අධික ශීතලේ මිනිසුන් ජීවත් වන ඇලර්ට් මධ්‍යස්ථානය | Page 6 | සිළුමිණ

අධික ශීතලේ මිනිසුන් ජීවත් වන ඇලර්ට් මධ්‍යස්ථානය

අපි හැමෝම කැමැති සුවපහසු, සියලු පහසුකම් වලින් සපිරි ප්‍රදේශයක ජීවත් වෙන්න. මේ නිසාම තමයි පෘථිවියේ උත්තර ධ්‍රැවය හා දක්ෂිණ ධ්‍රැවය දෙසට යන විට ජනගහනය ක්‍රම ක්‍රමයෙන් අඩු වී යන්නේ. ධ්‍රැවාසන්න ප්‍රදේශ වල තිබෙන අධික ශීත කාලගුණය එහි ජීවත් වීම අසීරු කර තිබෙන්නෙ ප්‍රවාහන හා සන්නිවේදන පහසුකම්ද සම්පූර්ණයෙන් අඩාල කරමිනි. එහෙත් නිරාවරණය වූ සම පවා සැනෙකින් මිදෙන ශීතලේ ජීවත්වන මිනිසුන්ද සිටිනබව පැවසුවහොත් සමහර විට ඔබ පුදුමයට පවා පත්වන්නට පුළුවන්. අද මේ පිටුව වෙන් වන්නේ ලෝකයේ වඩාත්ම උතුරට වන්නට ජීවත් වන මිනිසුන් ගැන කියන්නයි.

උත්තර ධ්‍රැවයට කිලෝමීටර් 817ක් තරම් ආසන්නයේ පිහිටා තිබෙන ඇලර්ට් (Alert) මධ්‍යස්ථානය තමයි ලෝකයේ වඩාත්ම උතුරු දෙසට වන්නට ජීවත් වන මිනිසුන්ට නවාතැන වන්නේ. කැනඩාවේ නුනාවුට් (Nunavut) ප්‍රදේශයේ එල්ස්මියර් දූපතේ උතුරු දෙසට පිහිටා තිබෙන මෙම මධ්‍යස්ථානයට ඇලර්ට් යන නම ලැබී තිබෙන්නේ එල්ස්මියර් දූපතේ උතුරු ප්‍රදේශයට පළමු වරට පැමිණි HMS Alert නම් නෞකාව නිසායි. වර්තමානයේ ඇලර්ට් මධ්‍යස්ථානය තිබෙන ස්ථානයට කිලෝමීටර් 10 ඈතින් මෙම නෞකාව හා මුහුද අයිස් මිදීමකට ලක් වී තිබෙන්නේ ක්‍රි.ව. 1875 පැමිණි පළමු ගමනේදීමයි.

1950දී මෙම ඇලර්ට් මධ්‍යස්ථානය මුලින්ම ස්ථාපිත කර තිබෙන්නේ කාලගුණ මධ්‍යස්ථානයක් ලෙසයි. එහෙත් පසුව වසර 1958දී ඔත්තු බැලීමේ හා බුද්ධි අංශ කටයුතු සඳහා භාවිතා කර තිබෙන අතර එතැන් පටන් මෙය කැනේඩියානු හමුදාව මගින් පාලනය කරනු ලබයි.

ප්‍රධාන වශයෙන්ම රුසියානු සබ්මැරීන පිළිබඳව ඔත්තු බැලීමට හා රුසියානු හමුදා පණිවිඩ වලට සවන්දීමට මෙම ස්ථානය ශීත යුද්ධය පැවැති කාලයේදී ප්‍රධාන ලෙස භාවිතා කර තිබේ. එයට හේතුව වන්නේ කැනඩාවේ ඔටාවා නුවරට වඩා ඇලර්ට් මධ්‍යස්ථානය රුසියාවේ මොස්කව් නුවරට සමීප වීමයි. වර්තමානයේදී පවා ඇලර්ට් හි සේවය කරන්නන් උත්තර ධ්‍රැවයේ සංඥාවන් සඳහා සවන්දීම සිදු කරනවා.

ඇලර්ට් මධ්‍යස්ථානය තුළ සංඥා සඳහා සවන්දිය හැකි ස්ථානයක්, කාලගුණික දත්ත ලබාගත හැකි ස්ථානයක්, දේශගුණික විපර්යාසයන් නිරීක්ෂණය කරන ස්ථානයක්, ගලවා ගැනීමේ මෙහෙයුම් දියත් කළ හැකි ස්ථානයක්,

ශීත කාලගුණික අධ්‍යයනය සඳහා වෙන්වූ සරසවියක් ඇතුළු ස්ථාන රැසක් ස්ථාපිත කර තිබෙන්නේ උතුරු ධ්‍රැව ප්‍රදේශයේ කැනේඩියානු ස්වෛරී ආදිපත්‍ය පැතිරවීමටයි.

පෙබරවාරි මාසයේදී මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක -30 (ඍණ 30 )ක් තරම් පහත අගයක් ගන්නා අතර වසරේ මාස 4ක් සම්පූර්ණයෙන්ම අන්ධකාරයෙන් වැසී ති‍ෙබ්. මෙම ස්ථානයට තවත්මාස 4ක් හිරු එළිය වැටෙන නොවැටෙන ලෙස හිරු ක්ෂිතිජය අසලින් පමණක් ගමන් කරනවා. පූර්ණ ලෙස හිරු එළියමාස 4ක් පමණ ලැබෙන මෙහි ජීවිතය ඉතාම කටුකයි. ඒ නිසාම මෙහි සේවය කරන සෙබළුන්හා අනෙකුත් සේවකයන්ව මානසිකව යහපත් මට්ටමින් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කරුණක්. මේ සඳහා ඔවුනට සජීවී රූපවාහිනී නාළිකා 4ක් විකාශය වන රූපවාහිනි යන්ත්‍ර 4ක් කාමර 4ක තබා තිබෙන අතර තවත් රූපවාහිනී යන්ත්‍ර 4ක් මධ්‍යස්ථානය තුළ ගබඩා කර තිබෙන 4500කට අධික චිත්‍රපට විකාශය කිරීම සිදු කරනවා. CHAR-FM 105.9 නමින් ඇලර්ට් මධ්‍යස්ථානයටම වෙන්වූ ගුවන් විදුලි නාළිකාවක් තිබෙන අතර එය මධ්‍යස්ථානය ඇතුළත පමණක් ක්‍රියාත්මක වන්නක්.

මීට අමතරව කායවර්ධන මධ්‍යස්ථාන 2ක් මෙහි තිබෙන අතර සිනමා ශාලාවක්, Bowling ක්‍රීඩා කළහැකි අංගනයක් වැනි ආකර්ශනීය ස්ථාන කිහිපයක් ස්ථාපිත කර තිබෙනවා. මීට අමතරව මෙහි සේවකයන් රාජකාරි නිමවී සවස් කාලය විනෝදයෙන් ගත කරනවා. වඩු වැඩ වල නිරත වීම, පරිගණක ක්‍රීඩා, බිංගෝ වැනි ක්‍රීඩා මෙන්ම කුඩා ප්‍රශ්න විචාරාත්මක ක්‍රියා වලද නිරත වනවා.

වසරකට දෙවතාවක් ගුවන් යානා මගින් ඉන්ධන ලීටර දස ලක්ෂයක් හා ටොන් 355ක ආහාර ඇතුළු අත්‍යවශ්‍ය අනෙකුත් ද්‍රව්‍ය ඇලර්ට් වෙත ගෙන එනවා. ගුවන් යානයකින් හෝ නැවකින් හැරුණු විට හිම බල්ලන් විසින් ඇදගෙන යන කරත්තයක් මගින් පමණයි මෙම මධ්‍යස්ථානය වෙත ගමන් කිරීමට හැකියාවක් තිබෙන්නේ.

උත්තර ධ්‍රැවයේ හුදකලා වී තිබෙන ඇලර්ට් වෙත ආසන්නම ස්වදේශික (ඉනුයිට් වැසියන්) ගම්මානය වෙත කිලෝමීටර් 725ක දුරක් තිබෙන අතර ආසන්නතම කැනේඩියානු නගරය වන එඩ්මන්ටන් නගරයට ඇති දුර කිලෝමීටර් 3475ක්. නමුත් ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර වෙත තිබෙන්නේ ඊට වඩා අඩු දුරක් (කිලෝමීටර් 3282ක්).

කාලයෙන් කාලයට මෙහි සේවකයින් ගණන වෙනස් වන අතර සමහර කාල වලදී 200ක් පමණ දෙනා මෙහි පදිංචි වී සිටිනවා,

මිනිසාට වාසය කිරීමට අපහසු දේශගුණයක් සහිත ඇලර්ට් මධ්‍යස්ථානයේ සේවය කිරීමට නම් ශාරීරිකව මෙන්ම මානසිකවද නීරෝගීතාවය ඉතාමත් ඉහළ මට්ටකම පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි. 

 

Comments