මංමුලා වුණු ජීවිතයකට මඟ හසර කියා දුන් සෙනෙහෙබර සිතක් ගැන කියන ආදරණීය නවකතාව | Page 2 | සිළුමිණ

මංමුලා වුණු ජීවිතයකට මඟ හසර කියා දුන් සෙනෙහෙබර සිතක් ගැන කියන ආදරණීය නවකතාව

‘මේ ආදරය කරුණාව මට ජීවත්වෙන්න ඇති’

නැවත නැවත සිහිකර සතුටුවිය හැකි කිසිවක් ජීවිතය තුළ ඇත්තේ ම නැද්ද? ඔබෙන් උදුරා හැමදාම මා ළඟ තබා ගත හැකි එක දෙයක් අැත. මෙවැනි යෝජනාවක් ආයාචනයක් කළහොත් කැමැති වෙයිද? විශ්මි අම්මාට ප්‍රතිකාර කර එනතෙක් සුගන්ධ බලා සිටියේය. මඳ වේලාවකට පසු විශ්මි එළියට ආවාය.

“තේ බොමු” හේ යෝජනා කළේය.

“අම්මා කතා කරනව. මම තේ හදන්න කියන්නම්.”

අම්මා සැහැල්ලු ලෙස ඇ‍ඳේ වැතිර සිටින හැටි සුගන්ධ දුටුවේය.

“අම්මාට දැන් කොහොමද?”

ඇය නිහඬව පුතාගේ අතින් අල්ලා ගත්තාය.

“මේ කෙලී ගෙදරට ආවෙ දිව්‍යාංගනාවක් වගේ.”

“විශ්මි කැම්පස් යන්නෙ නැද්ද?”

“මම අසනීපෙන් ඉන්දෙද්දි කැම්පස් යන්න බැහැයිලු.”

“හිතුවක්කාර වැඩ කරන්ට එපා කියන්න. අම්මා බලාගන්න තව නර්ස් කෙනෙක් ගම්මු.”

“ඔව් ඒක තමා.” සුභද්‍රා මැතිනිය මඳ සිනාවකින් යුතුව කීවාය.

“අප නිසා එයාගෙ අනාගතයට බලපෑම් ඇති වුණා කියලා අපට දොස් කියන්න ඉඩ තියෙනවා.”

“ඒ වුණාට හරි පුදුම අදහස් තියෙන ළමයෙක්.”

සුභද්‍රා මැතිනිය පැවසුවේ විශ්වාසයෙනි.

“පොඩි පුතා විශ්මිලගෙ ගෙදරට ගිහින් තියෙනවද?”

“නෑ අම්මා. ඒ වුණාට මම ගේ දන්නවා.”

“තාත්තා හම්බවෙලා කතා කරල තියෙනවද?”

“නෑ කතා කරලා නෑ. ඇයි?”

“මට මේ ළමයින්ගෙ තාත්තා හම්බවෙන්න ඕනෑකමක් තියෙනවා.”

“විශ්මිට කියන්නද තාත්තට එන්න කියලා.”

“ඒක හරි නෑ. අපේ ඕනෑකමට අපි යන්ට ඕනෑ.”

“අම්මාට සනීප නෑනෙ. මොකක්ද ඕනෑකම කියන්න.”

“මට දෙයක් ඉල්ලා ගන්ට තියෙනවා. ඒ වුණාට මේක විශ්මිට හෙම දැන්ම කියන්ට එපා.”

*********

තරංග සෑහෙන කාලයක සිට විශ්මි සමඟ ගමනක් යාමට සිතා සිටියේය. ඇය සමඟ කොළඹ යන මෙන් ආරාධනා කළේ මාමා විසිනි. ඇඳුම් පැලඳුම් ඇත. එහෙත් කළුතරට ගොස් කමිසයක් හා කලිසමක් ගෙනාවේ ඇය හොඳට පිළ‍ිවෙළට ඇඳුම් අඳින අයට කැමැති බැවිනි. වලව්වේ කොල්ලො දෙන්නා නීට් එකට ඇඳ පැලඳ යන හැටි ලස්සනය. වාහනය එළවද්දී ටී ෂටය හැඳ ඩෙනිමක් අඳින්නේ පහසුව සඳහාය. ළමයි අදින වාහනය මේ ගමනට සුදුසු නැත. ඉංග්‍රීසි අකුරු සහිත වාහනයක් ඉල්ලා ගෙන ආවේ ඇය සමඟ යාම සඳහාය. මූණ පේන තරමට පාවහන් දෙක මැද්දේය. එළිවනතෙක් හරියට නින්ද ගියේ නැත. පාන්දරින් ම සූදානම් වී කණ්ණාඩියෙන් කීප වරක් ම හැඩ බැලුවේය. සෙන්ට් බෝතලය පිටරට සිට ආ මිතුරෙක් දුන් ළා සුවඳක් ඇති කොලෝනයකි. කළුතර සිටියත් ඇය කොළඹ සංචාරය කර නැත.

රැකියා අහේනිය නිසා සංචාරක ‍ව්‍යාපාරයට රථයක් යොදා තිබුණත් ඔහු ද උසස්පෙළ සමත් වූ අයෙකි.

රථය තුළට පිවිස පිච්චමල් සුවඳ ස්ප්‍රේ රථය අභ්‍යන්තරයට කා වැද්දුවේය. ඔහු සිතමින් ගියේ විශ්මි ගැනය. අද ලස්සනට ඇඳල ඇති. මොන ඇඳුම ඇන්දත් දිස්වන්නේ අමුතු ලස්සන ගැහැනුකමකි.

රථය නිවෙස අසල නතර කර නිවස දෙස බැලුවේය. නිවස අඳුරින් වටවී තිබුණි. පුදුම මිනිස්සු තවම නිදිදි.

“විශ්මි... විශ්මි” ඔහු දොරට තට්ටු කළේය.

“මාමා.... මම තරංග.”

මඳ වේලාවකට පසු තිසේරා මාමා නිදිගැට කඩමින් දොර විවෘත කළේය.

“ඇයි මේ ලයිට් නිවාගෙන. විශ්මි කැම්පස් යන්නෙ නැද්ද?”

“ඒ ළමයා උදෙන්ම ගියානෙ. මෙලහට කළුතර දිහා ඇති. ඇයි කිව්වෙ නැද්ද?”

“මොනවා ගියා.” සිය ලෝකය කඩා හැළුණාක් මෙන් දැනුණි.

************

චතුරංගි හෝටලයෙන් එවන ලද මෝටර් රථයෙන් හෝටලය බලා ගියාය. සංචාරක ව්‍යාපාරයේ පරමාර්ථ හුදු සංචාරය සඳහා පමණක් සීමා වී නැත. සංස්කෘතිය, අධ්‍යාපනය, පුරාවිද්‍යා හා වෛද්‍ය විද්‍යාව වශයෙන් පුළුල් ක්ෂේත්‍රයක පැතිර තිබුණි. තමා කැඳවූයේ ඇයිද යන්න පිළිබඳව හරියට දැන සිටියේ නැත. මෙතෙක් කරන ලද ප්‍රතිකාර ඇක්ස්රේ, ස්කෑන් වාර්තා රැගෙන ආවේ සාරාංගගේ ඉල්ලීම අනුවය.

හෝටල දොරටුව අසලදී රථයෙන් බැසීමට යුවතියෝ දෙදෙනෙක් ඇයට ආධාර කළහ. එතැන සිට ගමන් කිරීමට රෝද පුටුවක් සූදානම් කර තිබුණි. ඇය එය ප්‍රතික්ෂේප කළාය. හෝටලය තුළ දේශීය නොවන පිරිස ඒ මේ අත ගමන් කරනු පෙනුණි. යුවතියෝ ඇයව භෝජනාගාරය වෙත කැඳවාගෙන ගියහ.

“මිස් උදේට මොනවද කැමැති. මේ මෙනු එක බලල කියන්න.”

“එපා. මුකුත් එපා.”

මඳ වේලාවකට මනාව සූදානම් වූ තරුණයෙක් තමා අසල සිට ගන්නවා ඇය දුටුවාය. දෙවියනේ සාරංග සර්.

“සර් මේ මිස් කෑම එපාලු.”

“හැම කෑමක් ම ගේන්න. බොන්න දොඩම් ගේන්න.”

“සර් මට මේ බර ආහාර ඔක්කොම කන්ට තහනම් කරලයි තියෙන්නෙ.”

“අද ඔයා මම කියන කෑම කන්න ඕනෑ. බයද?”

“නෑ සර් ඔයාගෙ කැමැත්තක්. සර් කියන ඕනෑ දෙයක් කන්නම්.”

මෙතෙක් කල් ඇතැම් ප්‍රියජනක ආහාරවලින් පවා වෙන්ව සිටි හැටි මතකය. කොහොමටත් මේ දඟකාරයා වෙනුවෙන් ඒ තහංචි අදට වෙනස් කිරීමට සිදුවුණි.

“ශාන්තිකර කලාපීය වෛද්‍යවරුන්ගේ සම්මන්ත්‍රණයක් තියෙනව. තව ටිකකින් මම ඔයාට කතා කරනවා.”

“සර් මාව කරදරයක් කර ගන්ට එපා. මේ ආදරය කරුණාව මට ජීවත් වීමට ප්‍රමාණවත්.”

“ඔයාට විවේක ගන්න කාමරයක් තියෙනවා. එතනට වෙලා ඉන්න. මට ඔයාගෙ ඇක්ස්රේ, ස්කෑන් රිපෝට්ස් දෙන්න.”

“ඇයි සර්”

“අද මේ වෛද්‍ය සම්මන්ත්‍රණයට ඉන්දියාව, බංගලදේශය, භූතානය, මියන්මාරය, චීනය වගේ රටවල දේශීය වෛද්‍ය විශේෂඥයො ඇවිදින් ඉන්නව. මම මේවා ඒ වෛද්‍යවරුන්ට පෙන්වන්නම්.”

ඇය මෘදු ලෙස අතින් අල්ල ගත්තේ ඔහුගේ කැප කිරීම නිසාය.

 

ලබන සතියට

Comments