේ නිහාල් සිල්වා. ගීතයක් වෙනුවෙන් මුලින් ම තට්ටය ගෑවේ මම.

ඊට පස්සේ කොණ්ඩය වවන්න හිතුණේ නැතිද?

හිතුණා. නමුත් ‘තට්ටයා’ සින්දුව කියන්න තියෙන නිසාත්, තට්ටය මගේ විලාසිතාවක් වුණු නිසාත් දිගට ම තට්ටය ගෑවා. හැමදෙනා ම කිව්වේ මම දැන් කොණ්ඩය වැව්වොත් කැතයි කියලා. ඒ නිසා මම දැන් දිගට ම තට්ටය ගානවා.

තට්ටය නඩත්තු කරන්න ගොඩක් මහන්සි වෙනවද?

අපොයි ඔව්. තට්ටය නඩත්තු කිරීම හරියට ගෑනු කෙනෙක් නඩත්තු කරනව වගේ තමයි. බිරිඳට හැමදාම කෑම බීම, ඇඳුම් පැලඳුම් දෙන්න ඕන වගේ මගේ තට්ටයට හැමදාමත් සලකන්න ඕන. හැමදාම තට්ටය ගාන්න ඕන. ඔළුව පුරා සබන් ගාලා රේසර් එකෙන් හැමදාම ගානවා. ඒක කරදරයක් තමයි. හැබැයි ඒ කරදරය දැන් මගේ ජීවිතයේ කොටසක් වෙලා.

ඔබ ගායනා කළ ‘කවුද බොලේ ඇලිස්’ ගීතයත් ඉතාම ජනප්‍රිය වුණා නේද?

ඒක ඉංග්‍රීසී ගීතයක්. ‘Smokey’ සංගීත කණ්ඩායම ගායනා කළ එකක්. ඒ; Living next door to Alice ගීතය. ඒ ගීතයේ තාලයට තමයි මම ‘ඇලිස්’ ගීතය නිර්මාණය කර ගත්තේ. මේ ගීතය ගයන්නත් මුල් වුණේ පියල් පෙරේරා.

තට්ටයට ලැබුණු ප්‍රතිචාර කොහොමද?

මේ තට්ටය නිසා මට චිත්‍රපට 23ක පමණ රඟපාන්න අවස්ථාව ලැබුණා. මම පිටරට රැකියාවට යන්න කලිනුත් චිත්‍රපටවල රඟපෑවා. මීට සති 3කට විතර කලින් ‘බෆලෝ ට්‍රැවල්ස්’ චිත්‍රපටයේ රඟපෑවා. ඒ චිත්‍රපටය ගාමිණී ෆොන්සේකාගේ එකම පුත් දමිත් ෆොන්සේකාගේ කුළුඳුල් සිනමා නිර්මාණය. මීට මාස 6ක විතර කලින් ‘යම රජසිරි’ චිත්‍රපටයේ රඟපෑවා. ඒ අවස්ථාවන් ලැබුණේ මගේ තට්ටය නිසා. එහි මම කළේ යම රජුගේ චරිතය. ඒක හාස්‍ය රංගනයක් නෙමෙයි. තාත්වික රංගනයක්. මට මුලින් ම තාත්වික රංගනයක් කරන්න අවස්ථාව දුන‍්නේ එච්.ඩී. ප්‍රේමරත්න මහත්තය. කිනිහිරියාමල් චිත්‍රපටයේ.

ඔබ රටවල් කීයක ප්‍රසංගවලට සහභාගි වෙලා තියෙනවද?

රටවල් 29ක තිබුණු සංගීත ප්‍රසංගවලට සහභාගි වෙලා තියෙනවා. මම හරිම කැමැත්තෙන් ඉන්නේ ඕලන්දයට, පෘතුගාලයට සහ ස්පාඤ්ඤයට යන්න. ගීත ගායනය සහ කලාව නිසා තමයි පිටරටවල්වල සංචාරය කරන්න ලැබුණේ.

පුංචි කාලේ හීන මැව්වේ කලාකාරයෙක් වෙන්නද?

පුංචි කාලේ මට පිස්සු දෙකක් තිබුණා. එකක් සින්දු කියන එක; අනෙක රඟපාන එක. නළු නිළියො එන තැනක් තියෙනවා නම් ගෙදරටත් නොකියා මම නළු නිළියො බලන්න යනවා. පුංචි කාලෙ තිබුණු පිස්සු දෙකම දැන් හොඳ වෙලා. ඒ කාලේ අපේ ගෙදර තිබුණේ දෙහිවල කවුඩාන පාරේ. අපට තරමක ලොකු වත්තක් තිබුණා. ඒ වත්තේ තිබුණු කජු ගස්වලට නැඟලා වටේම තියෙන ගෙවල් වලට ඇහෙන්න මම සින්දු කියනවා. වැඩියෙන් ම කියන්නේ චිත්‍රපට වල ගීත. අසනීප වුණු නිසා ටික කාලයක් ගස්වලට නැඟලා සින්දු කියන්න බැරිවුණා. ඊට ටික දවසකට පස්සේ අපේ ගෙවල් ළඟ හිටිය ගැහැනු කෙනෙක් මාව දැකල මගෙන් ඇහුවා ‘පොඩි බේබිට දැන් සනීපද? කියලා. ඒක මනුස්සයා හිතලා තියෙන්නේ මට මොළේ අමාරුවක් හැදිලා ගස් උඩ නැඟලා සින්දු කියනවා කියලයි.

තට්ටයට ලැබුණු හොඳ ම ප්‍රතිචාරය මොකක්ද?

මගේ තට්ටය දිලිසි දිලිසී තියෙන කොට සමහරුන්ට තට්ටුවක් දාන්න හිතෙනවා. ඒ තට්ටුව හයියෙන් වදින වෙලාවලුත් තියෙනවා. සමහර ගෑනු ළමයි තට්ටෙට හාද්දක් දෙන්න අහනවා. ඒ වෙලාවට මම කියනවා ඉන්න නංගි තට්ටෙ ටිකක් පිහදාලා දෙන්නම්. තට්ටෙ දාඩිය කියලා. තට්ටය ගාපු මුල් කාලෙ පාරෙ යනවිට සමහරු මට තට්ටයා කියලා කිව්වා. එතකොට මට හරියට තරහ ගියා. දැන්නම් එහෙම තරහ යන්නේ නෑ. දැන් තට්ටයා නොකිව්වොත් තමයි තරහා යන්නේ.

වර්තමාන ගායක පරම්පරාව ඔබ කොහොමද දකින්නේ?

ඉස්සර සෑම ගායක ගායිකාවක් ම ගායනා කළ ගීතවල හොඳ අර්ථයක් තිබුණා. නමුත් අද ඇහෙන සෑම ගීතයක් ම එක වගේ අර්ථ ඇති එකම ශෛලියකින් ගායනා වන ගීත. හැබැයි එක දෙයක් කියන්න ඕන. අද බොහොම හොඳ හඬ තියෙන තරුණ පරපුරක් ඉන්නවා. මට නම් ඔවුන්ගේ කටහඬ එක්ක හැරෙන්නවත් බෑ. නමුත් ඔවුන් ගායනා කරන හැම ගීතයක් ම එක වගේ. විවිධත්වයක් නෑ, ඒ නිසා අද තරුණ පරම්පරාව ගයන ගීත මතක හිටින්නේ නෑ. එදා මිල්ටන් පෙරේරා, ජෝති, ලන්ත්‍රා, ධර්මදාස වල්පොල වැනි ගායකයන්ගේ ගීත ඇහෙනවිට ඒ රසයට ඇඬුණා. අද ගායකයන් ගීත ගායනා කරන හැටි දැක්කම ඒ අය ගැන දුක හිතිලා ඇ‍ඬෙනවා.

ඔබේ අලුත් නිර්මාණ නැතිද?

මගේ රසික රසිකාවියන් වෙනුවෙන් අලුත් ම ගීත දෙකක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අවුරුද්ද අන්තිමේ ඒවා අහන්න ලැබෙයි. ඒ වගේ ම මම රඟපාපු චිත්‍රපටි 4ක් එන්න තියෙනවා. ශාරුක් ඛාන් රඟපාපු චිත්‍රපට එන්න තියෙන්නෙ තව එකයි. මගේ හතරක් එන්න තියෙනවා.

ඔබ රටේ නායකයා වුණොත් කරන එක වැඩක් කියන්න?

මේ රටේ තරුණ පෙම්වතුන්ට පෙම්වතියන්ට ප්‍රේම කරන්න ගෝල්ෆේස් පිට්ටනිය ඇරෙන්න වෙන නිදහස් තැනක් නෑ. මම ඔවුන් වෙනුවෙන් ප්‍රේම පාරාදීසයක් හදනවා. ඒක ලොකු පිනක්.

 

Comments