
‘නාටක මාරයි’ වැඩිම චරිත රඟපාන සාන්ත ගාල්ලගේ
දෙරණ රූපවාහිනියෙන් විකාශය වන ‘නාටක මාරයි’ වැඩසටහන මේ දිනවල රූපවහිනී ප්‍රේක්ෂකයින් අතර ඉතා ජනප්‍රිය හාස්‍යෝත්පාදක රූපවාහිනී වැඩසටහනකි. එහි බොල්ලෑ දත් කුට්ටමක් දමාගෙන චරිත ගණනාවක්ම නිරූපණය කරන රංගන ශිල්පියා ද බොහෝ දෙනකුගේ ආදරය දිනාගත් චරිතයකි. ඔහු නමින් සාන්ත ගාල්ලගේය. මේ වන විට එකම කතා මාලාවක වැඩිම චරිත සංඛ්‍යාවක් නිරූපණය කරන රංගන ශිල්පියා වන්නේ ද ඔහුය. ඔහු ඉදිරිපත් කරන ආච්චිගේ චරිතයට පුංචි දරුවෝ ද දක්වන්නේ දැඩි ඇල්මකි.
ඔබ බොහෝ ජනප්‍රියයි?
ඇත්තෙන්ම මගේ රංගනයන් රූපවාහිනී ප්‍රේක්ෂකයින් අතර ඉතාම ජනප්‍රිය වුණත් ඒ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගැනීමේ හැකියාවක් මට ඇත්තේ නෑ. මම සාමාන්‍ය මහජනතාව සමඟ නිතර ගැවසෙන කෙනෙක්. ගමන් බිමන් යන්නේ පොදු ප්‍රවාහන සේවයන් මඟින්. නමුත් ටෙලි නාට්‍යවල විශේෂයෙන්ම නාටක මාරයි කතා මාලාවේ රඟපාන රංගන ශිල්පියා මමයි කියලා ප්‍රේක්ෂකයින් හඳුනාගන්නේ නැති නිසා ප්‍රේක්ෂක ප්‍රතිචාර මට ලැබෙන්නේ නෑ. ඒ මොකද මා නිරූපණය කරන චරිතවලදී වේෂ නිරූපණය මඟින් මගේ සාමාන්‍ය ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් වන නිසා. ප්‍රේක්ෂකයින් ඒ විදියට හඳුනා නොගැනීම එක්තරා පහසුකමක් විදියටයි මම සලකන්නෙ. ඒ නිසා කාගෙවත් අවධානයට ලක් නොවී මට සමාජයේ ඉන්න පුළුවනි.
ඔබ ප්‍රේක්ෂක ප්‍රතිචාරවලට අකැමැති ද?
නැහැ එහෙම නෙමෙයි; “ඔයාගේ රඟපෑම හොඳයි අපි ඔයාගෙ රඟපෑම හොඳට වින්දා” කියල කිව්වොත් ඒක මට විශාල සතුටක්. හැබැයි මගේ කලාව ප්‍රසිද්ධිය සහ මුදල් බලාගෙන කරන එකක් නෙමෙයි. මගේ කලාව මගේ රංගනයන්ගෙන් ප්‍රේක්ෂකයින් සතුටු වෙනවා බලලා මම සතුටු වීමයි එහෙම නැතිව මාව ජනප්‍රිය වෙන්න මම රඟපාන්නෙ නෑ.
ඔබ රඟපෑමට මුදල් අය කරන්නේත් නැතිද?
මගේ රඟපෑමට කිසියම් වටිනාකමක් දීලා ඒකට කිසියම් ගෙවීමක් කළොත් මම ඒක බාර ගන්නවා. එහෙම නැතිව මේ චරිතය රඟපාන්න මෙච්චර මුදලක් ඕන කියලා මම කියන්නෙ නෑ. මොකද මට ජීවත්වෙන්න හොඳ රැකියාවක් තියනවනේ.
ඔබේ රැකියාව?
මම පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් රෝහලේ (නාරාහේන්පිට) ඖෂධවේදියකු ලෙස සේවය කරනවා.
මේ වැඩසටහනේ ඔබ චරිත කීයක් පමණ නිරූපණය කරනවා ද?
චරිත දහයකට ආසන්න සංඛ්‍යාවක් නිරූපණය කරලා තියෙනවා. ආච්චි කෙනෙක්, ආතා කෙනෙක්, තරුණයෙක්, තරුණියක්, වෛද්‍යවරයෙක්, නීතිඥයෙක් වැනි චරිත. තවත් චරිත ගණනාවක්ම මට නිරූපණය කරන්න පුළුවනි. මේ චරිත අතරින් බොල්ලෑ දත් ඇන්දක් තියෙන ආච්චිගේ චරිතය සමාජයේ විශේෂයෙන්ම පුංචි දරුවන් අතරේ ඉතා ජනප්‍රියයි.
ඔබ විවිධ හඬවලින් කතා කරන්න දක්ෂයි...?
ඒක මට උපතින්ම ලැබුණු දෙයක්. ඒ, ඒ, චරිතයට ගැළපෙන අයුරින් කටහඬ වෙනස් කිරීමේ හැකියාව මට තියෙනවා. මම මේ වන විට කාටුන් වැඩසටහන් කීපයකටම හඬ කැවීමෙන් දායක වෙනවා. ‘පටිරෝල්’ වැඩසටහන, නෙත් එෆ්.එම්. කළ ‘සුරං - සිරං - සං - රන්සිනා වරම්’ වැඩසටහනක් කළා. ඒ වගේම ජාතික ගුවන්විදුලියේ ‘පර්මාෂාප් රංග රනරංග’ වැඩසටහනේ රඟපෑවෙත් මම.
දත් කුට්ටම හදාගත්තේ කොහෙන් ද? ඒක දාගෙන රඟපෑම අමාරු නැද්ද?
දත් බඳින ස්ථානයකට ගිහින් මේ වගේ දත් කුට්ටමක් හදා දෙන්න කිව්වම ඔවුන් ඒක මට නිර්මාණය කරලා දුන්නා. ඒක දාගෙන රඟපාන්න පහසු විදියටයි හදාගත්තේ. මම ඉදිරිපත් කරන තරුණ මෝඩ පිරිමි චරිතයකට තමයි ඒක මුලින්ම හදාගත්තේ. ඊට පසුව ඒ දත් කුට්ටම දාලා ආච්චි කෙනෙකුගේ චරිතයක් කරමු කියලා මම යෝජනා කළා. “බොම්බෙ මොටා” ආච්චිගේ චරිතය බිහි වුණේ ඒ විදියට. ඒ චරිතයට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ දත් කුට්ටම දාගෙන ඉන්න එක මට අමාරු නෑ. එක දවසක් චිකන් පළුවකුත් කෑවා ඔය දත් කුට්ටම දාගෙන.
කොහොමද කලාවට එන්නෙ...?
මගෙ ගම හෝමාගම පාසල් යන කාලේ අංශුමාත්‍රයකින්වත් කලාවට සම්බන්ධ වෙලා හිටියේ නෑ. කලාව ගැන දැනගෙන හිටියේත් නෑ. පාසල් යන කාලේ තාලෙට අප්පුඩියක් ගහන්නවත් මට බෑ. හැබැයි තේරෙන වයසේ ඉඳලා අසීමිත විදියට සිංහල චිත්‍රපට නරඹන්න පුරුදු වෙලා හිටියා. ඒ 70 දශකයේ අග භාගයේදී පමණ. ඉන් පසුව නම් වැඩිපුර චිත්‍රපට නරඹන්න ලැබුණේ නෑ. ඒ කාලේ හිටියා සිංහල සිනමාවේ අතිවිශිෂ්ට හාස්‍ය රංග ශිල්පීන් ගොඩක් දෙනෙක්. ජෝ අබේවික්‍රම, ඩී. ආර්. නානායක්කාර, බී. එස්. පෙරේරා, ඇන්තනි සී. පෙරේරා, දොන් සිරිසේන, ඒ. ඩී. යාපා, ඇල්බට් ටාසන්, ජෝශප් වනිගරත්න වැනි රංගන ශිල්පීන්. ජෝ මහත්තය ඒ අතර විශිෂ්ටයෙක්. මම විශ්වාස කරන විදියට මට මේ රංගන හැකියාව ලැබෙන්න ඇත්තේ ඔවුන්ගේ රංගනයන් නැරැඹීම නිසයි. ඒ රංගනයන්ට ඇලුම් කළ නිසයි.
ඔබ රංගනයට පිවිසුණේ...?
ඒක ඉතා අහඹු සිදුවීමක්. මගේ මිත්‍රයෙක් හිටියා, ඔහු වජිර කරන්නාගොඩ. එයා ජෝතිපාල ලෝලියෙක්. එයා ජෝතිපාල මහත්තයගෙ ගීත ගායනා කරමින් ඒක පුද්ගල ගීත ප්‍රසංගයක් ඉදිරිපත් කළා. එතකොට අපි අවුරුදු විසි ගණන්වල තරුණයින්. වජිර කතා කරල කිව්වා එයාගෙ ගීත ප්‍රසංගය මැදදි විකට රංගනයක් ඉදිරිපත් කරන්න කියලා. ඒ වන විට මුළු රටේම ආදරය දිනාගෙන සිටි විකට රංගන ශිල්පීන් තමයි, ඇනස්ලි ඩයස්, බර්ටි ගුණතිලක, සැමුවෙල් රුද්‍රිගු සහ මර්සි එදිරිසිංහ කියන ප්‍රවීණයන්. මගේ මිත්‍රයන් වන සුරංග සතරසිංහ, ජානක නිශාන්ත, නන්දන කාරියවසම් සහ මම වජිරගේ ප්‍රසංගයට ඇනස්ලි ඩයස් මහත්තයල අනුකරණය කරමින් ඔවුන් ජාතික රූපවාහිනියට ඉදිරිපත් කළ විකට රංගනයන් ඉදිරිපත් කරන්න තීරණය කළා. ඒකෙ මර්සි එදිරිසිංහ මහත්මියගේ චරිතය කළේ මම. වජිරගේ සංගීත ප්‍රසංගයට ඉදිරිපත් කළ ඒ කෙටි රංගනය ඉතාම ජනප්‍රිය වුණා. ඉන් පසුව ගුණසේකර කේ. පතිරණ මහත්තයගෙ මඟ පෙන්වීම මඟින් ස්වාධීන රූපවාහිනියේ විකට රංගන වැඩසටහනක් ඉදිරිපත් කරන්න මට අවස්ථාව ලැබුණා. ඊට පස්සෙ අපේ ගම් පළාතේ තිබුණු බොහෝ ප්‍රසංගවලට අපේ විකට වැඩසටහන් ඉදිරිපත් කරන්න කියලා ආරාධනා ලැබුණා. හැබැයි අපි ඒවා කළේ මුදල් බලාගෙන නෙමෙයි. මුදලට වඩා අපි එයින් විශාල තෘප්තියක් ලැබුවා. ඔය වන විට අපි හතර දෙනාට විවිධ රැකියාවල නිරත වෙන්න සිදුවුණා. ටික කාලෙකට පස්සෙ සුරංගටත් මටත් නෙත් එෆ්. එම්. එකේ විකට වැඩසටහනක් කරන්න අවස්ථාව ලැබුණා. ඉන් පසුව හිරු ගුවන්විදුලිය සමඟ සම්බන්ධ වෙලා ‘පටි රෝල්’ වැඩසටහන අවුරුදු 6ක් විතර කළා. ඉන් අනතුරුව රෙනෝ සිල්වා මහත්තයගෙ උපදෙස් පිට හිරු ටී. වී. සඳහා ‘ආටක නාටක’ වැඩසටහන කළා. දැන් අපි දෙරණ නාළිකාව සමග වැඩ කරනවා. මගේ රංගන ජීවිතයේත් ආටක නාටක ආරම්භයේත් කතාව තමයි ඒ.
ටෙලි නාට්‍ය කීපයකටත් දායක වුණා නේද?
ඔව් ටෙලි නාට්‍ය කීපයකටම මේ වන විට දායක වෙලා තියෙනවා. පුංචි වලව්ව, නීල පළිඟු දිය, තඹ පාට හැන්දෑව, මොණර කිරිල්ලි වැනි ටෙලි නාට්‍ය. ඒ අතරින් පුංචි වලව්ව ටෙලි නාට්‍යයේ අප්පුගේ චරිතයට අදටත් ප්‍රතිචාර ලැබෙනවා. මමත් ඒ ටෙලි නාට්‍යයට ගොඩක් කැමැතියි.
රඟපාන්නේ විකට චරිත පමණ ද?
මේ දක්වා මට කරන්න ලැබිලා තියෙන්නෙ එවැනි චරිත. මම හරිම ආසාවෙන් ඉන්නෙ තාත්වික රංගනයක් ඉදිරිපත් කරන්න. ඒකට තවම මට අවස්ථාවක් ලැබිල නෑ. නමුත් මා මිත්‍ර ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ඉරේෂ් ලොකු බණ්ඩාර මට මේ වන විටත් කියලා තියෙනවා ඔහුගේ ඉදිරි නිර්මාණයක මට එවැනි චරිතයකට අවස්ථාව ලබා දෙනවා කියලා.
මුහුණදුන් රසවත් අත්දැකීම් තියෙනවාද?
රසවත් බව කෙසේ වෙතත් පුංචි වලව්ව ටෙලි නාට්‍ය රූපගත කිරීම්වලදී මම අපූරු අත්දැකීමක් ලැබුවා. පුංචි වලව්ව රූපගත කිරීම් කළේ හොරණ ඉඳලා සැතපුම් ගණනාවක් දුරින් පිහිටි මීවනපලාන ගමේ. මගේ ගෙවල් හෝමාගම. හෝමාගම ඉඳල මීවනපලානට පාන්දර 6 වන විට මම ගියා; ඒ පාපැදියෙන්. රූපගත කිරීම් ඉවර වන තෙක්ම දවස් ගණනාවක්ම මම ඒ ගමන ගියා. රූපගත කිරීම් ඉවර වුණේ රෑ 9.00 ට. ඊට පස්සෙ ආයෙමත් බයිසිකලේ පැදගෙන මහ රෑ ගෙදර ආවා. යන්ඩ එන්ඩ මේ ගමනට මට පැය 4ක් විතර ගියා. මම හිතන විදියට මම දවසකට බයිසිකලේ පැද්ද දුර කිලෝමීටර් 40ක් විතර ඇති. මම එහෙම කළේ ඒ ටෙලි නාට්‍යයට මගේ තිබුණු කැමැත්ත නිසා. ඒ වගේම කොහේ ගියත් රෑට නිදාගන්න මට ගෙදර එන්න ඕන නිසා.
රජයේ සේවකයෙක් කොහොමද කාලය සොයාගන්නෙ රංගනයට?
මේ වන තෙක් මගේ සේවා ස්ථානයෙන් මට චෝදනා කරලා නෑ රංගන කටයුතු නිසා මගේ රාජකාරියට බාධා වෙනවා කියලා. හැමදාම මම මුල් තැන දෙන්නේ මගේ රාජකාරියට.
පෞද්ගලික ජීවිතයේ තොරතුරු?
මගේ බිරිය ඉරේෂා. මට දුවෙකුත් පුතෙකුත් ඉන්නවා. ගෙදර අයට මගේ රංගන කටයුතු ගැන ලොකු වටිනාකමක් නෑ. මගේ දරුවන්ට මම සුන්දර තාත්තා කෙනෙක් හැටියට පමණයි පෙනෙන්නේ. මම හැම තිස්සේම විහිළු තහළු කරමින් ඉන්න කෙනෙක්. මගේ දරුවොත් රස විඳින කාටුන් එකක් මමත් රස විඳල වඩාත් රසවත් විදියට මම මගේ දරුවන්ට ඉදිරිපත් කරනවා. ඒ නිසා මගේ දරුවන් මාව රස විඳින්න හරිම කැමැතියි. මාව ළඟින් ඇසුරු කරන අයත් එහෙමයි. ඒ වගේම මගේ රංගනයන් නිසා මේ රටේ ප්‍රේක්ෂකයින් සතුටු වෙනවානම්, ඒක තමයි මගේ ලොකුම සතුට.