මානව හිතවාදී විජය | සිළුමිණ

මානව හිතවාදී විජය

ජනකාන්ත රංගන ශිල්පියකු, ගායන ශිල්පියකු, මහජන නියෝජිතයකු මෙන්ම විශිෂ්ට ගණයේ මානව හිතවාදියකු වූ විජය කුමාරතුංග මහතාගේ 29 වන ගුණ සැමරුම පසුගිය 16 වැනි දිනට යෙදිණි. එම ගුණ සැමරුම නිමිතිකරගෙන මෙම ලිපිය සම්පාදනය කර ලදි.

“මරණය කියන අකුරු හතරට මගේ කිසිම බයක් නෑ... කවුරු මොන විදිහේ චෝදනා කෙරුවත්... මගේ හෘදසාක්ෂිය දන්නවා... මං නිර්දෝෂයි කියලා... අන්න ඒ හින්දා... මට කිසිම කනගාටුවක් නැතිව ඔය පෝරකයට නගින්න පුළුවන්... ප්‍රවීණ මාධ්‍යවේදියකු හා සිනමාවේදියකු වූ ධර්මසිරි ගමගේ සූරීන් විසින් අධ්‍යක්ෂණය කළ ‘පූජා’ චිත්‍රපටයට ස්වකීය රංගන දායකත්වය ලබා දෙමින්, විජය කුමාරතුංගයන් විසින් පැවසූ එම වදන් පෙළ, ‘පූජා’ චිත්‍රපටයෙහි අන්තර්ගත එම ජවනිකාවට පමණක් සීමා නොවන බව ඔහුගේ සැබෑ ජීවිතය පිළිබඳව විමසීමේදී පෙනී යයි.

සිනමා ක්ෂේත්‍රයට පමණක් නොව, රට ජාතිය වෙනුවෙන් ඉටු විය යුතු යුතුකම් කෙරෙහි තම වටිනා කාලය, ශ්‍රමය සහ ධනය එකසේ වැය කළ විජය කුමාරතුංගයන් හට තම ජීවිතය තුළ දී, විවිධ මුහුණුවරයන්ගෙන් යුත් අභියෝග රැසකට මුහුණ දීමට සිදු විය. එනමුදු විජය කුමාරතුංගයන් තම අභිමුවට පැමිණි සෑම අභියෝගයකටම මුහුණ දෙන ලද්දේ, තම හෘදසාක්ෂියට එකඟව යහපත් දේට පමණක් මුල් තැනක් ලබාදෙමින් ය. මෙහිදී බොහෝ අභියෝගයන් නිර්භීතව ජයගත් විජය කුමාරතුංගයන් “මරණය” කියන අකුරු හතරට පමණක් නොව, මරණයටවත් කිසිසේත් බිය නොවී ය.

“වයසට ගිහිං මැරෙනවාට වඩා... මේ වයසේ දීම මැරුණාම... මගේ මතකය මේ විදිහට තියේ වී.” යැයි වරක් තම හිතවත් ඡායාරූප ශිල්පියකු හට පවසා තිබූ විජය කුමාරතුංගයන්, තම රංගන දිවියෙහි ඉහළ ස්ථාවරයක් ගොඩනඟා ගනිමින් සිටි අවධියෙහිම, අනපේක්ෂිත ලෙස ජීවිත රඟමඬලින් සමු ගැනීමට සිදුවෙතැයි ඔහු කිසිසේත් නොසිතන්නට ඇත.

මේ වන විට විජය කුමාරතුංගයන් අප අතරින් සමුගෙන දශක තුනකට ආසන්න ය. එය ඉතාම දීර්ඝ කාලයක් වූවත්, තවමත් ඔහු අපගේ මතකයෙන් නම් ඈත් වී නැත. අළුයට සැඟවුණු ගිනි පුපුරක් සේ, වරින්වර ඔහු පිළිබඳ මතකයන් නිරතුරුවම අවදි වෙයි.

වර්ෂ 1968 දී ප්‍රවීණ සිනමා‍වේදියකු වූ සුගතපාල සෙනරත් යාපා මහතාගේ ‘හන්තානේ කතාව’ චිත්‍රපටයෙහි ස්වකීය සිනමා දිවිය ආරම්භ කළ විජය කුමාරතුංගයන්, මිය යනතෙක්ම සිංහල චිත්‍රපටි සියයකට අධික සංඛ්‍යාවක පමණ රඟපාමින් සිනමා කර්මාන්තයේ උන්නතියට සුවිශේෂි දායකත්වයක් ලබා දුන්නේ ය.

සිනමාවේ දී සංකීර්ණ චරිත නිරූපණය කරමින් ප්‍රතිභාසම්පන්න නළුවෙක් බවට පත් වූ විජය කුමාරතුංගයන් අහස් ගව්ව (1974), මරුවා සමඟ වාසේ (1977), එයා දැන් ලොකු ළමයෙක් (1977), බඹරු ඇවිත් (1978), අහසින් පොළවට (1978), කරුමක්කාරයෝ (1980), පාර දිගේ (1980), බැද්දේ ගම (1981), මහගෙදර (1982), කැඩපතක ඡායා (1989), ක්‍රිස්තු චරිතය (1990) සහ මධු සමය (1991) ආදී චිත්‍රපටි මඟින් ඒ බව මොනවට පැහැදිලි කරනු ලැබුවා. එසේම වර්ෂ 1980 දී තිරගත වූ ‘ගඟ අද්දර’ චිත්‍රපටියෙහි ද විජය කුමාරතුංගයන් අපූර්වත්වයෙන් යුක්ත රංගනයක නියැළුණු අතර, එහිදී ඔහු විසින් ගායනා කරන ලද ‘ගඟ අද්දර මා සිහිල් සෙනෙහෙ සැනහී’... යන ගීතය අදටත් රසික රසිකාවියන්ගේ ජනප්‍රිය ගීතයක්. විජය කුමාරතුංගයන් ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම ළඟා වීමට ප්‍රධාන හේතුවක් වූයේ, වානිජ චිත්‍රපටි ගණනාවක ප්‍රධාන චරිතය නිරූපණය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. ඉතාම සුමියුරු ගීත සමුදායකින් සමන්විත ‘තුෂාරා’ චිත්‍රපටිය මීට කදිම නිදර්ශනයකි. විජය කුමාරතුංගයන් විසින් අග්‍රගන්‍යය සිනමා නිළියක වූ මාලිනී ෆොන්සේකා මහත්මිය සමඟ රඟපෑ ‘තුෂාරා’ චිත්‍රපටිය තිරගත වූයේ වර්ෂ 1973 දී ය. ඊට අමතරව හතරදෙනාම සූරයෝ (1971), මේ දෑස කුමට ද? (1972), සුසී (1974) සහ සංගීතා (1975) වැනි චිත්‍රපටි තුළින් ද විජය සහ මාලිනී සුසංයෝගයට එදා ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වී තිබිණි.

එසේ සිනමාව බැබළ වූ විජය කුමාරතුංගයන් ශ්‍රී ලාංකීය ගායන ක්ෂේත්‍රය තුළ ද නමක් දිනා ගැනීමට සමත් වීම තවත් විශේෂත්වයක්. එදා විජය කුමාරතුංගයන්ගේ ගායන නිපුණතාව අවබෝධකරගත් ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ස්වකීය ‘සිතිජය’ ඔපෙරාවට ද සම්බන්ධ කර ගනු ලැබී ය.

“රූස්ස ගහ ළඟ පාළු මාවතේ...” ගීතයෙන් ඇරැඹුණු විජයගේ ගීතාවලිය අවසන් වන්නේ, 120ට ආසන්න ගීත ප්‍රමාණයක් ගායනා කරමින් ය. කුමාරතුංගයන් මිනිසුන්ගේ දුක් කම් කටොලු නිමිති කරගෙන විරෝධාකල්ප මතුවන ගීත ගණනාවක් ද ගායනා කරනු ලැබීය.

මේ අනුව වසර 43ක් වැනි ඉතාම කෙටි කාලයක් තුළ දී, ඔහු විසින් අපට දායාද කළ දේ බොහෝය. ඔහු කලා ලොව රැඳුණු කෙටි කාලයටත් වඩා, ඔහුගේ අභාවයෙන් පසුව දශක තුනකට ආසන්න කාලයක් ගත වුවද, තවමත් අප විසින් ඔහු පිළිබඳව සොයා යයි. ඔහු පිළිබඳව ඇගයීමටලක් කරයි. ඒ ඔහු සතු වූ කලා නිපුණතා ලොවට හඬගා කීමට පමණක් ම නොව, ඔහු ජීවත්ව සිටි‍යේ දී, ඔහු විසින් මානවයා කෙරෙහි දැක්වූ ඇල්ම පිළිබඳව අගය කරමින් කෘතවේදීව සිහිපත් කිරීමට ය. 

 

Comments