අමතක නොවන මතක | සිළුමිණ

අමතක නොවන මතක

එදා මට හිනාවුණු ප්‍රවීණයන් අද මා යටතේ වැඩ

ජනප්‍රිය රංගන ශිල්පී, සිනමා අධ්‍යක්ෂ චන්න පෙරේරා

මගේ ජීවිතයේ අමතක නොවන සිදුවීම් බොහොමයි.ඒ අතර කුඩා කාලයේ සිදුවීම් ගොඩක් තිබෙනවා. පාසලේ 3, 4, පන්තියේ ඉගෙන ගන්න කාලේ සිටම චිත්‍රපට බලන්න පුදුම ආසාවක් තමයි තිබුණේ. ඒක අදටත් මගේ මවුපියන්, ඥාතීන් පවසන්නෙ හරිම සතුටින්. මට මතකයි ගෙදරට පැමිණෙන ඥාතීන් පවා මාව චිත්‍රපට නැරඹීමට එක්කයනවා. ඒ අතීතය සිහිපත්වන විට දැනෙන්නේ කියන්න බැරි සතුටක්.

වයස අවුරුදු 6-7 වන විට අපේ ගෙදර ලී මඩුවක අහල පහළ ළමයි අඬගහගෙන නාට්‍ය රඟදක්වනවා. ඒ කාලෙ පටන්ම මට චිත්‍රපට හදන පිස්සුව තිබුණා කියලා බණ්ඩාරගම කවුරුත් කියනවා. මගේ මේ රඟපෑමේ පිස්සුව දැකපු අම්මයි තාත්තයි හොඳටම බයවුණා. ඒ අයගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා දවසක මාව වෛද්‍යවරයෙක් කරන්න.

නාට්‍ය රඟපෑමෙන් ඉගෙනුම අවසන්

පාසල් යන අවධියේ අපට තිබුණෙ පුදුම නාට්‍ය පිස්සුවක්. මගේ මිතුරක් වු අමල්ද සිල්වා තමයි එම නාට්‍ය අධ්‍යක්ෂණය කළේ. අමල් බෙලිහුල්ඔය නාන්න ගිහින් ගිලී මැරුණා. එම සිදුවීමත් සමග අපි කණ්ඩායමේම රඟපෑමේ හීනය අවසන් වුණා.

ඔය අතරෙදි තමයිසෝවියට් සංගමයෙන් පැවැත්වු රඟපෑමේ වැඩමුළුවකට සහභාගිවන්න ගියේ. ඒකට අම්මටයි තාත්තටයි හොඳටම තරහ ගිහින් මාව බැංක්වක රැකියාවකට දැම්මා.

රැකියාව මට හරිම වදයක් වුණා. බැංකුවේ වැඩකළා ආනන්ද වීරරත්න කියලා කෙනෙක්. ඔහු පොඩි පොඩි රඟපෑම් කර තිබණා. ආනන්ද කියන්න ගත්තා උඹට ඔය රස්සාවල් හරියන්නේ නැහැ. රඟපෑම තමයි උඹට හරියන්නෙ කියා. අවුරුදු හතරක් කළ බැංකු රස්සාවෙන් අයින් වුණා. ආනන්ද මට කේ.ඩබ්ලිව් පෙරේරා මහතාව මුණ ගැස්සුවා.

මම ඉතින් හැම සති අන්තෙම කේ. ඩබ්ලිව් පෙරේරා මහත්මා හම්බවෙන්න යනවා. කොච්චර ගියත් රඟපාන්න අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. ඒත් උත්සාහය අතහැරියෙ නෑ. ඔහොම ගිහින් අවුරුද්දකට විතර පස්සෙ චිත්‍රපටයක පුංචි කෑල්ලක පෙනී සිටින්න අවස්ථාව ලැබුණා. ඊට පස්සෙ උණ්ඩය චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟ පාන්න ලැබුණා. ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා හමුවීමත් ජීවිතේට අමතක වන්නේ නෑ.

රඟපෑම විහිළුවක් වුණා

රංගන ක්ෂේත්‍රයට ආපු මුල් කාලයේ මුහුණ දුන් ඇතැම් සිඳුවීම් එමටයි. ඒ කාලේ ප්‍රවීණයෝ මට දැක්වු අඩුසැලකිල්ල අදටත් මතක්වන විට සතුටයි දුකයි දෙකම දැනෙනවා. ඇතැම් ප්‍රවීණයන් කියාගත්ත අය මා සමග එක වාහනයේවත් ගමන්කරන්න කැමැති වුයේ නෑ. රූපගත කිරීම්වලට ගිය අවස්ථාවලදී එක කාමරයේ ඉන්න එකට කන එක පවා ප්‍රතික්ෂේප කළා. සමහර අවස්ථාවලදි රඟපෑම අධෛර්යමත් කරන්න මූණටම ඔයාට රඟපෑම බෑ කියපු අය පවා අදටත් ‍ක්ෂේත්‍රයේ ඉන්නවා. හැබැයි මම ඒ කිසිවකු සමග අමනාප නෑ. ඒවා හොඳට මතකයේ තබාගෙන රංගන දිවියට ශක්තියක් කරගත්තා.

වැඩියම දුක හිතුණු දවස

දියසුළිය, එකගේ කුරුල්ලෝ ටෙලි නාට්‍යවල රඟ පා ජනතාව අතර ජනප්‍රියව සිටින කාලයේ එක්තරා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් මා ගෙන්වා අලුතෙන් හදන චිත්‍රපටයක බඳවාගැනීමේ පරීක්ෂණයට කියා රඟ පා පෙන්වන්න කීවා. එහෙම කළේ මාව මඩවන්න. හැබැයි එවැනි අය අද මගේ චිත්‍රපටවල රඟපානවා.

ටෝනි රණසිංහ, ජෝ අබේවික්‍රම වැනි මහත්මා ගතිගුණ තිබෙන ප්‍රවීණයන්ද ඒ අතර සිටියා. ඔවුන් ලබාදුන් සහායට පසුකාලීනව මා කෘතගුණ සැලකුවා .

ලොකු දුව ලැබුණු දවස හරිම විශේෂයි

මගේ ජීවිතයේ වඩාත්ම සතුටු වුයේ ලොකු දුව ඉපදුණු දවසෙයි. ඒක මට අද වගේ මතකයි. වැඩි කැමැත්තෙන් සහ ආසාවෙන් සිටියේ දුවෙකුට. ‍වෛද්‍යවරු කලින් පැවසුවත් දුවෙක් කියා ඒ ගැන ඒ තරම්ම විශ්වාසයක් තිබුණේ නෑ. ගයත්‍රිට දුව ලැබෙන විට මම ළඟ හිටියා. මගේ සතුට කොච්චරද කියනවනම් දොර ඇරගෙන දුවගෙන ඇවිත් ගයත්‍රිගේ අම්මා බදාගෙන මට දුවෙක් ලැබුණා කියා සතුටෙන් කෑ ගැසුවා.

වසර 200දි සත්පුර වැසියෝ, සූරිය දරුවෝ, රඟ පා ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය චරිතයක් වුණා. ඔය කාලයේ එක්තරා සම්මාන උළෙලක ජනප්‍රිය නළුවාට හිමි සම්මානය දෙන බව කියා ආරාධනා ලැබුණා. මමත්, යශෝධා විමලධර්මත් එයට සහභාගිවුණේ ජනප්‍රිය නළුවා සහ නිළිය සම්මානය ලබාගන්නයි. ඒත් නොවැළැක්විය හේතුවක් නිසා ජනප්‍රිය නළුවාට සහ නිළියට දෙන සම්මානය ලබාදිය නොහැකි බව කිවා. ඒ වෙනත් නළුවකුගේ කීමට. එවෙලෙහි ඇතිවෙච්ච දුක කියාගන්න බැරිතරම්, හැබැයි ඊට පසු වසරේ සිට වසර තුනක් පිට පිට ජනප්‍රිය නළුවා වුණා.

පූජා ගැන මතකය සතුටක්

චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසීමත් සමග මා අපේ රටේ සිනමාවට හඳුන්වාදුන් පූජා උමාශංකර්ගේ මතකය කවදාවත් අමතක වන්නේ නෑ. පූජා දෙමළ චිත්‍රපටයක කළ කෙටි රඟපෑමක් අහම්බෙන් දැකලා ඇය අංජලිකා චිත්‍රපටයට හොඳයි කී විට හැමෝම හිණා වුණා. ඒත් මම පූජාව මාස දෙකක් තිස්සේ හොයලා අංජලිකා චිත්‍රපටයට සම්බන්ධ කරගත්තා. අද ඇය සිනමාවට නැතුවම බැරි නිළියක්. එවැනි නිළියක් හඳුන්වා දීම ගැන සතුටුයි.

කල්පාන්තයේ සිහිනයක් සිනමාව එපාකළා

පසුගිය කාලයේ තිරගත වු කල්පාන්තයේ සිහිනයක් චිත්‍රපටයට වු වෙහෙස මහන්සිය අපමණයි. මෙහි රූගත කිරීම් ඉන්දියාවේ චිත්‍රාගා‍රයක කළේ. නිෂ්පාදකවරු සල්ලි එවන්නේ නැතුව මාළඟ මුදල් නැතිව හරිම දුකක් වින්දා. සිනමාවම එපා වුණා.

මුල් කාලයේ මා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටවල රඟපෑම ප්‍රතික්ෂේප කළ ඇතැම් නළු නිළියන් සිටිනවා. ඒ තරමටම ඔවුන් මගේ නිර්මාණ බාල්දු කළා. අද එවැනි ශිල්පීන්ට මා උදව් කරනවා. ආධුනික රංගන ශිල්පීන්ට අත දෙමින් කලාවට සම්බන්ධ සියලු කලාකරුවන් සමග සහයෝගයෙන් හොඳ නිර්මාණ කිරීමයි බලාපොරොත්තුව. එකයි, දෙකයි, තුනයි අලුත්ම ළමා චිත්‍රපටය ඉදිරියේදි තිරගතවීමට නියමිතයි. එයත් අනාගතයේදි අමතක නොවන සිදුවීම් ගොන්නට එකතුවන හොඳ නිර්මාණයක් වනු නියතයි. 

Comments