
1. කුටිළ - නිතර නො යෙදෙතත් ඇතැමුන් වරදවා යොදන වදනෙකි. මේ පාලි - සංස්කෘත දෙකට ම පොදු වූ තත්සම රූපයෙකි. එහෙයින් නිවැරැදි වනුයේ ‘කුටිල’ යන්න යි. අග යෙදෙන (දන්තජ) ‘ල’කාරය විශේෂයෙන් සැලැකිය යුතු යි. මෙහි අරුත නම් වක් වූ, කොනින් නැමුණු යනු යි. අකුටිල යන්නෙන් වක් නොවූ, අවංක අරුත ලැබෙයි.
2. කුන්ඩල - මෙ ද පාලි සංස්කෘත තත්සමයෙකි. මූර්ධජ අක්ෂරයකට පෙර එන (ස්වර වියුක්ත) නාසික්‍ය ශබ්දය (මූර්ධජ ‘ණ්’ ම විය යුතු බැවින් මෙහි නිවැරැදි යෙදුම වන්නේ ‘කුණ්ඩල’ යනු ම ය. සියලු නාසික්‍ය ශබ්ද වෙනුවට ‘ං’ (බින්දුව) යෙදිය හැකි ය යන රීතිය පිළිගත්තොත් ‘කුංඩල’ යනු ද නිවැරැදි සේ ගැනීමට ඉඩ ඇත්තේ ය. මේ හා අනුරූප වැ සිංහලයේ යෙදෙනුයේ ‘කොඬොල්’ යන වදන යි.
3. කුම්බ - මෙ ද පාලි සංස්කෘත තත්සමයෙකි. නිරවද්‍ය රූපය නම් අග (මහාප්‍රාණ) ‘භ’ සහිත ‘කුම්භ’ යනු යි. අරුත කළය වේ. මෙ නමින් රාශියක් ද ජ්‍යෝතිෂයෙහි දැක්වේ. අලි - ඇතුන් ගේ හිසෙහි දෙපසට බෙදී ගිය කොටස ‘කුම්භස්ථල’ නමින් හැඳින්වේ. මේ හා අනුරූප වැ යෙදෙන සිංහල වදන නම් ‘කුඹු’ යනු යි.
4. කුල - මෙසේ (දන්තජ) ‘ල’ සහිත වැ ‘කුල’ යනු වංශය, කුලය දක්වනු පිණිස යෙදේ. ඒ පාලි, සංස්කෘත, සිංහල තුනෙහි ම සම වැ යෙදෙන වදනෙකි. මේ අරුතෙහි (මූර්ධජ) ‘ළ’ යෙදීම වරදෙකි. කුලය හා සබැඳි වැ යෙදෙන, කුලවත්, කුලපුත්‍ර, කුලපති, කුලීන, කුලහීන, කුලදෙවි, කුලකාන්තා, තුලාචාර, කුලගෙදර වැනි සියලු යෙදුම්හි (දන්තජ) ‘ල’ ම යෙදෙන බව විශේෂයෙන් සැලැකිල්ලට ගත යුත්තේ ය.
(මූර්ධජ) ‘ළ’ සහිත වැ ‘කුළ’ යනු යෙදෙනුයේ කලින් වරෙක දක්වන ලද කුළු (කූට) යන්නෙහි ඒක වචනය වශයෙනි. එය මුඳුන, කඳු මුඳුන යන අරුත් දෙයි නමුණුකුළ වැනි තන්හි දී මෙනි.
5. කුලෑටි - වියත් වහරෙහි එ තරම් නොයෙදෙන නමුදු පොදු ජන වහරෙහි නිතර යෙදෙන වදනෙකි. මෙය නිපැදෙනුයේ කුළු + අටි යන දෙ වදනේ සන්ධියෙකැයි සිතිය හැකි ය. මෙහි ‘කුළු’ යනු රළු නොහොත් ශිෂ්ට සම්පන්න නොවූ යන අරුත් පිණිස යෙදෙන බව පෙනේ. අටි යනු යමකට හුරු වූ, කැමැති යන අරුත් දෙන අස්ත්‍යර්ථ (ඇති අරුතෙහි) තද්ධිත ප්‍රත්‍යයයෙකි. සාමාන්‍යයෙන් ව්‍යවහාරයේ දී කුළෑටි යනු ලජ්ජාශීලී, ඉදිරිපත් නොවන සුලු පුද්ගලයන් හඳුන්වනු පිණිස යෙදේ.
6. කුළුණු - බොහෝ විට වියත් වහරෙහි පවා දක්නා ලැබෙන මෙය දැන් බෙහෙවින් යෙදෙන වදනෙකි. කරුණා අර්ථය දීම පිණිස යෙදෙන බවත් පෙනීයේ.” එ අරුත දීම සඳහා සිංහලයෙහි යෙදෙනුයේ ‘කුලුණු’ යනුයි. (මූර්ධජ) ‘ළු’ නො ව (දන්තජ) ‘ලු’ ම මෙහි යෙදෙන අයුරු මැනැවින් සැලැකිල්ලට ගත යුතු වෙයි.
ඉංගිරිසියේ කොලම් (column) යන අරුත දීම පිණිස ද ඇතැම්හු ‘කුලුණු’ යනු යොදති. ඒ වරදෙකි. ඒ සඳහා යෙදිය යුත්තේ ‘කුලුනු’ යනුයි. මේ ලන්දේසි බස ඇසුරින් සිංහලයට එක්වූ වදනක් ලෙස සැලැකේ. සාමාන්‍යයෙන් ඉංගිරිසි වැනි ප්‍රතිචීන (බටහිර) භාෂාවල මූර්ධජ අක්ෂර නො යෙදෙති යි සැලැකෙන බැවින් මෙ බඳු තන්හි (දන්තජ) ‘න’, ‘ල’ ම යෙදීම සුදුසු වේ.
7. කුමුදු - දියෙහි පිපෙන කුඩා සුදු මල් වෙසෙස හඳුන්වනුව මේ වදන යොදනු ලැබේ. එහෙත් ඉතා ම නිවැරැදි වනුයේ (සඤ්ඤක හෙවත් අනුනාසික) ‘ඳු’ සහිත ‘කුමුඳු’ යන වදන යි. මේ හා අනුරූප වූ ‘කෞමද’ යන සංස්කෘත රූපයෙහි හෝ ‘කුමුද්ද’ යන පාලි රූපයෙහි හෝ ‘ද’ කාරයට පෙර (ස්වර වියුක්ත) නාසික්‍ය ශබ්දයක් නො යෙදේ. එහෙත් පුරාතන සම්භාව්‍ය ව්‍යවහාරයෙහි (සඤ්ඤක) ‘ඳු’ සහිත ‘කුමුඳු’ යනු ම යෙදුණු බව සීගිරි දැක්වෙන ‘කොන්ද් කුමුන්ද් වසත් අව්හි මල්’ වැනි පාඨවලින් නිසැක ව ම පෙනී යයි. සැලළිහිණියේ ද “පෙර ව සඳ කිරණ පිපි කුමුඳු මල් පටින්” යැයි (සඤ්ඤකය සහිත වැ ම) ‘කුමුඳු’ යනු යෙදී ඇත.