
කාර්යාලයේ පිළිගැනීමේ නිලධාරිනිය ඉකුත් දා මා අමතා කීවේ මා හමුවන්නට කාන්තාවක පැමිණ සිටින බව ය. මා එහි යන විටත් ඈ නිශ්චල ව සත්මඬල ද අතැති ව ඉඳගෙන සිටියා ය. ජීවත්වීම නිසා ම ඇතිවූ වෙහෙසත්, දැඩි අවු රශ්මිය නොතකාම පැමිණීමේ දාහයත් එකතු වීමෙන් ඇගේ මුහුණේ නැඟි මඳ සිනාව මලානික වූවක් ම විය. එෙහත් මුහුණෙන් පෙනෙන විඩාවේ සලකුණු අතරින් තිර දීප්තිමත් නෙත් ඔස්සේ ඇගේ ආධ්‍යාත්මයේ වන ප්රභාවත් බව දෝරේ ගලමින් තිබිණි.
මම ඇය අසලින් ඉඳ ගතිමි. වදනකුදු කතා නොකළ ඇය, තියුණු නෙතින් මොහොතක් මා පරීක්ෂා කළා ය. ඇයට ම ඉඩ දුන් මම නිහඬ ව ම ඇය දෙස බලා සිටියෙමි. මේ ලිපිය ලියන්නේ ඔයාදැයි ඈ සුළු මොහොතකට පසුව මගෙන් විමසුවා ය. ඇගේ ඇඟිලිතුඩු අතර සිරවී තිබුණේ විනිවිඳින සිතිවිල්ල යි. දෑසින් පමණක් එකඟතාව පළ කළ මම ඇය වෙත මඳ සිනාවක් පෑවෙමි. ඉන් මඳක් සැහැල්ලුවට පත් ඇය, මම ඔයාගේ විනිවිඳින සිතිවිල්ලට කැමතියි; ඒත් මේ පාර ලියපු එකට නම් එකඟ නැහැ යි පැවැසුවා ය. "හොඳට නරකට දෙකට ඇය ම ය" නම් ඒ ලියවිල්ලට දුරකතන ඇමැතුම් ඔස්සේ ලැබුණු බොහෝ ප්‍රතිචාර ඒ වන විටද ම සිත ආක්‍රමණය කර තිබිණි. ඒත් මේ නම් වෙනස් ම විමැසීමකි. ඇය ප්‍රශ්න කරන්නේ සෘජු ව ය; දෙනෙත් දෙස එක එල්ලේ බලා ගෙනය; තියුණු ව ය.
ඉදින් අපි බොහෝ දේ කතා කළෙමු. ඇය නික්ම ගියේ කමලා දාස් ගැන බොහෝ දේ කතා කළ ඉනික්බිති ව ඇයි ඔබ හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ගැන නොලියන්නේ කියා අසමිනි. කමලා දාස් සහ ඇන්ඩර්සන් අතර කාන්තාව සම්බන්ධ ව වන මතවාද අතර සාම්යභවක් ඇත්තේදැයි මම මේ වනවිටත් සොයන්නෙමි. කෙසේ වුවත් ඇගේ තියුණු කියැවීම ගැන නම් මට පුදුම නොවී සිටිය නොහැකි විය. ඉඳින් මා මෙවර ලියන්නේ ද ඇය නිසාම ඇය ගැන ය.
කමලා දාස්ගේ Alphabet of lust (මෙය ඩබ්ලියු. ඒ. අබේසිංහයන් 'අනුරාගයේ මුල් පොත' නමින් සිංහලට නඟා ඇත.) හි මානසි ඇයගේ සැමියා වන අමොල් මිත්‍ර ගෙන් මෙසේ නිතරම අසන්නට පුරුදු ව සිටියා ය.
"මම ලේඛිකාවක් නොවෙයි නම්, ඒත් ඔයාට මාව වටිනව ද? "
අමොල් මෙසේ ඇයට පිළිතුරු දෙයි.
"ඔයා කොහොමත් වටිනා ගැහැනියක්. වඩාත් වටිනවා ඔයාගේ බුද්ධි මහිමය නිසා..."
කාන්තාවකගේ වටිනාකම තීරණය වන්නේ කුමකින්දැයි ඔබට හෝ මට තීරණය කළ නොහැක්කේ එය එකිනෙකාට සාපේක්ෂ කාරණයක් බැවිනි. මා හමුවීමට දුරකතර ගෙවා කාර්යාලයට පැමිණි ඇය පැවැසුවේද අප කිසිවකුට කාන්තාව ගැන අර්ථකථන දිය නොහැකි බව ය. එය පැහැදිලි සත්‍යයකි. කාන්තාව ගැන පමණක් නොව මේ ලොව වන කිසිම දෙයකට නිශ්චිත නිවැරදි අර්ථකථන දීමට කිසිවකුටත් නොහැකිය.
කමලා දාස් සිය අත්දැකීම් මෙසේ Alphabet of lust හි ගොනු කරන්නේ ඇයගේ චිත්තාභ්‍යන්තරයෙහි වන කැලඹීම නිසා ය. ඉදින් මේ ලේඛක ලේඛිකාවන් ලියන්නේ තම තමන්ගේ ම ජීවිත ගැන විනා අන් කුමන දෙයක් ගැනද? සිය මුල් ම කාව්‍ය සංග්‍රහය වන Summer In Calcutta කෘතියට පෙරවදනක් සපයමින් කමලා දාස් ම මෙසේ ලියන්නේ එබැවිනි.
"මම ආදරය සොයන හැම ගැහැනිය ම වෙමි"
සමාජ තහංචිවලට එරෙහිව සිය පෑන මෙහෙයවන ඇය ස්ත්රීත්වයත් ආදරයත් අතර ඇති සියුම් ම අංශුව පවා සොයා බලන්නී ය. එහෙත් ඇයට එකක් අමතක ව ගොස් ඇතැයි මා හමුවීමට පැමිණි ඒ බුද්ධිමත් කාන්තාව මා හා පැවසුවා ය.
ඇය පවසන පරිද්දෙන් කමලා දාස් ස්ත්‍රීවාදිනියක ලෙසින් ස්ත්‍රී ජීවිතයේ අනුරාගික කතාවේ අභ්‍යන්තරය සොයා යන්නීය; එහෙත් ඇයට කාන්තාව නමැති ආත්මයේ සුන්දරත්වය හසුව නැත. සුන්දරත්වය ද සාපේක්ෂ බැවින්; එය කියවා ගන්නා ආකාරය ද විවිධ බැවින් ඇයට විරුද්ධ වීමට මට නොහැකියි. එහෙත් කමලා දාස් ගැන මගේ කියැවීමේදී ඇය කිසිසේත්ම ස්ත්‍රීවාදිනියක ලෙසින් නම් හමු නොවන්නී ය. ඇය සුන්දරත්වයෙන් එපිට සුන්දරත්වය සොයා යන ලේඛිකාවක් ම වන්නේ ය.
කෙසේ නමුදු හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් නමැති ඔබ කවුරුත් හඳුනන සුරංගනා කතා රචකයා නම් වෙනස් ම අයුරකින් කාන්තාව දෙස බැලූ බව මගේ මතකයට එයි.
"නියම සුන්දර කාන්තාවන් හැමවිටම තැන්පත් අය. ඔවුන්ගේ ගැඹුරු රහස් ආවේගයන් නිතරම ඔවුන්ගේ මුහුණු ඇතුළතින් ආලෝකවත් කරනවා. මේ කාරණාව ඔබ ගැනත් සැබෑවක් මාරියා. එහෙම කාන්තාවන්ගේ දෛවය අනෙක් අයගේ දෛවය වගේ නොවෙයි. අමුතුයි. ඒ අය එක්කෝ ඉන්නේ ඉතාමත් දැඩි සතුටකින්; නැත්නම් ඉතාමත් දැඩි දුකකින්."
කමලා දාස් බරසාර අදහස් යථාර්ථය හා ගළපා තිර, තියුණු හඬකින් සමාජය ඉදිරියේ තැබුවා ය. ඇයට අවැසි වූයේ කාන්තාවන්ගේ සැඟවුණු සිතිවිලි සමඟ හරඹ කරමින් ඇය පිරිමියා සේම අවැසිතා සහිත සත්ත්වයකු බැව් සනාථ කරන්නට ය.
ඇන්ඩර්සන්ගේ කියැවීම කාන්තා අභ්‍යන්තර සුන්දරත්වය ගැන ය. එය හුදෙක් ඔහුගේ සාහිත්‍ය භාවිතය වැනිය. කාන්තාවන් සම්බන්ධයෙන් ඇන්ඩර්සන් නිරන්තර කුහුලකින් යුතු විය. සිය සුරංගනා කතාහි අතරමං වූ ඔහු කාන්තාවන් ඇසුරු කිරීමට බිය මුසු කුහුලකින් පෙළුණේය. ලේඛකයන්ගේ මනෝභාව අනුව විග්රහ කිරීම් සටහන් වන්නේ එපරිද්දෙනි.
මේ කිසිදු විග්රහයකින් කාන්තාව ගැන නිශ්චිත අර්ථකථනයකට නම් පැමිණීමට නොහැකිය. එය විවිධ සිතිවිලි විවිධ තත්ත්ව යටතේ විවිධ හැඩතල ගන්නීය. ඉදින් සමා වුව මැන! අවසන නැවත කියන්නට වන්නේ ද පෙර කී දෙය ම ය.
හොඳට නරකට දෙකට කත ම ය.