
කාමර වලට wifi පහසුකම්
සම්බාහන පහසුකම්
සහකරුවන් සහකාරියන් සොයා දීමේ පහසුකම්
ලොව පුරා තිබෙන විශේෂ වූ හෝටල් හා නිවාඩු නිකේතන පිළිබඳව තොරතුරු නිරන්තරයෙන් අපි ඔබ වෙත ගෙන එන්නේ ඒවායේ තිබෙන රසවත් භාවය නිසායි. අද මෙම විශේෂාංගය වෙන්වන්නේත් එවන් සුපිරි තරු පහේ හෝටලයක් පිළිබඳවයි. හැබැයි මේ තරු පහේ හෝටලයේ නවතින්නට නම් ඔබට බැහැ.
මොකද මේ හෝටලය පූසන්ට පමණක් වෙන්වූ විශේෂ හෝටලයක් නිසා. සම්බාහන පහසුකම්, සහකරුවන් සහකාරියන් සොයා දීමේ පහසුකම් හා උෂ්ණත්වය පාලනය කළ හැකි මෙම සුපිරි හෝටලය කැට්සෝනියා (Catzonia) ලෙසින් නම් කර තිබෙනවා. මැලේසියාවේදී මීට සති දෙකකට පමණ පෙර (පෙබරවාරි මුලදී) විවෘත වූ කැට්සෝනියා හෝටලය ලොව පළමු තරු පහේ බළල් හෝටලයේ ලෙස හැඳින්වෙනවා.
අතිශයින් පූස් හිතකාමී කාර්යමණ්ඩලය විසින් කාමර 35කින් යුතු පූස් හෝටලයේදී පූසන්ට ආදරයෙන් සැලකීමට ප්‍රමුඛත්වයක් දක්වනවා. මෙම හෝටලයේ කාමර වර්ග 4ක් ඇති අතර VVIC (Very Very Important Cat) නමින් හඳුන්වනු ලබන කාමර වර්ගයේ තමයි සුපිරිමපහසුකම් තිබෙන්නේ. මෙම කාමරය තුළ විශාල පූසන් 10 දෙනකුට හෝ පැටවුන් සමඟ පූස් මවකට නවාතැන් ගැනීමට හැකියාව තිබෙනවා. මෙහි විශාල ඇඳන් තුනක්, කුඩා සෙල්ලම් කළ හැකි ස්ථානයක් හා වැසිකිළියක් තිබෙනවා.
අනෙකුත් කාමර වලත් පූසන් තිදනකුගේ සිට හතක් දක්වා නවාතැන්ගැනීමට හැකි ලෙස සකසා තිබෙන අතර දිනකට තුන් වතාවක් ආහාර ලබාදීම හා පිරිසිදු කිරීම සිදු කරනවා. සමහර කාමර වල ස්නානය කිරීමට පවා පහසුකම් සපයා තිබෙන අතර wifi පහසුකම තිබෙන කාමර කීපයක්ම ඇති බව පැවසුවහොත් ඔබ පුදුමයට පත්වන්නට එපා.
ඒ පූසන්ගේ අයිතිකරුවන්ට පූසන් සමඟ අන්තර්ජාලය ඔස්සේ කතා කිරීමටයි. CCTV පහසුකම VVIC හා VIC කාමර වලට ලබා දී තිබෙන්නේ ජංගම දුරකතනය මගින් දවසේ පැය 24 පුරාම අයිතිකරුවන් හට තමන්ගේ සුරතලාව නිරීක්ෂණය කිරීමටයි.
සියලුම කාමර උෂ්ණත්වය වෙනස් කළ හැකි ලෙස වෙන වෙනම වායු සමීකරණ පහසුකම් වලින් සමන්විත වන්නේ එක් එක් සුරතලාට ගැළපෙන ලෙසින් කාමරයේ උෂ්ණත්වය වෙනස් කිරීමට පහසුකම සලසමිනි.
මැක්කන්ගෙන් පූසන් හට කරදරයක් ඇති නොවන ලෙසින් විශේෂිත ෂැම්පූ වර්ගයක් යොදා පූසන්ව පිරිසිදු කිරීමත් මෙම හෝටලයේ නවාතැන් ගන්නා පූසන්ට ලැබෙන සත්කාරයක්.
මෙහි නවාතැන් ගැනීමට එක් රාත්‍රියක් සඳහා ලංකාවේ මුදලින් නම් රුපියල් 850ක පමණ මුදලක් වැය වන අතර හාම් පුතුන්හට තමන්ගේ පූසන්ව පැය තුනක සිට වසරක් දක්වා මෙම හෝටලයේ නවත්වා තැබිය හැකියි.
කැට්සෝනියා හෝටලයේ වෙබ් අඩවියේ සඳහන් වන්නේ ‘පූසන්ටත් නිවාඩු අවශ්‍යයි. ඔවුන් සෑම විටම විශේෂයෙන් සලකනවාට ප්‍රිය කරනවා ඒ නිසා අපි ඔවුන්ට ගෙදර වගේ සිටින්නට ඉඩ දෙනවා. විශේෂයෙන්ම ඔවුන්ට තනිකම නොදැනෙන ලෙස ඔවුන්ව හුරතල් කර රැක බලා ගන්නවා’ යනුවෙනි.
එංගලන්තයේ ලෝන්ග්ක්‍රොෆ්ට් සුපිරි පූස් හෝටලයත් මෙවැනි පූසන් සඳහා වෙන්වූ හෝටලයක්. මෙම හෝටල ප්‍රසිද්ධ වී තිබෙන්නේ මෙහිදීබළලුන් වෙත ලැබෙන සුපිරි හා පෝෂ්‍යදායි ආහාර නිසා .
මේ ලෙසින් බළලුන් සඳහා වෙන්වූ හෝටල් ලොව පුරා විවිධ රටවලින් අසන්නට ලැබුණත් මලයාසියාවේ ක්වාලාලම්පූර් නුවර තිබෙන තරු පහේ කැට්සෝනියා හෝටලය වෙත ලොව පුරා පූස් හිතකාමීන්ගේ අවධානයට ලක්වූයේ එහි පූසන් වෙත ලැබෙන සුපිරි පහසුකම් හා සත්කාර නිසායි.