ඉදිරියේදී මම වේදිකාවේ දකින්නට ලැබේවි | සිළුමිණ

ඉදිරියේදී මම වේදිකාවේ දකින්නට ලැබේවි

හිමාලි සයුරංගි

ඇය නිවේදන කලාවෙන් මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිස අද වන විට දක්ෂ නිළියක ලෙස ස්ථාවරත්වයක් ගොඩනගාගෙන දිගු ගමනක් පැමිණ සිටී. පසුගිය කාලයේ ක්ෂේත්‍රයෙන් තරමක් ඈත්ව සිටි ඇය ගැන දැන් යළිත් කතා කරන්න පටන් අරගෙන තිබේ.ඒ පසුගිය දා විකාශනය ඇරැඹුණු නවතම ටෙලි නිර්මාණය වූ ‘දෙවැනි ඉනිම’ හරහාය.වෙනස්ම තේමාවක් යටතේ දිග හැරෙන මෙම ටෙලිනාට්‍යයේ අහිංසක දිරිය මවකගේ රංගනයකින් ඇය ප්‍රේක්ෂකයන් අතරට සමීප වී ඇත.එදා වගේම අදත් සුන්දර සිනාවෙන් යුතු හිමාලි සයුරංගි අපේ සංවාදයට එකතු වුණේ මේ විදියට.

සුපුරුදු ප්‍රශ්නෙන්ම පටන් ගනිමු නේද හිමාලි.මොනවද මේ දවස්වල කරන්නේ ?

මේ දිනවල අලුත්ම ටෙලි නාට්‍යය කීපයකම රූපගත කිරීම් එක්ක තමයි වැඩිපුරම ඉන්නේ. ITN ‘ප්‍රාණ’සහ දෙරණ ‘දෙවැනි ඉනිම‘ ටෙලි නාට්‍ය විකාශනය වෙනවා.ඒ වගේම හිරු මෙගා ස්ටාර් නිසා ගොඩක් කාර්යබහුලයි.

අලුතින් විකාශනය ඇරැඹුණු ‘දෙවැනි ඉනිම’ ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර?

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ‘දෙවැනි ඉනිම’ටෙලි නාට්‍ය ඇත්තටම කාලෝචිත තේමාවක් මත ගොඩනැගුණු නිර්මාණයක්.ගොඩක් කතා බහ නොකරපු පැතිකඩයක් ඒ තුළ අන්තර්ගතයි.ඒ කියන්නේ විවාහයකින් ලැබෙන දරුවකුත්,විවාහයකින් තොරව ලැබෙන දරුවකුත් අතර ඇති වන ගැටුම තමයි තියෙන්නේ.එකම තාත්තගේ දරුවෝ දෙන්නෙක්.ඉතින් ඒ කතාව ක්‍රිකට් හරහා ගොඩ නැගුණු දෙයක් නිසා ප්‍රේක්ෂකයෝ ගොඩක් කැමැතියි. ඒ වගේ කතා පුවත් හරි අඩුයි.

මෙතැනදී ඔබ හරි ප්‍රබල චරිතයක්

මගේ චරිතේ අවිවාහක බිරිඳක්.තනිවම ළමයා හදාගෙන ජිවත් වෙනවා.ඒ වගේ චරිත ඕනෑ තරම් ඇති.ඒ වගේ චරිතයකදී මම හරිම සංවේදී වෙනවා.ඒ නිසා ඒ දේ මිනිස්සුන්ට දැනෙන නිසා ඒ චරිතෙට ගොඩක් අය ආසයි .මමත් අසාවෙන් තමයි එකේ රංගන කටයුතු කරන්නේ.

කොහොමද මේ අවස්ථාව ලැබුණේ ?

මේ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂණය කරන්නේ සාරංග මෙන්ඩිස්.මම එයත් එක්ක කලින් නිර්මාණ වලට දායක වෙලා තියෙනවා.සාරංග ඉතාමත් හොඳ තරුණ අධ්‍යක්ෂකවරයෙක්.හොඳ ඇහැක් තියෙන කෙනෙක්.ඒ දේ අපිට පේනවා.එයාට හිතෙන්න ඇති මේ නිර්මාණයට මාව හොඳයි කියලා.ඒ නිසා මට ඒ අවස්ථාව ලැබුණා.ඉතිං හරි සතුටින් මේ නාට්‍යයේ වැඩ කරන්නේ.

‘දෙවැනි ඉනිම’ හි රංගනය අභියෝගයක් කියලා හිතුණේ නැද්ද ?

අභියෝගයක්.මුලින් චරිතේ ස්වභාවය හඳුනා ගන්න ඕන. කටුකත්වයත් එක්කවෙලාවකට එයාගේ හිත දැඩි වෙනවා,වෙලාවකට කඩන් වැටෙනවා.මට ඒ වගේ චරිත මුණගැහිලා තියෙනවා.අවසානය කොහොම වෙයිද කියන්න දන්නේ නැහැ.බලමු ඉතින් ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට කුතුහලයක් ඇති කරන්න පුළුවන් වෙයි.

හිමාලිට ඇයි එක පාරටම රියැලිටි වැඩසටහනකට සම්බන්ධ වෙන්න හිතුණේ?

මම පොඩ්ඩක් මහත් වෙලා හිටියේ.බබා හම්බ වුණාට පස්සේ.ඒ කියන්නේ බබා ලැබෙන්න කලින් දුවලා,පැනලා වැඩ කරපු අය.බබා ලැබුණට පස්සේ එයත් එක්කම ඉන්න නිසා ටිකක් කම්මැලි වෙනවා වැඩ කරන්න.ඒ නිසා මහත් වුණා.ඉතිං මම හිතුවා ඇඟ හදාගන්න.නර්තනය පැත්තෙනුත් මට යමක් කරන්න හම්බ වුණේ නැහැ.ඒකත් ඉතිං මට අවස්ථාවක් කියලා හිතුණා,නර්තන හැකියාව පොඩ්ඩක් දියුණු කර ගන්න සහ මම මිට කලින් රියැලිටි අත්දැකීමක් විඳලා තිබුණේ නැහැ.ඉතිං ඒ අත්දැකීම කොයිවගේද කියලා බලන්න එක්ක සම්බන්ධ වුණා.

එහෙනම් ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින් අඩුවක් නැතිව ඇති නේද?

ඔව් ඔව්.ගොඩක් ප්‍රතිචාර තියෙනවා.ඇත්තටම හිතා ගන්න බැහැ.පිටරටවල් වල ඉන්න අය පවා මං ගැන හරියට සතුටු වෙනවා.විශේෂයෙන් මම කොමඩි පැත්තෙන් දෙයක් කර තිබුණේ නැහැ.නමුත් මම මෙතනදී කොමඩි පැත්ත කරනවා.ඒකත් ඉතිං සමහරු වෙනසක් විදියට දැකලා අගය කරනවා.මම ඒ ස්වරුපයෙන් සාර්ථකව කරනවා කියලා කියනවා.

‘සුර්යන්’ කණ්ඩායම ගැන කතා නොකරම බැහැනේද?

යුරේනි නොශිකාගේ නායකත්වෙයන්, අපේ කණ්ඩායම හොඳ ගමනක් යනවා. හැමෝම තරුණ කට්ටිය ඉන්නේ.විශේෂයෙන් උමාරියා අපේ කණ්ඩායමේ ඉන්න එක අපිට ලොකු ආලෝකයක්.අපි 7 දෙනාම විවිධ වූ දක්ෂතා තියෙනවා.ඒ නිසාම අපි තරගයේ ඉදිරියටම ඇවිත් තියෙනවා.හරි සතුටුයි ඒ ගැන.

ඔබ පිළිගන්නවාද,ඔබේ කණ්ඩායමේ ඉන්න ප්‍රබලම අවිය උමාරියා කියලා කිව්වොත් ?

හරියටම හරි ඉතිං.උමාරියා තමයි අපේ ගායනය පැත්තෙන් ඉන්න ප්‍රබලම අවිය.නර්තනය,ගායනය,රංගනය කියන හැමදේකින්ම හොඳම අය අපේ කණඩායමේ ඉන්න නිසා හැම පැතිකඩක්ම ආවරණය වෙනවා.ඒ නිසා අපේ කණ්ඩායම ශක්තිමත්.නමුත් ගායන හැකියාව වැඩිපුර තියෙන්නේ උමාරියට.අපේ ගායනයෙන් ඉදිරියට යවන්නේ එයා.අපි ඒ දේ උපක්‍රමශීලිව කරනවා.ඒ ලකුණු වැඩිපුර ගන්න.

‘උමාරියා’ ගැන වැඩිපුරම කතා කරන්න පටන් ගත්තේ ඔබගේ කණ්ඩායම හරහා.රංගන ශිල්පිනියක් විදියට ඔබ ඇයව දකින්නේ කොහොමද?

හරි වෙලාවට වැඩ කරන,කොච්චර කාර්යබහුල වුණත්,කොහොමහරි රිහසල්ස් වලට එන හරිම හොඳ කෙනෙක්.හොඳ සහයෝගයක් දක්වනවා.ඇත්තටම පළමුවැනි වතාවටයි මටත් ඇයව හම්බවුණේ.

බිරියක් විදියට, රියැලිටි වැඩසටහන් වලට යන්න සැමියාගෙන් නීතී වැටිලා නැද්ද?

නෑ...නෑ....කලා කටයුතු වලදී මට මුකුත් නොකියන එක තමයි මට දෙන ලොකුම සහයෝගය.

මේ දේවල් වලදී ගෙදරින් ලැබෙන සහයෝගය?

විශේෂයෙන් මගේ අම්මාත්,හස්බන්ඩ් ගේ අම්මත් මට උදවු කරනවා.ඒක නිසා මගේ වැඩකටයුතු වලට පහසු වෙලා තියෙනවාවැඩ ටික බෙදාගෙන කරගෙන යනවා..නමුත් ටික කාලයයි නේ.තව චුට්ටක් කල්යනකොට මට විවේකයක් ලැබෙයි.ළමයි ලොකු වෙද්දී.

අලුත් පියවරක් තියන්න සුදානම් වෙනවලු නේද?

ඔව්.මම වේදිකාවට එන්න සුදානම් වෙනවා.වේදිකා නිර්මාණ සඳහා ගොඩක් ආරාධනා ලැබුණා.ඉදිරියේදී මම වේදිකාවට සම්බන්ධ වෙයි.පොඩ්ඩක් කල් අරගෙන ලෑස්ති වෙනවා.

Comments