
නිනා මිතුරිය වෙනුවෙන් ගුවන් කරණමක
දැන් තිරගත වන ‘XXX: Return of Xander Cage’ චිත්‍රපටයේ රඟන සුරූපී නිළියක වන නිනා ඩොබ්රෙව් ත්‍රාසජනක අත්දැකීම් ලබන්න දැඩි කැමැත්තක් දක්වනවා. ඒ බව මෑතකදී වූ සිද්ධියකින් හොඳින්ම පැහැදිලි වෙනවා.
දැනට 28 වැනි වියෙහි පසුවන නිනා පවසන්නේ විවේකයක් ලැබුණු විට කුමක් හෝ අවදානම් වැඩකට යොමු වීමට තමන් තුළ නොතිත් ආසාවක් පවතින බවයි.
“මම ඉතින් ක්‍රියාදාම චිත්‍රපටිවල රඟපාන නිසා මේ වගේ අත්දැකීම් ලබන්න කැමැතියි. ඇත්තෙන්ම මම අවදානමට මූණ දෙන්න කැමැති නිළියක්. මෑතකදී බ්‍රසීලයේ තිබුණා ‘XXX: Return of Xander Cage’ චිත්‍රපටය වෙනුවෙන් මාධ්‍ය හමුවක්. බ්‍රසීලයේ ගත කල දින කීපයේදී මට මගේ මිතුරියකගේ උපන් දිනය මඟ හැරුණා. එයාගෙ නම ලෝරන්. එයාගෙ සැමියා ආරොන් පෝල්. ලෝරන්ගෙ 30 වැනි උපන් දිනයයි යෙදිල තිබුණෙ. ලෝරන් එදා එයාගෙ සැමියාත් එක්ක තායිලන්තයට ගිහින් තිබුණා. ඉතින් මම ලෝරන්ගෙ උපන් දිනයට සුබ පතල වීඩියෝ ක්ලිප් එකක් යැව්වා. ඒ වීඩියෝ එකේ තියෙන්නෙ මම කඳු මුදුනක ඉඳන් පහළට පනින දර්ශනයක්. ඒක ඇත්තටම කළ දෙයක්.” නිනා ආඩම්බරයෙන් කීවා. ඇය කඳු මුදුනක සිට ‘බන්ජි’ පැනීමක් තමයි සිදුකළේ. එය, ආරක්ෂාවට පාදයක ලණුවක් බැඳගෙන කරන ක්‍රීඩාවක් හැටියටයි හඳුන්වන්නේ.
සිදුරු මතින් පියමං කළ ජෙනිෆර්
ජෙනිෆර් ලෝපෙස් ගැන නොදන්නා කෙනකු නැහැ. මුළු ලොවම හඳුනන මේ සුපිරි ගායිකාව සහ නිළිය සතු වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක්. මෙතරම් ධනයක් අද වන විට ඇය සතු වුණත් කලා ලොවට පිවිසෙන කාලයේදී ඇය ගත කළේ සුව පහසු ජීවිතයක් නොවෙයි.
“මම ඒ කාලෙ දාපු සපත්තු හරිම අබලන්. ඒ සපත්තුවල සමහර තැන් සිදුරු වෙලාත් තිබුණා. ඒත් අද මම ලෝකයේ තියෙන ඉස්තරම්ම සපත්තු එකතුවක් තියෙන කාන්තාවක්.”
ජෙනිෆර් මෙලෙස පැවසුවේ අලුත්ම පාවහන් එකතුවක් විවර කරමින් පැවැත්වුණු ප්‍රීතිමත් මොහොතකදීයි. මෙම එකතුව නිර්මාණය කළේ පාවහන් නිර්මාණයේ ප්‍රවීණයකු වන ගුයිස්පෙ සැනොට්ටිගේ සහායෙන්.
දැනට 47 වැනි වියෙහි පසුවන ජෙනිෆර්, කිසිදු අවස්ථාවක තමන් අතීතයෙහි විඳි කටුක අත්දැකීම් අමතක නොකර හෙළි කරන තරුවක්.
“ඒ කාලෙ මගේ සහෝදරියන් දෙන්නටයි, මටයි තිබුණෙ එකම කාමරයයි.” ජෙනිෆර් තවත් අමිහිරි මතකයක් යළි අවදි කළා. ඇය පවසන්නේ තම ජිවිතයට ශක්තියක් ගෙන දුන්නේ මවුපියන් ඇතුළු පවුලේ අය බවයි.
‘එක්ස් ෆයිල්ස්’ නොනැවතී ඉදිරියට...
‘එක්ස් ෆයිල්ස්’ ටෙලි නාට්‍ය මාලා ලබා ඇති ජනප්‍රියත්වය කෙබඳුදැයි රසික පිරිසට අලුතෙන් මතක් කර දිය යුතු නැහැ. මේ වන විට ‘එක්ස් ෆයිල්ස්’ කථාංග රැගත් කතා මාලාවන් 10ක් විකාශය වී තිබෙනවා.
ළඟදීම එහි 11 වැනි කතා මාලාවත් රූපගත කිරීමට බලාපොරොත්තු වන බවයි ෆොක්ස් නෙට්වර්ක් රූපවාහිනී ආයතනය පවසන්නේ.
මේ ටෙලි නාට්‍ය මාලාවේ රහස් පරීක්ෂකවරියක ලෙස රඟන ගිලියන් ඇන්ඩර්සන් පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී රොයිට් පුවත් සේවයට පැවසුවේ ‘එක්ස් ෆයිල්ස්’ කතා මාලාව අවසන් වී ඇති බවයි. මේ නිසා ඇය ‘කෘකඩ් හවුස්’ සහ ‘වයිසරිස් හවුස්’ නම් වූ චිත්‍රපටවල රඟපෑවා.
නමුත්, ‘එක්ස් ෆයිල්ස්’ නිෂ්පාදනය කරන ෆොක්ස් නෙට් වර්ක් ආයතනය නැවතත් ලකලැහැස්ති වන්නේ එම ටෙලි නාට්‍ය මාලාවේ 11 වැනි පරිච්ඡේදයටත් මුල පුරන්නටයි. “අපි දැනටමත් මේ ගැන කතාබහ කරමින් සිටිනවා. ඒ සාකච්ඡා තරමක් සංකීර්ණයි. ළඟදීම මේ ගැන දැනුම් දීමක් කරන්න අපිට පුළුවන් වේවි.” ෆොක්ස් නෙට්වර්ක්හි සභාපති ඩේවිඩ් මැඩන් එලෙස විශ්වාසය පළ කළා.
එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ගැරී නිව්මාන් පැවසුවේ ගිලියන් ඇන්ඩර්සන්ගේ එකඟත්වය ලද විගසකින්ම ‘එක්ස් ෆයිල්ස්’ යළි අරඹන බවයි. 2018 වසරේදී මේ අලුත් ටෙලි නාට්‍ය මාලාව විකාශය වනු ඇතැයි ද ඔහු පැවසුවා.
වෙන්වී සිට යළි එක්වූ පෙම්වතුන්
පෙම්වතියක සිටින ජනප්‍රිය නළුවකු සිනමා සම්මාන උලෙළකට තනිවම සහභාගි වූ විට අවට සිටින අයට එය ප්‍රහේළිකාවක්. පසුගියදා පැවැත්වූ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළට ඔස්කා සම්මාන ලාභී ලෙනාඩෝ ඩි කැප්රියෝ තනිවම පැමිණ සිටිද්දී සිදු වුණෙත් එවැනිම දෙයක්. උලෙළට එක්වූ බොහෝ දෙනකු ඔහු දෙස බැලුවේ ප්‍රශ්නාර්ථ තම මුහුණුවල රඳවාගෙන.
කැප්රියෝගේ පෙම්වතිය ජනප්‍රිය නිරූපිකා නිනා අග්ඩාල් බව කවුරුත් දන්නා නිසයි, අහල පහල අයට ඔහුගේ තනිය ප්‍රශ්නයක් වුණේ. ඇත්තටම, ඩි කැප්රියෝ සහ නිනා, ගෝල්ඩන් ග්ලෝබ් උලෙළ පැවැති දිනවල අමනාපයෙන් පසුවුණා. හැබැයි, ඒ අමනාපය රැඳුණේ ටික දිනකට පමණයි. පසුගියදා පැවැති සාදයකදී දෙදෙනා යළි හාද වුණා. සාදය පැවැත්වුණේ ලොස් ඇන්ජලීස්හි පිහිටි ජිමි ෆොලන්ගේ නිවසේදියි.
“පාටි එකේදි ඩිකැප්රියෝ හිටියේ ඩී. ජේ. හිටිය තැනමයි. නිනාත් ඇවිත් හිටියා. ඩිකැප්රියෝ, නිනා දිහා බලාගෙනම හිටියා. නිනාත් ඒ දිහා බලාගෙන ඉඳලා එක පාරටම ඩිකැප්රියෝ ළඟට ඇවිත් එයාව වැලඳ ගත්තා.” වෙන්වූ පෙම්වතුන් යළි හමුවූ අපූරුව එලෙස හෙළි කළේ සාදයට එක්වූ මිතුරෙක්.