
බිම්මල් ස්ටූ
බිම්මල් කියන්නේ රස වගේම ගුණදායක ආහාරයක්. අපේ මව්වරු බොහෝවිට පුරුදුවෙලා ඉන්නේ බිම්මල් තෙල්දැමීමට හෝ ව්‍යාංජනයක් ලෙස පිළියෙල කරන්නයි. අද රසඳුන කෑම විශේෂාංගයෙන් ඔබට බිම්මල් වලින් රසවත් ස්ටූ එකක් පිළියෙල කරගන්නට අවශ්‍ය වට්ටෝරුව ඉදිරිපත් කරනවා.
අවශ්‍ය ද්‍රව්‍ය-
බිම්මල් 500 g
අර්තාපල් අල 150 g
කැරට් 100 g
මාළු මිරිස් 50 g
අමු මිරිස් කරල් 02
තක්කාලි ගෙඩි 01
විනාකිරි මේස හැඳි 02
ගම්මිරිස් මේස හැඳි 02
ලොකු ලූනු ගෙඩි 02
අමු තුන පහ මේස හැඳි 01
පොල්කිරි (දිය කිරි) 250 ml
පොල්කිරි (මිටි කිරි) 125 ml
අබ මේස හැඳි 1/4
සුදු ලූනු බික් 3 ක්
කහ ස්වල්පයක්
රම්පේ සහ කරපිංචා ස්වල්පයක්
තෙල් ස්වල්පයක්
සාදා ගන්නේ මෙහෙමයි
මුලින්ම ඔබ තෝරාගත් බිම්මල් තරමක් මහතට ( ලොකුවට) කඩා හොඳින් සෝදා වතුර ඉවත් වන තුරු මිරිකා ගන්න. කැරට්, අර්තාපල් අල පොතු ඉවත්කර හොඳින් සෝදා දිග් අතට කෑලි කපා ගන්න. ලොකු ලූනු සහ තක්කාලි සෝදා රවුම් අතට කපාගන්න.
දැන් භාජනයක් ළිප තබා එයට තෙල් ස්වල්පයක් දමා හොඳින් රත්වූවාට පසුව ලියාගත් රම්පේ, කරපිංචා, සුදු ලූනු තෙලට දමා සුවඳ එන තුරු බැද ගන්න.
ඉන්පසු මෙයට කපාගත් අල සහ කැරට් සමඟ සියලුම කුළුබඩු ටික දමන්න.මෙයටම විනාකිරි සහ ලුණු දමා දියකිරි ටික ඊට එක්කොට හොඳින් තම්බාගන්න.
තැම්බුනාට පසුව බිම්මල්, ලූනු, මාළු මිරිස්, අමුමිරිස් සහ තක්කාලි දමා මිටිකිරි ටිකද දමා සුළු වේලාවක් පිස ගන්න.
ළිපෙන් බා උණු උණුවේම කෑම මේසයට යවන්න.
ස්ටර් ෆ්‍රයිඩ් චිකන්
අවශ්‍ය ද්‍රව්‍ය-
කුකුළු මස් (කටු රහිත) 200 g
බී ලූනු 50 g
මාළු මිරිස් 50 g
සුදු ලූනු 15 g
ඉඟුරු 15 g
කජු 10 g
කෝන් ෆ්ලවර් 10 g
සෝයා සෝස් ,ඔයිස්ටර් සෝස්
මේස හැඳි 4 බැගින්
ලුණු ,ගම්මිරිස් (රස අනුව)
බැද ගැනීමට තෙල්
සාදාගන්නේ මෙහෙමයි -
කුකුළු මස් වලට ලුණු ගම්මිරිස් ස්වල්පය බැගින් දමා එයට සෝයා සෝස් හා ඔයිස්ටර් සෝස් මේස හැඳි 2 බැගින් දමා හොඳින් කලවම් කරගන්න.දැන් මෙම කුකුළු මස් කැබැලි කෝන් ෆ්ලවර් වල දවටා ගැඹුරු තෙලේ බැදගන්න.කජු මද ටිකද ගැඹුරු තෙලේ බැදගන්න.
බී ලුනු සහ මාළු මිරිස් දිග් අතට කපාගන්න. සුදු ලූනු සහ ඉඟුරු සිහින්ව ලියාගන්න.
දැන් භාජනයක් ගෙන එයට තෙල් ස්වල්පයක් දමා රත්වූ පසු ඉඟුරු, සුදු ලූනු දමා මඳක් බැද ගන්න. බැදුණු පසු එයට කපාගත් ලූනු සහ මාළු මිරිස් දමා දෙපැත්ත පෙරළා යාන්තමින් බැදෙන විට එයට සෝයා සෝස් සහ ඔයිස්ටර් සෝස් දමන්න. හොඳින් කළවම් කර එයට බැදගත් මස් එක්කර රස අනුව ලුණු, ගම්මිරිස් දමා මිශ්‍රකර ළිපෙන් බා දීසියකට දමාගන්න. දැන් මෙයට උඩින් බැදගත් කජුමද ඉසගෙන සරසා මේසයට යවන්න.