ආදරෙයි මම ආදරෙයි සුගත් තවමත් ආදරෙයි | Page 2 | සිළුමිණ

ආදරෙයි මම ආදරෙයි සුගත් තවමත් ආදරෙයි

පසුගිය දිනෙක ‘හිරු’ රූපවාහිනි නාළිකාවෙන් ‘ගොළු හදවත’ චිත්‍රපටය විකාශය වුණා. එය මුලින්ම තිරගත වී පනස් වසරකට පසුව වුණත් නවතාවයකින් යුතුව බලන්න පුළුවන් සිනමා කෘතියක්. චිත්‍රපටයේ තිබෙන කාව්‍යමය විචිත්‍රත්වය හරිම අපූරුයි. මං අහලා තියෙන විදියට සත්‍යජිත් රායි, ලෙස්ටර්ගේ චිත්‍රපට අතරින් වඩාත්ම කැමැතිම චිත්‍රපටය ‘ගොළු හදවත’. ඒ තරමටම එය සිනමානුරූපී ගුණයෙන් අනූනයි.

‘ගොළු හදවත’ට පාදක වූ කරුණාසේන ජයලත්ගේ නවකතාව බොළඳ ප්‍රේමකතාවක් විදියටයි ඒ කාලේ හැඳින්වුණේ. උඩින් පල්ලෙන් කියවලා බැලුවොත් ඒකේ කිසියම් ඇත්තක් පේන්න තිබ්බත් චිත්‍රපටයේ එන ප්‍රධාන චරිත දෙකම සංකීර්ණයි. ඇත්තටම සුගත් - දම්මි දෙන්නම අති සංවේදී චරිත. ඔවුන්ගේ හදවත් සියුම් වෙණ තත් වගෙයි. සුගත් දම්මිට ආදරේ කළේ අවංකව. ඒක ඔහුගේ ප්‍රථම ප්‍රේමය. ඇගේ පිටුපෑමත් එක්ක ඔහුගේ ජීවිතය සපුරා කඩා වැටෙනවා. කොටින්ම බේබද්දකු වී රැකියාව පවා අහිමි කර ගන්නවා.

දම්මිගේ චරිතය ඊටත් වඩා සංකීර්ණයි. ඇය සුගත් දකින්නත් කලින් ඉඳන්ම තම ඥාති සොහොයුරකු සමඟ විවාහ ගිවිසගෙන අවසන්. මෙහිදී ගැමි සමාජයේ පසුගාමිත්වයත් දෙමවුපියන්ගේ ආත්මාර්ථකාමී බවත් මූර්තිමත් වෙනවා. ගැමි තරුණියකට විවාහය වගේ තීරණාත්මක දෙයකදී වුණත් ස්වාධීන එළැඹුමකින් යුක්ත වන්ට ඉඩක් නැහැ. එහිදී ඔවුන් අසරණයි. මෙබඳු පසුබිමක දම්මි තුළ සුගත් පිළිබඳ කිසියම් හැඟීමක් ඇතිවීම ස්වභාවික තත්ත්වයක්. සහෝදර ප්‍රේමයක් යැයි කිව්වත් ඇගේ ආදරය සඟවා ගත් එකක් බව පැහැදිලිව පේනවා. නැත්නම් අනුලා ඒ චරිතයට දෙන අර්ථකථනයෙන් පේනවා.

එකල ‘ගොළු හදවත’ට එල්ල වූ එක්තරා චෝදනාවක් වුණේ චිත්‍රපටය ඕනෑවට වඩා නවකතාවට අනුගතව ඇතැයි යන්න. මා අසා ඇති ආකාරයට කතා රචක කරුණාසේන ජයලත් චිත්‍රපටයේ දර්ශන තලයේ මුල සිට අග දක්වාම ඉඳලා තියෙනවා. ඔහුගේ බලපෑම කෙබඳු වී ද යත් අනුලා වැනි නිළියක් තම චරිතයට අදාළ යම් යම් ප්‍රශ්න යොමුකර ඇත්තේ ලෙස්ටර්ට නොව ජයලත්ටයි. මං හිතන විදියට නම් කතා රචකයා හෝ තිර රචකයා දර්ශන තලයේ පැත්ත පළාතකට කැඳවිය යුතු පුද්ගලයෙක් නෙමෙයි. චිත්‍රපටය සාර්ථක වුව අසාර්ථක වුව එය අධ්‍යක්ෂවරයාට ස්වාධීනව නිර්මාණය කරන්ට ඉඩ දෙන්න ඕනැ.

කොහොම වුණත් ‘ගොළු හදවතේ’ ලෙස්ටර්ගේ සුපුරුදු සිනමා ශෛලිය දක්නට ලැබෙනවා. ඔහු හෙමින් හෙමින් චරිතවල ආධ්‍යාත්මයන්ට කිමිදෙමින් එහි අඳුරු අහුමුලුවලට සියුම් ආලෝකධාරා යොමු කරවනවා.

‘ගොළු හදවත’ මෙවර බලද්දි මට අවංකවම හිතුණේ වික්‍රම බෝගොඩ ගේ රංගනය අසාර්ථක නැතැයි කියලයි. එදා ජයවිලාල් විලේගොඩ වගේ විචාරකයෝ බෝගොඩගේ රංගනය නිර්දය ලෙස විවේචනය කළා. එයඅගතිගාමි කියලයි අද මං හිතන්නේ.

“ඒ යකා මාව කෑවා”

දවසක් බෝගොඩත් මාත් ජයවිලාල් ගැන කතා කර කර ඉද්දි එසේ කීවේ කෝපයෙන්. මේ විචාරවලින් බෝගොඩ මොන තරම් පසුබැස්ස ද කියනවානම් ඔහු ‘ගොළු හදවත’ රූපවාහිනියෙන් විකාශය වන අවස්ථාවලදී එය නැරැඹීමෙන් වැළකී සිටියා. මම දවසක් මෙසේ ‘ගොළු හදවත’ විකාශය වූ දිනෙක බෝගොඩට දුරකථනයෙන් කතා කර එය බලන්නැයි ඉල්ලා සිටියා.

“මොකටද මල්ලි බලන්නෙ? පරණ එකමනේ. අලුතෙන් කලර් කරලා නැහැනේ.”

ඔහු එය බැහැර කළේ අවඥාවෙන්.

‘ගොළු හදවතේ’ එම්. එස්. ආනන්දන්ගේ කැමරාකරණය අති විශිෂ්ටයි. පාසලේ සුදු බිත්ති පසුබිමේ සුදු ඇඳුම්වලින් සැරසුණු සිසුන්ගේ රූප කැමරාවට හසුකර ගැනීම ලේසි නැහැ. ඒ වගේම විනාඩි 29 ක කාලය පුරා දිවෙන දම්මිගේ දෘෂ්ටිකෝණයෙන් වූ ආත්ම භාෂණ ජවනිකා පෙළේදි ඔහු එකිනෙකට වෙනස් කාච යොදා (මි. මි. 200 ටෙලි ෆොටෝ ලෙන්ස්) එය රූගත කර තිබෙනවා. එහි ප්‍රතිඵලය අග්‍රගණ්‍යයි.

චිත්‍රපටයේ සංගීතය ප්‍රේමසිරි කේමදාසගේ: එය හරියට ක්ෂුද්‍ර සංධ්වනියක් වගේ. ප්‍රේමය, එහි නොමඳ චමත්කාරය, බිඳ වැටෙන ප්‍රේමය විරහා වේදනාව මේ සියල්ල එයින් මනාව කුළුගැන්වෙනවා.

තම ආත්ම භාෂණය හමාර වී අනුලා මෝටර් රියෙන් යළි නිවෙස කරා එන ජවනිකාවෙන් මට නම් චිත්‍රපටය හමාරයි. ඊට පස්සෙ තව අටුවාවක් අවශ්‍ය නැහැ. 

Comments