දඹදෙණි යුගයේ සාහිත්‍යය -VI | Page 2 | සිළුමිණ

දඹදෙණි යුගයේ සාහිත්‍යය -VI

 

1958 අගෝස්තු 23 හා 24 යන දෙදින පුරා දඹදෙණිය සිරි විජයසුන්දරාරාමයේ දී පැවැත්වුණු සාහිත්‍ය සම්මේලනයේදී මහාචාර්ය සෙනරත් පරණවිතානයන් කළ දේශනය මෙසේ පළ කරන්නෙමු. අපගේ ඉල්ලීම අනුව මේ දේශන පිටපත පළකොට තිබූ ‘සාහිත්‍ය ත්‍රෛමාසික සඟරාව’ සිළුමිණ පාඨකයන් වෙනුවෙන් ‘සත්මඬල’ට ලබාදුන් මහාචාර්ය රත්නසිරි අරංගලයන්ට විශේෂ ස්තුතිය හිමි වේ. මේ ඓතිහාසික ලිපිය ශාස්ත්‍රාභිලාෂී මතු පරපුරට කියවා ගැනීම සඳහා මෙලෙස පළ කරනු ලබන්නේ, දැන් එහි පිටපතක් සොයා ගැනීම අතිශය උගහට බැවිනි.

ඓතිහාසික සාහිත්‍ය දේශනය - 1958

මහාචාර්ය සෙනරත් පරණවිතාන

මට පෙනෙන හැටියට ස්වාමින් වහන්සේලා අතුරෙන් කෙනෙක් දෙන්නෙකුට මේ කටයුත්තට ඉදිරිපත් වෙන්ට බැරිකමක් නැහැ. ඉතින් අපට මේ කටයුතු සියල්ලම කරන්ට පුළුවන් කමක් නැහැ. පළමුවෙන් තමුන්නාන්සේලාට වාගේ බාල කාලයේ පටන් සිංහල හදාරන්නට භාග්‍යයක් අපට ලැබුණේ නැහැ. අපට හුඟක් අමාරුවෙන් මේ කටයුතු කරන්ට තිබෙන්නේ. ඒ නිසා ඉතාමත්ම ඕනෑකමින් මේ සම්භාවනීය සභාවට මතක් කරන්ට කැමැතියි යම්කිසි පඬිවරයෙක් මේ කාරණා කිරීමට ඉදිරිපත් වෙන්ට කියල. මේ කාරණා ඉෂ්ට කරල දෙන්ට ඉදිරිපත් වෙන්ට කියා. බොහොම ස්තුතියි.

පරණවිතාන මහතා: පොදු ජනයා ගැන ඒ කාලයේ දී විශේෂයෙන් ලියාපු පොත් ඇත්තෙ නෑ. ඒ වුණත් මිනිසුන්ගේ ජිවිතය පිළිබඳව හුඟක් කාරණා දැනගන්නට පුළුවන් සද්ධර්මරත්නාවලියෙන්. ඒකටම විශේෂයෙන් ලියල නැහැ. මේ පිළිබඳව ලිපි කීපයක් ලියල තියෙනවා ජයතිලක මැතිතුමා. යුනිවසිටියේ ආරියපාල මහත්මයාත් ඒ ගැන ලියාපු පොතක් තියෙනවා. ඒ සම්බන්ධ නිකම්ම ඉඳලා නෑ. ටිකක් වැඩ කරලත් තියෙනව.

පණ්ඩිත බද්දේගම විමලවංශ හිමියෝ: මූලාසනයෙන් අවරසයි, ගරුතර මහා සංඝයා වහන්ස, පින්වතුනි, කාලය බොහොම කෙටි නිසා කෙටි ප්‍රශ්න දෙකක් පරණවිතාන මහතාගෙන් මම අහන්ට කැමැතියි. එකක් 2 වැනි පරාක්‍රමබාහු රජතුමා සම්පූර්ණයෙන් ම ත්‍රිසිංහලයේ ම අධිපතියා නොවෙයි යන අදහස දෙවුන්දර ඇති ශිලාලේඛනයක තියෙනවා. ඒ රජතුමා වත්තල කරපු පින්කම්, අනුරාධපුරයේ ප්‍රතිසංස්කරණ කටයුතු, පොලොන්නරුවේ හා අනික් රාජ්‍යවලත් කටයුතු කරල තියෙනවා. මේ නිසා ත්‍රිසිංහලයේ ම රුහුණු, මායා, පිහිටි තුනේ ම අධිපතියා වශයෙන් සිටි බවට. මම රජ්ජුරුවන්ට යටත් නැහැ කියල එකෙක් කොහේහරි මුල්ලක සිටින්නට පුළුවන්. ඒ වුණත් පොදු වශයෙන් ත්‍රිසිංහලයේ ම අධිපතියා කියල හිතන්න පුළුවන්. මේ ඊයෙ පෙරේද කටුගෙයිත් රජෙක් හිටියෙ. ඒ නිසා මුළු ත්‍රිසිංහලයේ ම අධිපතියා වශයෙන් සිටිය බව පෙනෙනව. අනිත් එක රාජපුටානයේ අය මුස්ලිම්වරුන් ද ලංකාවට ආවේ කියා දෙවැනි ප්‍රශ්නය මුලදී සඳහන් කළ එකට මට කොහෙත්ම එකඟ වෙන්න බැහැ. අතීතය වර්තමානයට ගළපන්න ඕනෑ නැත කියන එක. අතීතයේ සිදුවූ දේවල් වර්තමානයට ගැළපෙන්නේ නැතැයි කීම. ඉස්සර මිනිස්සු ගහගත්තට දැන් ඕන නැත කියන එක. දැන් ඒ අය නැහැනේ ගහගන්ට.

පරණවිතාන මහතා: දෙවැනි පරාක්‍රමබාහු රජ්ජුරුවන්ට ත්‍රිසිංහලාධීශ්වරය කියල සඳහන් වෙනව ඔය ඉතිහාස පොත්වල. ඒ විධියට කියනව පොත්වල. ඒ කියන එක එහෙමම ගන්න වටින්නේත් නැහැ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගේ ලිපිවල තියෙන්නේ ‘භූමණ්ඩලේශ්වර” කියල. ඒ රජ්ජුරුවෝ ඒ කියාපු විධිය තමයි.

දෙවැනි පරාක්‍රමබාහු රජ්ජුරුවෝ අනුරාධපුරයට ගොහින් බොහොම වැඩ කරල තියෙනවා. අනුරාධපුරයේ හම්බ වෙලා තිබෙනවා ඒ රජ්ජුරුවන්ගේ පුතා ලියවාපු ලිපියක්. ඒ රජ්ජුරුවන්ගෙ පුතා බුවනෙකබාහු ඈපා. ඒ වුණත් වැඩි කල් අල්ලගෙන හිටියෙ නැහැ, පොලොන්නරුවට ගියාට. අල්ලගෙන හිටිය නම් දැන් කැලේට යන්න ඕනකමක් නැහැනේ. එතකොට උතුරේ අමුතු රාජ්‍යයක් තිබුණු බවට සාක්ෂි දෙන ලිපි තිබෙනව. ඒවා පයින් ගහලා දමනවා නම් ඉතින් කරන්නට දෙයක් නැහැ. තමන්ගේ වාසියට තිබෙන දේ අරගෙන අවාසියට තිබෙන සාක්ෂි පැත්තකට දමන එකේ යුක්තියක් නැහැ.

“රජ්පුත් ජනයා දැනුත් මුස්ලිම් නොවෙයි. කවදාවත් මුස්ලිම් වුණේ නැහැ, හින්දු භක්තිකයෝ. ඒ කාලයේ මලයාවේ හිටපු මිනිස්සු බෞද්ධයෝ. දඹදෙණි කාලයේ දී ආපු මලයි මිනිස්සු බෞද්ධයෝ. 15 වන ශත වර්ෂයේ කාලෙ වනතුරුම බෞද්ධයෝ. මුස්ලිම් කාරයින්ගේ පරම හතුරෝ රාජ්පුත් ජනයෝ.

මූලාසනය: දැන් මීළඟට වෙ. වි. අබේගුණවර්ධන මහතා කතා කරනවා ඇති.

වෙ. වි. අබේගුණවර්ධන මහතා: නායක ස්වාමින් වහන්ස, ගරුතර මහා සංඝයා වහන්සේගෙන් අවසරයි, පින්වතුනි, මේ කතා කරන්නේ වෙ. වි. අබේගුණවර්ධන. මා නැඟී සිටියේ මෙහි දී දැන් පුංචි බණ්ඩාර සන්නස්ගලයන් නැඟූ ප්‍රශ්නයකට පරණවිතානයන් පිළිතුරු දුන්නා. 2 වැනි පරාක්‍රමබාහු රජතුමා පඬු පරපුරට අයත් විය නොහැකි ය කියා. ඒ මහතා ස්ථිර වශයෙන් කීවේ නැහැ. ඒ ගැන ඒ මහතා පිහිටකොට ගත්තේ දෙවුන්දර ශිලා ලිපියක්. ඒ ශිලා ලිපියේ එන්නේ “නෙම්බර සෝමරාජ පරම්පරාවෙන් පැවත එන්නා වූ” කියා එය පිහිට කොට ගත් පරණවිතානයන් මේ අවස්ථාවේදී කීවා, පඬු පරපුරට අයත් වීමට එක සාධකයක් හැටියට. ඒ මහතා විසින් ම මීට කලින් ලියා ඇති පොතක “උපුල්වන් දෙවොල” නම් ඉංග්‍රිසි පොතෙහි සැකයක් ඇති කරලා තිබෙනවා, මේ සෝමරාජ කියන්නේ නම්බඹර ගම සිටපු කුමාරයෙක් විය හැකියි කියලා. තවත් එකක් “කව්සිළුමිණ” ලීවේ 2 වැනි පරාක්‍රමබාහු රජතුමා ය කීවා. මම කියනා 1 වැනි පරාක්‍රමබාහු රජතුමාගේ කෘතියක් කියල. මේ පොත් කර්තෘ, නාම සන්ධි ආදි තුනෙහි ඒ කාව්‍යය කළ රජතුමා පඬි පරපුරට අයත් බව කියවෙනවා.

තමාගේ පඬි පරපුර ගැන මහත් එඩියෙන් ඒ රජතුමා කතා කරලා තියෙනවා. ඒ දෙස බලන විට 2 වැනි පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ කෘතියක් හැටියට කව්සිළුමිණ සැලකීමට කිසිම ඉඩක් නැහැ. මහාවංශය දෙස බැලුව ම අපට පෙනෙනවා මහා පරාක්‍රමබාහු රජ්ජුරුවන් පඬු පරපුරට අයත් බව. වෙන එකක් තබා මහා පරාක්‍රමබාහු කියන සැටියෙන් ම මහාවංශකාරයා කියන්නේ මෙහෙමයි, තමන්ගේ වංශය ගැන. “අප වනාහි ලෝකයේ පළවූ සියලු රජ කුලයන්ට කොතක් සේ පිරිසුදු වූ චන්ද්‍රවංශයෙන් පැවත ආවෙමු. මෙහි වික්‍රමබාහු සමඟ සටන් කොට අපි කීප වතාවක් පැැරද ගියෝ වෙමු. ඒ සඳහා අපගේ වංශය ගෙන යාමට පුතකු නැත” මෙහෙම කීවේ කවුද? මහා පරාක්‍රමබාහු රජ්ජුරුවෝ. මේ මලල වංශය ගෙන යන්ට සමත් පුතකු ලැබුණේ නැහැ. දූන් දෙදෙනෙකු ලැබුණා. පුතෙකු ලැබුණේ නැහැ. චන්ද්‍රවංශය ගෙන යන්ට.

තමන්ගේ පඬි පරපුර ගෙන යන්ට පුතකු ලැබුණේ නැහැ. එවිටයි ඒ රජ්ජුරුවො අර විධියට වැලපුණේ. ඒ අතර ම ඊට පසුව පුතා ඒ ගැන තමාගේ පරපුර හිතන හැටියට මහාවංශකාරයන් කියන්නේ මෙහෙමයි. “රාවණයන් මැරූ රාමයන්ගේ ආත්ම බල පරාක්‍රමයෙන් පඬි රජුන්ගේ පුතුන් පස්දෙන දුර්යෝදන”, ඒ අනුව බලන විට මේ පඬි පරපුරට අයත් එකම රජු මහත් එඩියෙන් කියන්නට පුළුවන් මහා පරාක්‍රමබාහු රජුයි. මේ නිසා මා කියනවා මේ කව්සිළුමිණ දෙවැනි පරාක්‍රමබාහුගෙ නොවෙයි. මේ දඹදෙණි පරාක්‍රමබාහු රජ්ජුරුවන්ට නින්දාවක් කරන්ට කියනවා නොවෙයි. සත්‍යය කියන්නේ. තවත් එකක් මේ කව්සිළුමිණේ ව්‍යාකරණ ලක්ෂණ බැලීමෙන් ඒ දඹදෙණි යුගයේ නොමැති ව්‍යාකරණ ලක්ෂණ කීපයක් තිබෙනවා. “මම නුළුමු” කියන තැන් ආදි විදියේ දැක්වෙන ව්‍යාකරණ ක්‍රමයක් සිදත් සඟරාවේ ද දක්නට තිබෙනවා.

මේ කියපු ව්‍යාකරණ සැටිය. සිංහලයට ආවේණික ව ඇති වෙලා තිබෙනවා ව්‍යාකරණ එහෙම. ව්‍යාකරණයක් හැටියට කිවූ පමණකින් මෙය දඹදෙණි පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ නො වන බව දළදාව ලියූ මහා පරාක්‍රමබාහු රජතුමාට කලිකාල සර්වඥ පණ්ඩිත උපාධිය තිබුණ බව. මට අවස්ථාවක් නැහැ. එහෙම කියනවා පූජාවලිය මහා පරාක්‍රමබාහු රජ්ජුරුවන්ට කලිකාල සර්වඥ පණ්ඩිත උපාධියක් තිබුණු බව. එහෙම කියන්නෙ සර්ව ශාස්ත්‍රී ශිරෝමණී කියන උපාධියක් තිබුණ බව පරාක්‍රමබාහු රජ්ජුරුවන්ට.

කව්සිළුමිණ මහා කාව්‍ය ගැන මා හිතනවා තවත් එකක්. සරස්වතී බිසවුන්ගෙ ආරාධනයෙන් කළ බවක් ඉතිහාසයෙන් පෙනෙනවා. වෙන්නට බැහැ. සරස්වතී මණ්ඩපයක් කළා කියාත් තියෙනවා.

තව කොටසක් ලබන සතියේ...

Comments