තරු තොරතුරු | Page 3 | සිළුමිණ

තරු තොරතුරු

ඉෂාරාගේ අලුත්ම පත්වීම

 

නව පරපුරේ ජනප්‍රිය නිළියන් අතර ඉෂාරා සදමිණී ඉදිරියෙන්ම සිටින රංගන ශිල්පිණියක්. ඉෂාරා කාලයක් පුරාම දැකපු සොදුරු බලාපොරොත්තුවක් ඉටු කරගන්නට ඇය පසුගියදා සමත් වෙලා. ඒ ඇය වසර ගණනක් පුරා ආයුර්වේද වෛද්‍යවරියක වීමට දුටු සිහනය සැබෑවීමයි.

ඒ වෙනුවෙන් ඇය රංගන කටයුතු අතර ඉගෙනුම ද ලැබුවා. රංගනයෙන් වගේම වෛද්‍යවරියක ලෙසත් ඉදිරියටම යන්නට ඇය මේ වන විට වාසනාව ලබලා. පසුගිය දා ඇය ආයුර්වේද වෛද්‍යවරියක ලෙස පත්වීම ලැබුවා. රංගනයෙන් වගේම වෛද්‍යවරියක ලෙසත් රටේ ජනතාවට සේවයක් කරන්න ලැබෙන්න කියලා ඔන්න ඉෂාරට අපෙනුත් සුබපැතුම්!

ගංගුගේ ජපන් ඉගෙනීම

ගංගු රොෂානා කිව්වම ඇයව අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. ගංගු නව පරපුරේ දක්ෂ සුන්දර නිළියක්. ගංගු මේ දවස්වල අලුත්ම වැඩකට අතගහලා කියලා පසුගිය දිනෙක අපිට ආරංචි වුණා. මේ ගැන හොයලා බලත් දී තමයි අපිට දැනගන්න ලැබුණේ ගංගු හරිම රසවත් වැඩකට අතගහලා කියලා. ගංගු ඒ ගැන අපිට කිව්වේ මේ විදිහට. ‘

මම මේ දවස්වල එක දිගටම ජපන් ඉගෙන ගන්නවා. දැන් ඉතින් මම ජපානෙම තමයි නවතින්නේ. හේතුව මොකක්ද දන්නවද? මගේ රසිකයොත් මේ ගැන දැන ගන්න කැමැත්තෙන් ඇති. ඒ තමයි ක්‍රිස් වික්‍රමසිංහ නිෂ්පාදනය කරන ‘සිකුරු මාරුව ‘ටෙලි නාට්‍යය වෙනුවෙන්. මේ නාට්‍යයේ මම රඟපාන්නේ ජපන් යන්න පොරකන යුවතියකගේ චරිතයක්.

ඉතින් ජපන් යන බලාපොරොත්තුවෙන්. ජපන් පිස්සුවෙන් තමයි කල් ගත කරන්නේ. ඒ නිසා හැමතැනම තිබෙන පන්තිවලට මේ යුවතිය යනවා. ඒ චරිතය වෙනුවෙන් තමයි මම ජපන් ඉගෙන ගන්නේ. ඒකත් ලේසි පහසු වැඩක් නෙමෙයි. ඉදිරියේ දී මේ ටෙලි නාට්‍යය නරඹන ප්‍රේක්ෂකයන්ට මම ජපන් කතා කරන හැටිත් දැක ගන්න පුළුවන්.‘

 

සිරි කුලරත්නයන් සමුගෙන තෙමසයි

සිළුමිණ -රසදුන උපහාර ලැබූ අප අතරින් වියෝ වූ ප්‍රවීණ සිනමා නිර්මාණවේදී , ගී පද රචක සිරි කුලරත්නගේ තෙමස් පූර්ණ පිංකම පසුගිය දා ඔහුගේ දූ දරුවන්, කලාකරුවන් හා රසික රසිකාවියන්ගේ සහභාගිත්වයෙන් සිදු වුණා. ‘අපේ තාත්තා අංශභාග රෝගයට ගොදුරුව අසරණව සිටින අවස්ථාවේ, මාධ්‍ය ‍ෙව්දීන්, කලාකරුවන් වගේම අසල්වාසී හිත මිතුරන් බොහෝ දෙනෙක් උදව් උපකාර කළා.

ඒ හැම දෙනාටම හුඟක් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම තුන්මාසෙ පිංකම යෙදුණු පසුගිය 16 වැනි දා තාත්තා වෙනුවෙන් අපිත් සමඟ එකතු වුණු හැම දෙනාටමත් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම තාත්තා වෙනුවෙන් ඔහුගේ කලා කටයුතු ඉදිරියටත් කරගෙන යන්න අපි හැකි හැම දෙයක්ම කරනවා.‘ සිරි කුලරත්නගේ බාල පුතු ගැමුණු පවසා සිටියා.‘

පවන් සිනමා ගී ගායනයට

පරපුරෙන් පරපුරට කලාව ගලාගෙන එන්නේ වාසනාව හැකියාව වගේම දක්ෂතාවයත් එක්කයි. ප්‍රවීණ ගායකයකු වූ මිල්ටන් මල්ලවාරච්චිගේ මුණුපුරා මෙන්ම රනිල් මල්ලවාරච්චිගේ පුතණුවන් වන පවන් මල්ලවආරච්චිත් තම සීයා සහ පියා යන මග යමින් ගීත කලාවේ අභිසෙස් ලබන්නට වාසනාවන්ත වුණා.

මේ දවස්වල පවන් මල්ලවාරච්චි ගැන කියවෙන අලුත්ම තොරතුර තමයි ඔහු හා හා පුරා කියලා සිනමා ගායනයට අවතීර්ණ වී ඇති බව. ඒ තමයි රංගන ශිල්පී,අධ්‍යක්ෂක සේනක විජේසිංහ අධ්‍යක්ෂණය කරන ප්‍රියදර්ශනී දැඩිගම නිෂ්පාදනය කරන ‘මේඝ‘ චිත්‍රපටය වෙනුවෙන් ගීත ගායනා කිරීම.

පසුගිය දවසක මේ චිත්‍රපටයේ ගීත පටිගත කිරීම් පැවැත් වුණා. මේ චිත්‍රපටය සඳහා ගීත ගායනයෙන් සේනක විජේසිංහ, රනිල් මල්ලවාරච්චි, උරේෂා රවිහාරි, අමිලා නදීෂානි ද එක් වුණා. පවන් ගායනා කරන ගීතයේ පද රචනය ප්‍රවීණ මාධ්‍යවේදී උපාලි බණ්ඩාර වීරසේකර රචනා කර ඇරති අතර මේ ගීතය සඳහා පවන් සමග යුග ගී ගායනයෙන් එක් වන්නේ අමිලා නදීෂානි. මේ චිත්‍රපටය සඳහා ගීත රචනයෙන් ප්‍රවීණ ලේඛක කපිල කුමාර කාලිංග ද එක්වන අතර මෙහි සංගීතය එල්. ජයසේකරගෙනි‘.

 

සඳුන්ට හොඳ ප්‍රතිචාර

සදුන් දොළමුල්ල කිව්වම කවුරුත් හඳුනන්නේ ටෙලි නාට්‍ය නිෂ්පාදකයෙක් වගේම ජනප්‍රිය ගායකයෙක් විදිහටයි. සදුන් මීට ඉහත දී තමන්ගේ ආදරණීය බිරිය වෙනුවෙන් ගීතයක් ගායනා කළා. ඒ ගීතයට ලැබෙන ප්‍රතිචාර මැකී යන්නත් ප්‍රථම සදුන්ගේ දෙවැනි ගීතය මේ දිනවල යූ ටියුබ් ඔස්සේ වගේම විවිධ නාලිකා ඔස්සේත් ප්‍රචාරය වෙනවා.

‘මගේ කදුළ නුඹ‘... ගීතය උදෙසා ලැබෙන ප්‍රතිචාර හරිම ඉහළයි. දවසින් දවස මේ ගීතය රස විදින රසිකයන් මට ඉහළ ප්‍රතිචාර දක්වනවා. මේ ප්‍රතිචාරත් එක්ක මම තවත් ගීතයක් ඉදිරියේ දී රසිකයන් වෙනුවෙන් තිළිණ කරන්න සූදානම්. ඒ වගේම මගේ පිටකොටුව ටෙලි නාට්‍යයත් ඉදිරියේදී මගේ ප්‍රේක්ෂකයන්ට දැකබලා ගන්න හැකි වේවි. එයටත් මගේ ගීතවලට වගේම හොඳ ප්‍රතිචාරයක් ලැබේවි කියලා මම හිතනවා.‘

Comments