විවේකී ඉරිදාවේ අපේ නිවෙසට එන සොඳුරු ආඥාව | Page 4 | සිළුමිණ

විවේකී ඉරිදාවේ අපේ නිවෙසට එන සොඳුරු ආඥාව

ඉරිදාව අපට කියන්නේ සතියක වෙහෙසකර බවේ නිමාවයි. ඒ සොඳුරු ඉරිදාවේ උදෑසනම අපේ ආලින්දයට ගොඩවදින ස්වාධීන රූපවාහිනී සේවයේ ‘සොඳුරු ආඥාව’ කාගේත් සිත් දිනාගැනීමට සමත් වූ වැඩසටහනකි. කලාව වනාහි ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙන යන්නකි. වේදිකාව ද එවැනි කලාවක ආරම්භය සනිටුහන් කරන එක් සංධිස්ථානයකි. ඉතිං එවැනි කලාවක් පිළිබඳව කතාබහට ලක් කෙරෙන ‘සොඳුරු ආඥාව’ සොයා යන්නට සිත්වූයේ අවර ගණයේ නිර්මාණ බිහිවන කාලයක හරවත් වැඩසටහනක අවශ්‍යතාවය තිබු නිසාවෙනි. සමාජ සත්කාරය උදෙසා ‘සොඳුරු ආඥාව’ පෙනී සිටීම විශිෂ්ටය.

‘සොඳුරු ආඥාව’ ITN නාළිකාවේ දිග හැරෙනුයේ ඉරිදා උදයේ 8.00 සිට 10.00 දක්වා පුරා පැය දෙකක කාල පරාසයකය.

තිරය පිටුපස සිට ‘සොඳුරු ආඥාව’ මෙහෙය වන නිර්මාණකරු වන්නේ නිෂ්පාදක උදය තෙන්නකෝන් මහතාය. ‘රසඳුන’ අපි ඔහුගෙන් විමසා සිටියා ‘සොඳුරු ආඥාවේ’ අරමුණු පිළිබඳව.

“සොඳුරු ආඥාව වේදිකාවේ හෙට දවස පිළිබඳව අරමුණු කොටගෙන නිර්මාණය වූවක්. වේදිකා නාට්‍ය කරුවන්ට අතහිත දීමක්, වේදිකාවේ ඉදිරි ගමනට අත්වැලක් වගේ ම ‍වේදිකා නාට්‍යය හා වීදි නාට්‍ය වැනි නාට්‍ය කලාවේ ආරංචි ප්‍රේක්ෂකයින් වෙත ලබාදීමක් සිදුකරනවා. ප්‍රේක්ෂකයින් ප්‍රේක්ෂකාගාර වෙත තල්ලු කිරීමක් අපි මෙයින් බලාපොරොත්තු වනවා. එසේම පාසල් අධ්‍යාපනයේ නාට්‍ය හා රංග කලාව හදාරන දුවා දරුවන්ට අධ්‍යාපනික වැඩසටහනක් වීමේ අවශ්‍යතාවය අප සතු වනවා. එය රූපවාහිනි මාධ්‍ය ජාලයක් ලෙස ITN නාළිකාව තම කාර්යය ඉටු කිරීමට හැකිවීම ‘සොඳුරු ආඥාවේ’ නිෂ්පාදක ලෙස මම සතුටට පත්වනවා.” ඔහු එසේ කියන්නේ ආඩම්බරයෙනි.

‘සොඳුරු ආඥාව’ සොඳුරුව මෙහෙය වන්නේ වසන්ත දුක්ගන්නාරාල නම් වූ කලාකරුවාය. වේදිකාව කියන්නේ අපේකම තැවරුණු තැනක්. ඉතිං අපේකම හඳුනන කලාකරුවකු ‘සොඳුරු ආඥාව’ මෙහෙයවීමට පැමිණීම ඉතාම ප්‍රශංසනීයයි. සොඳුරු ආඥාවට ‘දුකා’ ගේ එකතු වීමම සොඳුරු හමුවීමක් ලෙස පෙනී යනවා. ඔහුට නාට්‍ය හා රංග කලාව පිළිබඳව උපාධියක් තිබීම වගේ ම හොඳ ගොවියකු වීම තුළත්, පොළොවේ පය ගසා සිටින සහෘදයකු වීම තුළත් වේදිකාව ගැන කතා කිරීමට ඔහු සුදුස්සකු ලෙස පෙනී යනවා.

ප්‍රවීණ නාට්‍ය ශිල්පි ජයලත් මනෝරත්නයන්ගෙන් ඇරැඹී ‘සොඳුරු ආඥාව’ ශ්‍රියන්ත මෙන්ඩිස්, ජැක්සන් ඇන්තනී, ජයන්ත චන්ද්‍රසිරි, ජනක් ප්‍රේමලාල් වැනි ප්‍රවීණයන්ගේ සහයෙන් මෙතෙක් ආ ගමනේ මතක ආවර්ජනය ඉතා විශිෂ්ටය. ‘සොඳුරු ආඥාව’ පාසල් අධ්‍යාපනයේ නාට්‍ය හා රංග කලාවේ නියුතු දුවා දරුවන්ට මෙය අධ්‍යාපන අත්වැලක් වන බවද නිසැකය. එසේ නම් ‘සොඳුරු ආඥාව’ සමගින් වේදිකා නාට්‍යයේ හෙට දවස තව තවත් අලෝකමත් වේවි යන ප්‍රාර්ථනය වේදිකාවට හිත ඇති අපි කොයි කාගේත් බලාපොරොත්තුවයි.

Comments