
ඉන්ද්‍රචාපගේ සමීප රූපයේ ඇඳුණු කාන්තා මුහුණු දෙකකි. පළමුවැන්න අනුරාධා නිල්මිණිගේය. දෙවැන්න ජයන්තා රුක්මණිගේය. අනුරාධා පළමුවෙන් ඉන්ද්‍රචාපගේ සමීප රූප අතරට එක්වන්නේ, මාධ්‍යවේදී ක්‍රියාකාරිනියක ලෙසයි. රාවය පුවත්පතෙහි විශේෂාංග ලේඛිකාවක ලෙස එදවස ඈ ලියූ රචනා ඉන්ද්‍රචාපට සිහිවෙයි. 2011 දී ඈ කිවිඳියක වන්නීය. යුගස්ත්‍රී ඇගේ පළමු කවි පොතයි. පසු දවසක ලාලි කෙළිය, ස්වරංජාලිය සමඟ ඈ නවකතාකාරියක ද වන්නීය. වත්සියපත් ඇගේ දෙවැනි කවි එකතුව වන කල මඳහසක මැදියම 2016 දී පළවන්නේ අනුරාධාගේ තෙවැනි කවි එකතුව ලෙසයි.
ජයන්තා රුක්මණි හෙවත් ජයන්තා රුක්මණි සිරිවර්ධන ද, සාහිත්‍ය කලා ක්ෂේත්‍රයෙහි මතු නොව, රාජ්‍ය පරිපාලන සේවාවෙහි ද නිරතව සිටිනා, වැඩිහිටි ලේඛිකාවක ලෙස සමීප රූපයට එක් වේ. 1987, 1989 වර්ෂවලදී, ළමා කතා හා ළමා පද්‍ය කෘති පළ කරන ඈ 1991 දී හරස්කඩ කවි එකතුව සමඟ කිවිඳියක වන්නීය. අවසන් හෝරාව (1985), බමර සුසුම (1995) කැලණි ගඟ හඬයි (2006) ඇගේ සෙසු කාව්‍ය සංග්‍රහ වේ.
මාරියාව, යුගඳුරු ගෙත්තම ඇගේ නවකතාය. සහතික කළ බිරිඳ (2012) සමඟ ඈ කෙටිකතාකාරියක වන්නීය. නව පරපුරේ කලාකාරියක ලෙස ද දශක කිහිපයක සිට, සාහිත්‍ය කලා ක්ෂේත්‍රයෙහි දායකත්වය පළකොට සිටින පෙර පරපුරේ කිවිඳියක, නවකතා හා කෙටිකතාකාරියක ලෙස ද ඉන්ද්‍රචාප මෙන්ම, මෙරට රසික පරපුර හොඳින් හඳුනන, අනුරාධා හා ජයන්තාගේ මුහුණු මෙවර සමීප රූපයට එක්වීමට හේතු දෙකකි.
අනුරාධා නිල්මිණිගේ මඳහසක මැදියම ඔස්සේ විමසුමට ලක්වුණු ඇගේ නවකතා හා කාව්‍ය නිර්මාණාවලිය පිළිබඳ සහෘද කතාබහක්, රස විඳීමක් මුල්කොට ගත් කෙටි, චාම් උලෙළක් බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටරයේ දී පැවැත්වුණේ පසුගිය 10 වැනි පෝදා පෙරවරුවේය. ඇගේ කවි හා නවකතා ඇගැයුමට රස විඳුමට එක්ව සිටි පිරිස අතර, සුනේත්‍රා රාජකරුණානායක, ජයතිලක කම්මැල්ලවීර, ටෙනිසන් පෙරේරා, වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල, සුනිල් ගුණවර්ධන හා නන්දන වීරසිංහ ආදි සම්මානලාභී, සාහිත්‍යධරයෝ වූහ. අජිත් නිශාන්ත කලාකරුවා පිළිසඳර මෙහෙයවීය. ප්‍රේක්ෂාගාරයෙහි සිටි පිරිස අතර නව පරපුර නියෝජනය කරනා සම්මානලාභී හා දීප්තිමත් කවි කිවිඳියෝ රැසක්ම වූ බව ඉන්ද්‍රචාපගේ සමීප රූපයෙහි සටහන් වේ. වරින්වර, කෙටි අදහස් පළ කිරීම් අතරට අනුරාධාගේ කාව්‍ය හා ගේය පද නිර්මාණ ද අසන්නට දකින්නට ලැබිණ.
දෙවැන්න වන්නේ, ජයන්තා රුක්මණි සිරිවර්ධන ලේඛිකාවගේ නවතම කෘති ද්වයක්, නිරුවත් පුෂ්පය (කෙටිකතා) සමනළ මරණය (කාව්‍ය) පසුගිය 09 දා ශ්‍රී ලංකා පදනමෙහිදී ජනගත වූ සැඳෑවයි. බන්දුල නානායක්කාරවසම්ගේ සහෘද ආමන්ත්‍රණය ද මහැදුරු ජේ. බී. දිසානායකගේ මුලසුන ද, ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර, මහාචාර්ය දර්ශන රත්නායක, ලේඛක කීර්ති වැලිසරගේ ගේ දෙසුම් ද ජයන්තාගේ උත්සවයෙහි වැඩ සටහනෙහි විය. සාහිත්‍ය නිර්මාණ කිහිපයක ඇගැයීම හා රස විඳුමේ උලෙළක් මෙන්ම නිර්මාණ කෘති ද්වයක දොරට වැඩීමේ උත්සවයක් ද සමීප රූපයෙහි සටහන් වන්නේ, නිර්මාණකාරියන් දෙදෙනකුගේ මෙහෙවරට අගයක් එක්කිරීමේ අරමුණිනි.
පෙර පරපුරේ කිවිඳියන් අතර, මොනිකාගෙන් පසුව අපට හමුවන නම්ගම් අතර. යමුනා මාලිනී, ජයන්තා රුක්මණි හෝ විපුලි නිරෝෂිණි සමීප රූප අතරට එයි. නව පරපුර කිවිඳි නාමාවලිය ඉතා දිගුය. ඒ නාමාවලිය අතර වුව, අනාගතය පිළිබඳ අපේක්ෂා දල්වාගත හැකි කිවිඳියන් රැසක්ම සිටිනා බව ඉන්ද්‍රචාපගේ සමීප රූප විමසන කල දකින්නට ලැබේ. එවන් ඇතැම් කිවිඳියකගේ නිර්මාණ, පෙර පරපුරේ වැඩිහිටි නිර්මාණකාරියන්ගේ නිර්මාණ හා සමතැන් ගන්නා බවත්, ඇතැම් අවස්ථාවක, නිර්මාණශීලිත්වයෙන්, ඒවා අබිබවා යන බවත් ඉන්ද්‍රචාප සටහන් කරන්නේ සතුටිනි.
අනුරාධා නිල්මිණිගේ කවිය ගිනි පුළිඟුවක් වැන්න. ඈ සමාජ අසාධාරණය නොඉවසයි. ප්‍රචාරකවාදිනියක නොවී ඈ කවි බසින් තම විරෝධය මුදා හරින්නීය. එදිනෙදා ජීවිතයේ අසන්නට දකින්නට ලැබෙන අත්දැකීම් ඇගේ පරිකල්පනීය ගුණයෙන් අපූරු කවි බවට පත් වේ. එහෙත්, එබඳු කවි අතර, ඇගේ පෙම් කවියක් අප හද වඩාත් ඇද බැඳ ගනී. මඳහසක මැදියමෙහිදී අපට හුරු පුරුදු දස්කොන් චරිතය ඈ දකින’යුරු බලන්න.
දයාබර දස්කොන් ඇස තෙමන්නට නොවෙයි
මුහුණු මඟ හරින්නේ සිත පෙළන්නට නොවෙයි
සක්මනට නොඑන්නේ මතකය ම මීවිතකි
එයිනි දිවි ගෙවෙන්නේ අත හැරීම ම තමයි
ආදරේ කියන්නේ...”
අතහැරීමම තමයි, ආදරේ කියන්නේ, කෙතරම් රමණීය කාව්‍යොක්තියක් ද?
ජයන්තාගේ කවිය විවිධ තේමාවන්, අත්දැකීම්වලින් පෝෂිතය. ජීවිත පරිඥානයෙන් යුතු කෙටි කවි ද අපට හමු වේ.
බඩගින්න
මැදුරක් වටා ඇති
උස් තාප්පයක
විදුලි සීනුව හඬයි බයකින්
බිමට යොමු වූ දෑසකි
බුරයි බල්ලෙක් සැරටම
උරයි පොළොවට කඳුළු”
මොනිකා රුවන්පතිරණ කිවිඳියගේ විශිෂ්ට නිර්මාණාවලිය සමඟ නව කිවිඳියන්ගේ නිර්මාණ සසැඳීම අසාධාරණය. ඈ යුගයක් එකලු කළ අපගේ මහා කිවිඳියයි. ඈ ගත් ගමන් මඟ යන අනුරාධාලා, ජයන්තලා මෙන්ම, තවත් බොහෝ නව පරපුරේ කිවිඳියන් කෙරෙහි ද විචාරක පාඨක අවධානය යොමු විය යුතු යයි ඉන්ද්‍රචාප සිතයි.