ඉන්දුට මල් මිටක් යාපාට කරවල කඩයක් | Page 2 | සිළුමිණ

ඉන්දුට මල් මිටක් යාපාට කරවල කඩයක්

පසුගිය දිනෙක ජාතික රූපවාහිනියේ විකාශය වූ සුගතපාල සෙනරත් යාපාගේ ‘ඉන්දුට මල් මිටක්’ චිත්‍රපටය නැරඹුවා. පසුදා පාන්දර තුනහමාර වෙනකම් මේ චිත්‍රපටය විකාශය වුණා. චිත්‍රපටයට වඩා වැඩිය දැ‍ක්කේ වෙළෙඳ දැන්වීම්. පාන්දර තුනහමාර විතර වෙනකම් චිත්‍රපටයක් බලන්නේ මං වගේ පිස්සෙක් වෙන්න ඕනෑ.

‘ඉන්දුට මල් මිටක්’ මගේ සිනමා විචාර කලා ජීවිතයට විශේෂ වැදගත්කමක් ගෙන ආ චිත්‍රපටයක්. ඒ මගේ මුල්ම සිනමා විචාරය වීමයි. (ලංකාදිප 1981 නොවැම්බර් 4 වැනිදින එය පළ වුණා)

මේ විචාරය අද කියවනකොට මට තරමක ලැජ්ජාවක් ඇතිවෙනවා. පණ්ඩිතමානි භාෂාවත්, එකඟ විය නොහැකි සමහර මතිමතාන්තර නිසා මේ විචාරය කිසියම් ප්‍රාථමික මට්ටමකට වැටී තිබෙනවා. එය මා සිටි වයසත්, සිනමාව හා ජීවිතය පිළිබඳ මගේ තිබූ අල්ප අවබෝධයත් මේකට හේතු වෙනවා.

යාපා හැදුවේ වෘත්තාන්ත චිත්‍රපට තුනයි. ඒ හැම චිත්‍රපටයක් ම වගේ සිංහල සිනමාවේ වැදගත් නිර්මාණ. ධනපති පංතියේ සදාචාරය, එය ආරක්ෂා කරගන්ට ඔවුන් දරන වෑයම මෙම සිනමාපටයෙන් පිළිබිඹු කරනවා.

චිත්‍රපටයේ එන රත්නසිරි (උපාලි අත්තනායක) සංකීර්ණ මනෝ භාවයකින් යුතු චරිතයක්. ඔහු තුළ නිසංසලා (මාලිනි ෆොන්සේකා) පිළිබඳ ඇත්තේ අවංක ප්‍රේමාදරයක්. ඒ යටින් ඇය ලවා දරුවකු ලබා ගැනීමේ අභිලාෂයකුත් නොතිබෙනවා නෙමේ. නිසංසලාගේ කාරුණික ප්‍රතික්ෂේප කිරීම මත ඇතිවන ඔහුගේ චිත්ත පීඩාව, ඥාති සොහොයුරු මහේෂ් (රවින්ද්‍ර රන්දෙණිය) සමඟ ඇති කරගන්නා අදෘශ්‍යමාන ගැටුම මෙහිදී මනාව පෙන්නුම් කෙරෙනවා.

රන්සිරිගේ චරිතය මනෝ විද්‍යාත්මක පසුබිමකින් යුතුව ඉදිරිපත් කරන්ට යාපා ගන්නා උත්සාහය ප්‍රශංසනීයයි. එක් තැනක ඔහු නිසංසලාගේ චිත්‍රයක් ඇඳ එය කීතුකීතු ඉරා දමනවා. එය ඔහ‍ුගේ සංකීර්ණත්වය විශද කරවන්නක්. ඉන්ද්‍රා හා නිසංසලා අතර තිබෙන ළබැඳියාව කිසියම් සමරිසි සම්බන්ධයක් දැයි සැක උපදවනවා. ඒත් ඒ සඳහා කිසිදු ඉඟියක් කතා පුවතින් සැපයෙන්නේ නැහැ.

‘ඉන්දුට මල් මිටක්’ සිනමානුරූපි බවින් අනූන චිත්‍රපටයක්. මෙබඳු චිත්‍රපටයකට ගැළපෙන්නේ වර්ණ‍ නොවූ කළු සුදු යැයි කියන්න පුළුවන්. විශේෂයෙන් ආලෝකයයෙන් පෙරී එන විචිත්‍රවත්වූත් අතිශය වූත් කාව්‍යමය රූ සරණීන් සම්‍යත්වක් දරන්නේ ඉංග්මාර් බර්ග්මාන්ගේ මුල් කාලීන චිත්‍රපට. මෙහි කැමරාකරණය සුමිත්ත අමරසිංහගේ. මට මතක හැටියට යාපාගේ වෘත්තාන්ත සිනමාපට තුනේ ම කැමරාව ඔහුගේ. කලා අධ්‍යක්ෂ එස්.එච්. සරත්ගෙන් ද නොමඳ නිර්මාණශීලි බවක් චිත්‍රපටයට ලැබී තිබෙනවා.

චිත්‍රපටයේ එක්තැනක රන්සිරි විශාල ලී කොටයක් ප්‍රපාතයකට තල්ලු කරනවා. එය මහේෂ් මරා දමන්ට ගන්න කිසියම් පෙරහුරුවක් වැනියි. පසුව ඔහු එපරිදි ම මහේෂ් ප්‍රපාතයට තල්ලු කරන්ට ගන්නා තැත නිමේෂයෙන් වළකිනවා.

චිත්‍රපටයේ හොඳම රඟපෑම උපාලි අත්තනායකගේ යැයි මා සිතනවා. රවින්ද්‍ර වැනි නළුවකු ඔහුට සාපේක්ෂව කඩවසම් නළුවකු වුණත් තිරය මත උදාරවත්ව රංග පෞරුෂය විහිදුවන්නේ උපාලි. මාලිනිගේ අද්විතීය රංගනය ගැන අමුතුවෙන් ම කිවයුතු නැහැ. රවින්ද්‍ර හා ධම්මිගේ රංගනය ද ප්‍රමාණවත්.

චිත්‍රපටයට ගීත තුනක් නැත්නම් හතරක් ඇතුළත්. ඒවා අවස්ථාවෝචිත පරිදි ඉදිරිපත් කර තිබෙනවා. ප්‍රේමසිරි කේමදාසයන් ගේ භාවානුරූපී සංගීතය ගැන අමුතුවෙන් ම කිව යුතුද?

‘ඉන්දුට මල් මිටක්’ වලින් පසුව යාපාට වෘත්තාන්ත චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්ට ඉඩප්‍රස්ථාවක් ලැබුණේ නැහැ. ඔහු ළඟ තිරනාටක කීපයක් ම තිබුණා. (51 වැනි අක්කරය, සිරියාවතිලාගේ නඩු තීන්දුව, මහ සයුරෙන් දිය දෝතක් වැනි) නමුත් ඒවා නිපදවන්ට ආයෝජකයෙක් සොයාගන්ට ඔහුට අපහසු වුණා. ‘සොල්දාදු උන්නැහේ’ ගෙන් පසු අලුත් චිත්‍රපටයක් නොකරන්නේ ඇයි දැයි වරක් මා ධර්මසේන පතිරාජගෙන් ඇසූ කල්හි ඔහු ගත්කටට ම දුන් පිළිතුර වූයේ මෝඩ නිෂ්පාදකවරයෙක් හමු වුවහොත් චිත්‍රපටයක් කළ හැකි බවයි. යාපාටත් සිදුවුණේ ඒ වගේ මෝඩ නිෂ්පාදකවරයකු හමු නොවීමයි.

සිනමා ක්ෂේත්‍රය තුළ යාපාට හැමදාමත් තිබුණේ කෙණෙහිලි. ඔහු සිනමාවට ආ අලුත ඇතැමුන් ප්‍රශ්න කළේ ලිපිකරුවකුට චිත්‍රපට‍යක් අධ්‍යක්ෂණය කළ හැකිද යන්නයි. (ඔහු වෘත්තියෙන් ලිපිකරුවකු වුණා) ඔහුගේ ‘ඉන්දුට මල් මිටක්’ චිත්‍රපටයට චිත්‍රපට සංස්ථාවෙන් ලැබුණේ ‘සී’ ශ්‍රේණිය. ඒනිසා ඒ සඳහා ණය මුදලක්වත් මුදා හැරුණේ නැහැ. ‘ඉන්දුට මල් මිටක්’ සම්භාව්‍ය පස්වැනි මණ්ඩලයට තෝරාගත් සංස්ථාව වාණිජ මට්ටමේ කබල් චිත්‍රපටයක් වූ යසපාලිත නානායක්කාරගේ ‘අංජනා’ චිත්‍රපටයට එම මණ්ඩලය ලබා දුන්නා.

යාපා වැනි අද්විතීය සිනමාකරුවකු මේ සමාජ ක්‍රමය විසින් උස්සා පොළොවේ ගසනු ලැබුවා. ‘ඉන්දුට මල් මිටක්’ හැදූ යාපා පසුකලෙක කරවල කඩයක් දාගෙන ජීවිකාව ගෙන ගියා. 

Comments