
අතිශය සමාජ සංවේදී සිද්ධියක් පාඨකයා වෙත සංජානනය කරන ආකාරය අපූරු ය. සංවේදී සිද්ධිය නම්; අනාථ දරුවකුගේ මරණය යි. මරණයක් යැයි කියූව ද එය ඝාතනයකට සමාන. එසේ නම්; ඝාතකයා කවරෙක් ද? නාඳුනන තුවක්කුකරුවෙක් ද? බෝම්බකාරයෙක් ද? නැතහොත් කුලියට මිනීමරන්නෙක් ද? නැත! සජීවී ඝාතකයකු ගැන කිසිදු සලකුණක් දකින්නට නැත. ඒ වෙනුවට යකඩ යකෙක් ප්‍රදර්ශනය වෙයි. කුරිරු ඝාතකයා යකඩ යකා ද? ඌට නඩු පවරන්නේ කෙසේ ද? දඬුවම් ලබා දෙන්නේ කෙසේ ද?
කිවිඳිය පාර්ශ්ව දෙකක් අප හමුවේ නිරූපණය කරයි. එක පාර්ශ්වයක් වන්නේ හිත්-පිත් නැති සමාජය යි. අනෙක් පාර්ශ්වය වන්නේ ඒ සමාජ ක්‍රමය තුළ වින්දිතයන් බවට පත් වූ කණ්ඩායම යි. පළමු පාර්ශ්වය බලවත් ය. ශක්තිමත් ය. එහෙත් සංවේදීතාවක් ඔවුන් ළඟ නැත. තම ඉලක්ක කරා හැල්මේ දුවන සමාජයක් ළඟ මනුස්සකම් තිබිය හැකි ද?
“යකඩවලට කවදත් හිත් පිත් නැතුවා
අහස පොළොව නුහුලන විදිහට බැලුවා”
කිවිඳිය තරගකාරී ධනේශ්වර සමාජය සංකේතවත් කරන්නේ රේල්පාරට හා කෝච්චියට ය. නූතන සමාජය තුළ පවත්නා අකාරුණිකභාවය මෙයින් මොනවට ගම්‍ය වෙයි.
“නෑ සිය පිරිවරක් යස ඉසුරුත් නොමැතී
සිහින අනාගතයක් - මාළිගාවකුත් නැතී”
මේ ප්‍රබන්ධයට අනුව වින්දිත පාර්ශ්වය කෙතරම් අසරණ ද යත්; ඔවුනට සිහිනෙන් හෝ යස ඉසුරු ප්‍රාර්ථකා කළ නොහැකි ය. එහි අර්ථය වන්නේ ඔවුන්ගේ අනාගතය ද අඳුරෙන් පිරී ඇති බව ය. මීට වැඩි වෙනසක්, පරිවර්තනයක්, වාසනාවක් අපේක්ෂා කිරීමට තරම් සාධකයක් නැත. ඔවුන්ගේ ජීවිත සදාකාලික පීඩනයක හිර වී ඇත. ඇත්ත තත්ත්වය වන්නේ ජීවත්වීමට වඩා මරණය සුබදායක බව ය.
නූතන සමාජය තුළ බලපවත්න කේන්ද්‍රීය ප්‍රශ්න දෙකක් මේ ප්‍රබන්ධයෙන් ඉස්මතු කෙරේ.
(I) ශ්‍රී ලංකාවේ අනාථ දරුවන් පිළිබඳ ගටලුව
(II) සමාජ වගකීම් හා
දේශපාලන අධිකාරියේ ප්‍රතිපත්ති පිළිබඳ ගැටලුව
අනාථ දරුවන් පිළිබඳ ගැටලුව සංකීර්ණ සමාජ අර්බුදයක් බවට පරිවර්තනය වෙමින් පවතී. එක අතෙකින් මාපියන් අහිමි දරුවන් අයාලේ යමින් සිටින අතර තව අතෙකින් මාපියන් - ඥාතීන් සිටියදී ද තවත් දරුවෝ අනාථ වී සිටිති. වැඩිහිටියන්ට දරුවන් ගැන බලන්නට කාලයක් නැත. නැතහොත් සිතාමතා ම දරුවන් අතහැර තිබේ. දරුවන් පිළිබඳ සොයා බලන ආයතන තම වගවීම් හරිහැටි හඳුනාගෙන ඇති බවක් පෙනෙන්නට නැත. එලෙස ම අනාථ දරුවන් පිළිබඳ විමර්ශනය කරන විධිමත් වැඩසටහන් ද අපට නැත. නීති හා රීති ඇතත්; ඒවා බොහෝ දෙනකුට අමතක ය.
දියුණු රටවල් සිය සමාජ සුබ සාධනයේ දී වැඩි ම අවධානයක් යොමු කරන්නේ දරුවන් වෙත ය. දරුවන්ගේ රැකවරණය, ආරක්ෂාව, අධ්‍යාපනය, පෝෂණය යන සියලු කරුණු මෙහි දී සැලැකිල්ලට ගැනෙන අතර ඔවුන්ගේ අනාගතය විසඳන ක්‍රමෝපාය ද ඒ අතර තිබේ. අපේ අනාථ නිවාසවලින් දරුවෝ පැන යති. තවත් විටෙක අනාථ නිවාසවල දරුවෝ අපහරණයට ලක්වෙති. මේ සියල්ල විමර්ශනය කරන විට පෙනී යන්නේ අපේ අනාථ දරුවන් බෙහෙවින් අනාරක්ෂිත බව ය.
කිවිඳිය සිය කාව්‍ය - ප්‍රබන්ධය සඳහා ප්‍රස්තුත කර ගන්නේ සත්‍ය සිදුවීමකි. ඒ බව ඇය වරහන් තුළ සටහන් කර තිබේ. මේ ප්‍රවෘත්තිය අප බොහෝ දෙනකුගේ මතකයේ ඇති අතර ඒ පිළිබඳ යම් තරමක සමාජ සංවාදයක් ඇති වූ බව ද අපට මතක ය.
අනාථ දරුවකු කෝච්චියට යට වී මිය යෑම ප්‍රස්තුතය වුව කිවිඳිය මරණය යන වචනය භාවිත කරන්නේ ප්‍රබන්ධයේ සිරසට පමණි. සිරස “සමනල මරණය” ලෙස සටහන් වී ඇත. එය අපූරු හෙඩිමකි. අනුකම්පාව, කරුණාව හා ශෝකය දැනවීම සඳහා “සමනල මරණය” යන යෙදුම කදිමට ගැළපෙයි. ප්‍රකට සිනමා නළු විජය කුමාරතුංග මහතා වෙඩි තබා ඝාතනය කළ විට ද සමනලයකුට වෙඩි තැබීම ලෙස සිද්ධිය හඳුන්වන ලදි. බණ්ඩාරනායක මහතාට වෙඩි තැබීම, මහත්මා ගාන්ධිතුමාට වෙඩි තැබීම යන සිද්ධිවල දී ද මෙබඳු යෙදුම් දක්නට ලැබිණි.
ඇතැම් ඝාතන සම්බන්ධයෙන් මහජනයා තුළ පවතින හැඟීම් වෙනස් ය. මෑතක දී සිදු වූ ප්‍රකට දේශපාලන ඝාතන දෙකක් හැටියට සදාම් හුසේන් එල්ලා මැරීමත්, කර්නල් ගඩාෆි වෙඩි තබා මරා දැමීමත් සඳහන් කළ හැකි ය. ඒවා සම්බන්ධයෙන් යම් විවේචන පැවැතිය ද මහජනයා කම්පනයට පත් වූ හැටියක් පෙනෙන්නට නැත. මරණයට ගොදුරු වන තැනැත්තාගේ ස්වභාවය, තත්ත්වය මෙන් ම හැසිරීම ද කම්පනය කෙරෙහි බලපායි. කිවිඳිය අනාථ දරුවාගේ ස්වාභාවය හා තත්ත්වය නිරූපණය කරන්නේ ශෝකය හා කම්පනය තීව්‍ර වන ආකාරයෙන් ය.
“ආදරයේ උණුසුම හීනෙන් දුටුවා
රේල්පාර උඩ සමනලයෙක් හිටියා”
“සමනල තටු තැළී පොත්වල අකුරු මැකී
යකඩ රෝදවල බර උහුලන්න බැරී
දරුවා වැඩියෙන් ම අපේක්ෂා කරන්නේ ආදරයේ උණුසුම ය. එහෙත් අනාථ දරුවකුට ආදරයේ උණුසුමක් ලැබෙන්නේ කා වෙතින් ද? අම්මා නැත. අප්පා නැත. ඥාතීන් නැත. විශ්වාසදායක නොවූ යාන්ත්‍රික රැකවරණයක් පමණක් දරුවාට ලැබී ඇත. මේ අනුව දරුවාට සමනල ජීවිතයක් නැත. ඔහු ජීවත්විය යුත්තේ බියෙන් - සැකයෙන් හා අවිශ්වාසයෙන් ය.
දරුවා කෝච්චියට යට වී විනාශ වී ඇති අයුරු සමනල තටු තැළී - පොත්වල අකුරු මැකී යන යෙදුම්වලින් ගම්‍ය වේ. මේ විනාශයේ බරපතළකම නිරූපණය වන්නේ යකඩ රෝදවල බර උහුලන්න බැරී යන යෙදුමෙන් ය. දරුවා තැළී - පොඩි වී ඇති භයංකර විලාසය පාඨක මනසෙහි ඇඳී යනු ඇත.
කිවිඳිය යටි පෙළක් ලෙස මතු කරන වැදගත් අර්ථයක් තිබේ. එනම්; පවතින සමාජ ක්‍රමය තුළ දරුවන්ට නිසි රැකවරණය නැති බව ය. විශේෂයෙන් දරුවා උදෙසා යහපත් අනාගතයක් පිළිබඳ බලාපොරොත්තු දැල්විය නොහැකි බවට ඇය ඉඟි කරයි. දරුවාට හොඳ ම දේවල් දෙමු යැයි කියූව ද ඒවා හුදු සටන් පාඨ පමණි. එබැවින් මරණය ද අනාථ දරුවකුට සැපතකි. කිවිඳිය දරුවා ගේ මරණය හඳුන්වන්නේ දෙවියන් රැගෙන යාමක් ලෙසට ය.
“මුහුදේ මාළු හඬමින් පීනන්න ඇති
මං හිතනවා දෙවිවරු නුඹ ගන්න ඇතී”
දෙවිවරුන් දරුවා ගන්නට ඇතැ’යි කීම මිථ්‍යාවක් ස්ථාපිත කිරීමක් නොව; සමාජය දැඩි විවේචනයකට හසු කිරීමක් යැයි සිතන්නට පුළුවන. නූතන තරගකාරී සමාජය තුළ මනුස්කම් නැත. ධනවාදී සමාජ ක්‍රමය දිළිඳු හා අනාථ, දරුවන්ගේ ගැටලුවලට විසැඳුම් සපයන්නේ ද නැත. මේ බැව් දන්නා කිවිඳිය දරුවාගේ සිද්ධිය වැලපිල්ලක් ලෙස ඉදිරිපත් කරයි.
මේ මොහොතේ තවත් පද්‍ය නිර්මාණ තුනක් අප සිහියට නැඟේ. ඉන් දෙකක් වන්නේ මහාචාර්ය විමල් දිසානායක ගේ “උවැසියගේ මරණය” හා රිචඩ් විල්බර්ගේ “The Death of a Toad” යන ප්‍රබන්ධයන් ය. මේ පද්‍ය දෙක ම මරණය ගැන කියන්නේ සංකේත ආශ්‍රයෙන් ය. අප කිවිඳිය ද ඒ උපාය මාර්ගය භාවිත කරයි. ඊළඟ පද්‍යය වන්නේ Kangul Wahab ගේ The Cry of Palestine යන්න ය. ඉන් කියැවෙන්නේ පලස්තීන දරුවන් ගේ අයිතිය හා උරුමය ගැන ය.
“I want my name - my rightful name
Do not destroy it, without it I’m lame
Do you not near me, do I cry in rain”
මරණයත් - උරුමයත් යන දෙක ම ගැන කතා කරන්නට ජයන්තා රුක්මණී සිරිවර්ධන සමත් වී ඇත. ඇයගේ “සමනල මරණය” නම් කාව්‍ය සංග්‍රහයෙන් ඉහත ප්‍රබන්ධය උපුටා ගැනිණි. එම සංග්‍රහයේ ඇති හොඳ ම කවිය ද එය බව කිව යුතු ය.