දින 30 පසු කරන ආලෝකෝ උදපාදි | Page 2 | සිළුමිණ

දින 30 පසු කරන ආලෝකෝ උදපාදි

සම්බුද්ධ පරිනිර්වානයෙන් අවුරුදු 454 කට පසුව එනම් මීට වසර 2100 කට පෙර ශ්‍රී ලංකාවේ වළගම්බා රජතුමාගේ රාජ්‍ය කාලයේ දී මේ දේශය සමෘද්ධිමත් සාමකාමී රාජධානියක් විය. සුහද සහජීවනයට හිතැති පරිසරයක ජනතාව සිය ජීවිත ගත කළහ.එහෙත් ඒ සමෘද්ධිය හා සාමය බිඳ දමමින් හත් දහසක් සතුරු සෙනඟ සාගරය තරණය කොට ශ්‍රී ලංකාව ආක්‍රමණය කළහ.

මේ තත්ත්වය වඩාත් අයහපත් බවට පත්වූයේ අභ්‍යන්තර කැරලිකරුවකු වන තීය බ්‍රාහ්මණයා රජුට විරුද්ධව නැගී සිටීම නිසාය. ඔහු සිංහාසනය ඉල්ලා සිටියේය. රජු කියා සිටියේ ඔහුට සිංහාසනය ලද හැකි බවත්, සිංහාසනය දෙන්නට පෙර ඔහු විසින් මේ සතුරන් නැති කළ යුතු බවත්ය. එහෙත් තීය බ්‍රාහ්මණයා සතුරන්ට විරුද්ධව සටන් කරනවා වෙනුවට ඒ ආක්‍රමණික සතුරන්ටම එකතු වූයේය. උද්ගත වූ තත්ත්වය දැක රජු තාවකාලික ප්‍රතිකර්මයක් වශයෙන් සිහසුන අතහැර පලාගියේ සිය සම්පූර්ණ හමුදාව රැගෙන අවුත් සිහසුන යළි ලබාගන්නා අටියෙනි.

මෙහිදී රජු පලායද්දී සතුරන්ට අසුවීමට ආසන්න මොහොතක රට ජාතිය රැක ගන්නට නම් රජු ජීවත්විය යුතු බව වටහා ගන්නා සෝමා දේවිය රථයෙන් බිමට පැන සතුරන්ගෙන් රජු බේරාගන්නට ක්‍රියා කළාය.

රජ පවුලේ උදවිය පලාගිය විට නායක භික්ෂූන් වහන්සේ විවිධ තැන්වල ඔවුනට නවාතැන් දෙමින් සතුරන් ගෙන් බේරාගන්නට කටයුතු කළහ.රජු සැඟවී සිටින බව දැනගන්නා සතුරන් ඔවුන් සැඟවී සිටින තැන් සොයා ගම්මානවලට වැදුණු අතර, අහිංසක ජනතාවට වදහිංසා පැමිණවූහ.මෙහිදී සාමාන්‍ය මිනිසුන් පමණක් නොව ගරුතර මහා සංඝයා වහන්සේ පවා නසාලූහ.

මේ ශාපය හේතුකොට ගෙන ශ්‍රී ලංකාව දීර්ඝ නියං සායකට ගොදුරු විය.බැමිනිටියා සාය නම් වූ ඒ සාගතය දොළොස් වසක් පුරා පැවැතියේය.

කොළවල යුෂ පානය කරමින් ජීවිත රැකගත් උදාරතර භික්ෂූන් වහන්සේ තමන්ගේ යුතුකම් මොහොතකට වත් අමතක නොකළ අතර සිය අවසන් හුස්ම හෙළන මොහොතේ පවා කුඩා සාමනේරයන් වහන්සේට බුද්ධ භාෂිතය කියා දුන්හ.

මෙවැනි මහා විනාශයක් සිදුවන විට සැඟවී සිටීම නුසුදුසු යැයි තීරණය කළ රජතුමා විවිධ පළාත්වලට ගොස් සේනාව සංවිධානය කොට සතුරු බලමුළු වලට පහරදී තමන්ගේ උත්තම දේශය ආපසු ලබා ගත්තේය.වළගම්බා රජු විභූතිමත් ලෙස නැවතත් සිංහානාරූඪ විය.

සම්බුදු රජානන් වහන්සේගේ බුද්ධ භාෂිතය පිරිහීයාම නිසා භීතියට පත්ව සිටි, කලක් දුක් පීඩා විඳ දරාගත් නායක සංඝයා වහන්සේ බුද්ධ ධර්මය ග්‍රන්ථාරූඪ කිරීමට පියවර ගත්හ.

මේ දිනවල අතිශයින් සාර්ථක ලෙස තිරගත වන ‘ආලෝකෝ උදපාදී‘ චිත්‍රපටයට පාදක වූ අපේ රටේ සිදුවූ ඓතිහාසික කතා පුවතේ සාරාංශයයි.මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හි කළමනාකාර අධ්‍යක්ෂ/සභාපති තුසිත විජේමාන්න නිෂ්පාදනය කළ, චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ ආලෝකෝ උදපාදී චිත්‍රපටය අද වනවිට ආරම්භක සිනමා හල් වල දින 30 ක් පසුකර අවසන්.

මෙහි තිර රචනය සමන් වීරමන් ගේ.ඔහු ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේත් තිර රචකයා සේම අධ්‍යක්ෂවරයා. ආලෝකෝ උදපාදි චිත්‍රපටයේ සාර්ථකත්වය පිළිබඳව ඔහු ඉතාමත් සතුටින් කතා කළා.

‘‘ මෙය සැබැවින්ම දැවැන්ත කාර්යයක්.මේ සඳහා ඉතා විශාල මුදලක් වියදම් වුවත් නිෂ්පාදක තුමා ඔහුගෙන් රටට වියයුතු යුතුකමක් ලෙස සලකා තමයි මෙයට සම්බන්ධ වුණේ. ඒ නිසා නිර්මාණයට අවශ්‍ය ලෙස රූගත කරන්න අවශ්‍ය හැම දෙයක්ම ඔහු ලබාදුන්නා. මෙහි අශ්වයෝ 40 කට අධික සං ඛ්‍යාවක් ඉන්නවා.දවස් 20 ක්ම උන්ව තබාගෙන අවශ්‍ය ආකාරයට රූපගත කරන්න ඉස්තාල හදල වෙනම කණ්ඩායමක් පත්කළා උන්ව බලාගන්න.ඒ වගේම මෙහි ප්‍රධාන රංගන ශිල්පීන් ශිල්පිනියන් 30 කට අධික පිරිසක් දායක වුණු අතර අමතර ශිල්පීන් 500 ක් විතර සහභාගි වුණා. ඊට අමතරව යුද්ධයට තව 750 ක් පමණ සහභාගි වුණා.

මේ චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ මෙහි මහා සංඝරත්නය 500 නමක් දෙනා මහා කැලෑවල් වල වැඩම කරලා මීට සහභාගිවීමයි. අපිත් උන් වහන්සේලාට නියම වෙලාවට ගෞරවනීය විදිහට දානය පිළියෙල කරල දුන්නා. මෙය රූපගත කරන්න දවස් 65 ගතවුණා.ඒත් අපි මාස 9 ක්ම ගත කළා මෙහි පෙර නිෂ්පාදන කටයුතු වලට පුලස්ති එදිරිවීර, අරුණ ඇතුළු චිත්‍ර ශිල්පීන් 3 දෙනෙක් ස්ටෝරි බෝඩ් 700 සකස් කරල තමයි මෙහි රූගත කිරීම් කළේ.

තව විශේෂ දෙයක් සඳහන් කරන්න ඕන. මේ චිත්‍රපටයට අපි මාළිගාව, සොළී කඳවුර ඇතුළු සෙට් 20 ක් නිර්මාණය කළා.අපි මාළිගාව හැදුවෙ විශාල වී ගබඩාවක් ඇතුළේ. මෙහි ෂූටින් ආරම්භ කළේ මෙම මාලිගාවෙන්. ෂූටින් පටන් ගන්න කොටම මහා වර්ෂාවක් ඇද හැලෙන්න පටන් ගත්තා.ඒත් එය අපට බාධාවක් වුණේ නෑ.මේ වැස්ස එක දිගටම දවස් 7ක්ම තිබුණා.ගොඩක් දෙනෙක් ඇහුවෙ ඇයි මේ වගේ කාලයක පටන් ගත්තෙ කියලා.

ඒත් මට විශ්වාසයක් තිබුණා අපි එළියේ රූපගත කරන කොට වැස්ස පායනවා කියලා. ඒ වගේම අපිට චිත්‍රපටය අවසන් වන තුරුම වැස්සේ නැහැ. සොබාදහම පවා අපට ආශීර්වාද කළා.ඊට හේතුව ලෙස මම දකින්නේ අපි ඉතාමත් සද් භාවයෙන් කළ මෙම කටයුත්තට එදා මෙහි වැඩසිටි රහතන් වහන්සේ ගේ ආශීර්වාදයත් මෙයට තිබෙන්නට ඇති. මොකද ඒ මහා යතිවරයානන් වහන්සේලා මේ වන විට දේව ආත්ම වල පවා ඉන්නවා ඇති. ඉතින් උන් වහන්සේගේ ඇල්ම බැල්ම මේ නිර්මාණයට ලැබුණා කියලා තමයි මම විශ්වාස කරන්නේ.‘‘ 

Comments